වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සැමීත් එක්ක මා ගනුදෙනු කළේ පරිස්සමෙන්

සැමීත් එක්ක මා ගනුදෙනු කළේ පරිස්සමෙන්

තෙසාරා ජයවර්ධන

‘සැමීගේ කතාව’ චිත්‍රපටය සඳහා රංගනයෙන් සහභාගි වන තෙසාරා ජයවර්ධන මේ දිනවල පුංචි තිරයෙහි ද ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඒ කැලුම් පාලිත මහීරත්නගේ ‘ස්නේහා’ ටෙලි සිත්තමෙනි. රංගන ශිල්පිනියක වන තෙසාරා අන් අයගෙන් වෙනස් වන්නේ ඈ රංගනයට පිවිසෙන්නේ රංගනය හැදෑරීම නිසාය. ඇගේ කලා ආගමනය පිළිබඳත්, සැමීගේ කතාව චිත්‍රපටයට සම්බන්ධවීමත් පිළිබඳ සරසවියට කළ සාකච්ඡාවකි මේ.

ඔබගේ රංගන ආගමනය සිදු වෙන්නේ කොහොමද?

කලා ලෝකයට මම මුලින්ම පිවිසෙන්නේ අවුරුදු තුනක් වගේ කුඩා කාලයේදී. ඒ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනක් සඳහායි. මගේ ගෙදර අයත් කලාවට ළැදි අය සේම, පවුලේ අනෙක් අය වුණත් කලාවට සම්බන්ධ පිරිසක් කියලා කිව්වොත් නිවැරැදියි. පාසල් යන කාලයේ පටන් මම හොඳම නිළිය විදියට සම්මාන ලබලා තිබෙනවා. කුඩ කාලයේ පටන්ම වජිරා චිත්‍රසේන කලායතනයේදී මම නර්තනය හැදෑරුවා. නවසීලන්තයේදීත් මම භරත නාට්‍ය හැදෑරුවා. ඒ රටේදී මුලින්ම අරංගේත්‍රම් උළෙලක් පැවැත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වුණේ මමයි. මගේ පියා වන ආචාර්ය අමර ජයවර්ධන මුලින්ම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා.

මුලින්ම මම රඟපෑවේ ශ්‍රියාණි අමරසේනගේ ‘රංගන විජිතය’ ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ අපේ තාත්තා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එතැනින් ඇරැඹුණු මගේ කලා ගමන මේ දවස්වල විකාශය වන ‘ස්නේහා’ ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍ය දක්වා දිවෙනවා. ඒ වගේම මේ දවස්වල තිරගත වන ‘සැමිගේ කතාව’ චිත්‍රපටයේත් මගේ රංගනය ප්‍රේක්ෂකයන්ට දැකගත හැකියි. ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකවීමටත් ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ රංගනයට පිවිසෙන්නේ රංගනය පිළිබඳ කළ හැදෑරීමකට පසුවයි. එය බොහොම සුවිශේෂී කාරණයක්.

මම රංගනය ගැන හදාරන්න පටන් ගත්තේ පාසල් කාලයේදීයි. ඒත් එක්කම මම ධම්ම ජාගොඩ අනුස්මරණ පදනමෙන් කළ රංග කලා පාඨමාලාවක් හදාරලා එහි අනුස්මරණ සම්මානයක් ලබා ගත්තා. ඊට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තා. මම හිතන්නේ රංගනයට පිවිසෙද්දී වගේම පිවිසුණාට පස්සෙත් රංගනයන දිගින් දිගටම හැදෑරීම රංගන ශිල්පිනියකට බොහොම වැදගත් කාරණයක්. ඒ පිළිබඳ තමා ලබා ගන්නා අවබෝධය චරිතයකට පිවිසීමේදී ඉතා වැදගත් වන බව මා අත්දැකීමෙන් දන්නවා.

ඉංජිනේරුවරියක් ලෙස උපාධිය ගත්ත ඔබ ශාස්ත්‍රපති උපාධිය කරන්නේ නාට්‍ය හා රංග කලාවෙන්. මෙය ඔබට අභියෝගයක් වුණාද?

ඇත්තටම ඒක මට අභියෝගයක් වුණා. නමුත් මම හිතන්නේ ඒකට තිබුණු ආසාවයි මුලින්ම ඒ අභියෝගය ජයගන්න උදව් වුණේ. පොතපත කියවන එක වගේම ඒ කාලයේ මම ෂෙක්ස්පියර් ගේ නාට්‍ය ගැන හැදෑරුවා. ඒවායේ රඟපෑවා. විභාගයට පාඩම් කළත් මම ඒක කළේ රස විඳීමින්.

කථිකාචාර්යවරියක් විදියට ඔබ උගන්වන්නේ නාට්‍ය හා රංග කලාවද?

නැහැ. මම බාහිර කථිකාචාර්යවරියක් විදියට උගන් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අංශයේ. ඊට අමතරව මම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරණ ආයතනයේත් බාහිර කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා.

ඔබ සිනමාවට අත්පොත් තබන්නේ කොහොමද?

මේ වන විට චිත්‍රපට කිහිපයකම මම රඟපාලා තිබෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ ‘අම්මාවරුනේ’ චිත්‍රපටයේ ආරම්භ කළ මගේ සිනමා ගමනේදී සුමිත්‍රා පීරිස්ගේ’යහළුවෝ’, ‘වෛෂ්ණාවී’ චිත්‍රපටයෙත් රඟපෑවා. සුරේෂ් කුමාරසිංහගේ ‘සිහින දෙව්දුව’ චිත්‍රපටයේදී මම සාලිය සත්‍යජිත් සමඟ ප්‍රධාන චරිතයට පණ පෙව්වා. ඒක වාණිජ චිත්‍රපටයක්. මේ දවස්වල තිරගත වෙන්නේ ‘සැමීගේ කතාව’ කියන චිත්‍රපටයයි.

ප්‍රියංකර විතානාච්චිගේ ’සැමීගේ කතාව’ චිත්‍රපටයට ඔබ රංගනයෙන් සහභාගි වෙන්නේ කොහොමද?

පුදියන් රාසයියා කළ ‘මාන්’ කියන දෙමළ චිත්‍රපටයේ මා රඟපෑවේ උප ප්‍රධාන චරිතයක්. එහිදියි මට විමල් දේශප්‍රිය කියන සහය අධ්‍යක්ෂවරයාව හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ හමුවීමේ ප්‍රතිඵලයක් විදියට එතුමා මාව ‘සැමීගේ කතාව’ චිත්‍රපටය සඳහා යෝජනා කරලා තිබුණා. ඒ අනුවයි මා එහි රඟපාන්නේ.

ප්‍රියංකර විතානාච්චි වගේ අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කටයුතු කිරීම පහසු වුණාද?

‘සැමිගේ කතාව’ කියන්නේ ඔහුගේ කුළුඳුල් චිත්‍රපටයයි. නමුත් ඔහු කෘතහස්ත අධ්‍යක්ෂවරයෙක් කියලා මා හඳුන්වා දෙන්න කැමැතියි. ඔහු චිත්‍රපටයේ සෑම රූප රාමුවක්ම අපූරුවට හසුරවලා තිබුණා. එල්මෝ ජයවර්ධන මහත්තයාගේ පොතට ඔහු සාධාරණයක් ඉටු කරලා තිබුණා. ඒ නිසා වෙන්න ඇති මේ චිත්‍රපටය ජාත්‍යන්තරයෙහිදී සම්මාන දිනා ගත්තේ. මෙය සංවේදී කතාවක් වගේම සරල කතාවක්. නමුත් එහි රූප රාමුවලින් කියැවෙන කතාව ගැඹුරුයි. ඊට දෙන අර්ථකථනය වුණත් ගැඹුරුයි. දෙමළ, සිංහල භේදය ඉවත්කර සාමය අවශ්‍යයි කියන හැඟීම, සැමීගේ ජීවිතයට ළං වූ අයගෙන් සිදුවන බලපෑම් හා ඔහුගේ ප්‍රතික්‍රියාව, මඟින් දෙන පණිවුඩ කියන සියලු දේ ඔහු චිත්‍රපටයේදී මනාව ඉදිරිපත් කරලා තිබුණා. සමහර දර්ශනවල හාස්‍යයක් මතු වුණා. ඕනෑම කෙනෙකුට සිනමාපටය නරඹලා රස විඳීය හැකි මට්ටමේ චිත්‍රපටයක් ලෙසයි මා ‘සැමීගේ කතාව’ දකින්නේ.

ඔබ හිතනවද සිනමාපටයට ඔබ රඟපෑ චරිතය මඟින් යම් සාධාරණයක් ඉෂ්ට කළ බව?

චිත්‍රපටයට මම කළ රඟපෑමෙන් සාධාරණයක් ඉෂ්ට වූ බවක් මා සිතනවා. එහෙමයි කියලා මට චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනෙක් කිව්වා. මම හිතන්නේ රංගන ශිල්පියකුගෙන් චරිතයක දිග ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ ඒ තිබෙන කුඩා කොටසකින් වුණත් සම්පූර්ණ කෘතියටම නියම ආකාරයෙන් සාධාරණය ඉටුු කිරිමයි විය යුත්තේ. මම එය නිවැරැදිව ඉටු කළා.

පිටපත ලැබුණට පස්සේ ඒ චරිතය කොහොමද ඔබ ප්‍රතිනිර්මාණය කර ගත්තේ?

සැමී කියන්නේ බොහොම සංවේදී චරිතයක්. ඔහු වැනි අයකු සමඟ ගනුදෙනු කරද්දී කරන රඟපෑමේදී මං තරමක් සැලකිලිමත් වුණා. මේ සඳහා මට අත්දැකීමක් ගෙනාවේ මම කාලයක් තරමක් බුද්ධි මට්ටමෙන් අඩු මෙවැනි ළමයි දෙදෙනකු සමඟ කළ ඉගැන්වීම් කටයුත්තක්. මට භාර වෙලා තිබුණේ ඔවුන්ට නර්තනය උගන්වන්නයි. එහිදී ඔවුන්ගේ හැඟීම් වගේම ඔවුන්ගේ නිතරම වෙනස් වන මානසික මට්ටමත් මා අධ්‍යයනය කළා. එය අපූරුවට මට මේ චරිතයේදී ප්‍රතිනිර්මාණය කළ බව හිතනවා.

ජගත් චමිල කියන සම්මානනීය රංගන ශිල්පියාගෙන් ඔබට ලැබුණු සහයෝගය ගැනත් යමක් කියමුද?

ජගත් චමිලත්, මමත් මුලින්ම හමුවන්නේ අශෝක හඳගමගේ ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ කියන ටෙලි නාට්‍යයේදී. එහිදී රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයත්, ඕ සී අයි සී උන්ඩා සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයත් මට හිමි වුණා. ඒ සියලු දේ ලැබෙන්නට මට ජගත් ගේ රංගනයේදී ලැබුණු සහයෝගයත් බලපෑවා. දෙවන වරටත් ඔහු හා මා රංගනයෙන් නැවත හමුවන්නේ මේ චිත්‍රපටයේදියි. පළමු දැන හඳුනාගැනීම නිසාම මේ චිත්‍රපටයේදී රංගන කටයුතු අපට පහසු වුණා. ඔහුගෙන් මගේ රංගනයන සඳහා ලැබුණු සහයෝගය මගේ චරිතය රඟපාන්න මට උදව්වක් වුණා.

රංගනයට අතරව ඔබ ලේඛිකාවක්, නිවේදිකාවක්?

ඔව්. මේ වන විට මම ‘හංග ගේම්’ කියන කෘතියේ පරිවර්තන කටයුතු අවසන් කරමින් තමයි ඉන්නේ. ඒක ළඟදීම එළිදැක්වේවි. ඒ වගේම එහි අනෙක් කෘති දෙකේ පරිවර්තන කටයුතු කරන්නට අදහස් කරගෙන සිටිනවා. හිරු නොදුටු දේදුනු’ කියන මා ලියූ නවකතාවක් ළඟදී පාඨකයන් අතට පත් වේවි. ඒ අතර ව්‍යාපාරික පුවත්, බ්ලැක් මාකට් කියන වැඩසටහන්වලට අමතරව තවත් වැඩසටහන් කිහිපයකත් නිවේදන කටයුතුවල නිරත වෙන නිසා මම බොහොම කාර්යබහුල කෙනෙක් වෙලා.

නිවෙසෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මත්, තාත්තත්, මල්ලිත් ඉන්නේ නවසීලන්තයේ. ඔවුන් තමයි මගේ කලා කටයුතුවලට සහයෝගය ලබා දෙන්නේ. මා උනන්දු කරන්නේ.

තරුණියක් විදියට ඔබටත් ආදරය කරන විශේෂ කෙනෙක් ඇති නේද?

ඔව්. මම ආදරවන්තියක්. ළඟදීම අපි විවාහ වෙන්නයි ඉන්නේ. වැඩි විස්තර මම පසුවත්, පළමුවෙන්මත් සරසවියට කියන්නම්.