වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




පිරිමි කියන්නේ විශ්වාස කරන්න බැරි පිරිසක්

පිරිමි කියන්නේ විශ්වාස කරන්න බැරි පිරිසක්

ජනප්‍රිය නිළි සුරේනි සෙනරත්
අවිවාහක දිවියේ රහස් හෙළි කරයි

සිය ජීවිතයේ අපේක්ෂා බිඳී ගිය කළ විවාහය පිළිබඳ සිතන්නට ඒ අයට අමතක වෙයි. ඒ අමතක වීම වඩාත් පහසු වන්නේ තමන් නියැළෙන කටයුතුත් සමඟ කාර්යබහුලවීමය. කාර්යබහුල බව සියල්ල අමතක කරවයි. මෙවර තනි මංසලට සහභාගි වන තරුව ද එවැනි තරුවකි. ඈ සුරේනි සෙනරත් ය.

* මේ දවස්වල ඔබ බොහොම කාර්යබහුල වගෙයි?

ඔව්. ඡන්ද කටයුතු නිසා තරමක අවිවේකී බවක් දකින්නට ලැබෙනවා. ඒ අතර නිර්මාණ කටයුතුª කිහිපයක් කරන්නටත් අදහස් කරගෙන සිටිනවා. නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වීමටත් ආරාධනා ලැබුණා. රංගනයෙන් දායක වුණු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.

* ඔබගේ පවුලම කලාවට සම්බන්ධයි?

මගේ අම්මා, තාත්තා චිත්‍රපට ක්ෂේත්‍රයට විශාල සේවයක් කළා. ඒ නිෂ්පාදකවරු විදියට නිර්මාණවලට දායක වීමෙන්. මගේ පවුලේ මම මගේම නංගි ගයත්‍රී, ලොකුª මල්ලි හර්ෂ, පොඩි මල්ලි ප්‍රභාත් කියන මේ හැමෝම කලාවට සම්බන්ධ උදවියයි.

* ඔවුන් විවාහ වෙලාද?

මගේ පොඩි මල්ලි විවාහ වෙලා. ඔහුට දියණියක් ඉන්නවා. අනික් අය නම් තවම විවාහක නැහැ.

* ඇයි ඔබ විවාහ නොවුණේ?

කලා කටයුතු නිසා විවාහය මඟ ඇරුණා. විවාහ වෙන්න අවස්ථාව ආවොත් විවාහ වෙනවා.

* විවාහ වෙන්න වයසක් බලපාන්නේ නැහැනේද?

එහෙම විවාහ නොවී සිටියා කියලා මට ප්‍රශ්නයක් නැහැ. මම මගේ වැඩ කටයුතු කරගෙන යනවා.

* ඔබට තනිකමක්, පාළුවක් දැනෙන්නේ නැද්ද?

කිසිම පාළුවක්, තනිකකමක් මට දැනෙන්නේ නැහැ. ඒ මොකද මට දේශපාලන වැඩ කටයුතු, කලා කටයුතු, ව්‍යාපාර වැඩ කටයුතු, සමාජ සේවය ආදී කටයුතුවල නියැළෙන විට ඇත්තටම පැය විසි හතර මදි තරම්.

* ඔබට විවාහ වෙන්න කියලා මව්පියන් බලපෑම් කළාද?

ඒ කාලයේ මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඊට පස්සේ කොහොම හරි ඒක නැති වෙලා ගියා. එයා මම කලා කටයුතුවල නියැළෙනවට කැමැති වුණේ නැහැ. ඒ සම්බන්ධයත් නැති වුණාට පස්සේ මට විවාහය ගැන ඒ තරම්ම හිතුණේ නැහැ. වැඩිපුරම වැඩ කටයුතුත් සමඟ මම කාර්යබහුල කෙනෙක් වුණු නිසා එහෙම වෙන්න ඇති.

* සිනමාවෙන් ඉවත්වෙන්න ඔබ අකැමැති වුණා?

ඔව්. මම ඒ තරමට සිනමාවට ආදරය කළා.

* ඔබගේ ආදරය නිවෙස්වලින් දැනගෙන ද තිබුණේ?

දෙපැත්තෙන්ම දැනගෙනයි සිටියේ. මම හිතන්නේ ඒ සියලු දෙයම එලෙස සිද්ධ වෙන්න ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත නිසා කියලා මා සිතනවා.

* ඔබ පෙම්වතියක් බවට පත්වන්නේ රංගනයට පෙරද? පසුවද?

ඔහුට මාව මුණ ගැසුණේ රංගන කටයුතුවලට මා ගිය පසුවයි. දිගු කාලයක් අපේ සම්බන්ධය තිබුණා. අද ඔහුගෙන් අයින් වුණු එක ගැන මා සන්තෝෂ වෙනවා.

* ඇයි ඔබ එහෙම කියන්නේ?

ඔහුත් සමඟ මා විවාහ වුණා නම් කිසිම කෙනෙකුට උදව්වක් කරන්න මට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ කුහක මනුස්සයෙක් එක්ක ජීවත් නොවීමමයි මගේ සන්තෝෂය වෙන්නේ.

* ඔහු දැනගෙන සිටියේ නැද්ද ඔබ රංගන ශිල්පිනියක් කියලා?

මම කලා පවුලකින් පැවත එන බවත්, කලාවට සම්බන්ධ බවත් ඔහු දැනගෙන සිටියා. ඒත් පසුව ඔහු අමුතු පුද්ගලයෙක් වුණා. අම්මා, තාත්තා කිව්වේ කවද හරි ඔය පුද්ගලයාත් සමඟ විවාහ වුණා නම් මට දුක් විඳින්න වන බවයි. ඒ නිසා එයාගෙන් ඈත් වෙන්න කියලා ඔවුන් කිව්වා. ඔහුගෙන් වෙන්වුණු එක පිළිබඳ මට තිබෙන්නේ බොහොම සන්තෝෂයක්.

* ඔබට යළිත් ඔහුව මුණ ගැසුණාද?

අපෝ නැහැ. ඔහුත් එක්ක නැවත සම්බන්ධයක් පටන් ගන්න මට උවමනා වුණේ නැහැ.

* ඔබ පාසල් කාලයේ පෙම්වතියක් වෙලා සිටියාද?

අපේ තාත්තා බොහොම සැර කෙනෙක්. ඒ නිසා අපි ඔහුට බොහොම බයයි. කවුරු හරි නිවෙසට ආවත් ඔහු අපට පහළට එන්න දුන්නේ නැහැ. මට මතකයි අපේ පිටපත් රචකයා විදියට හිටිය ධර්මසිරි ගමගේ අන්කල්ට තාත්තා කියනවා මගේ දුවට පෙම් ජවනිකා නැතිව චරිත ලියන්න කියලා. ඒ වගේම යස ඉසුරු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කතා කළාට පස්සේ ඒකේ තිබුණු එක සීන් එකක් නිසා මට එහි රඟපාන්න ලැබුණේ නැහැ. නමුත් ඒ චරිතයට සම්මානයක් හිමි වුණා. ඒ චරිතය රඟපාන්න නොලැබුණු එක ගැන මගේ හිතේ තිබුණේ දුකක්.

* ඔබට විවාහ යෝජනා ලැබිලාම නැතිද?

මගේ තිබුණු ආදර සම්බන්ධය පටන් ගන්නට පෙර වගේම පසුවත් මට විවාහ යෝජනා ඕනෑ තරම් ගෙනාවා. මගේ ආදර සම්බන්ධය නැති වුණාට පස්සේ වුණත් ඒ යෝජනාවලට කැමැති වෙන්න කැමැත්තක් මගේ සිතේ තිබුණේ නැහැ. ඒත් පවුලේ හැමෝම විවාහ වෙන්න කියලා කිව්වත් ඒ අදහස ඉබේම මඟ ඇරුණා. ඊට පස්සේ මගේ තාත්තා නැති වුණා. වැඩිමලා විදියට මම පවුලේ බර කරට ගත්තා.

* විවාහ නොවීම පිළිබඳ අද තිබෙන්නේ පසුතැවීමක්ද?

අපෝ නෑ. මට තිබෙන්නේ සතුටක්. පිරිමි කියන්නේ විශ්වාස කරන්න බැරි පිරිසක්. හැමෝම ගැන නෙවෙයි මම එහෙම කියන්නේ. ඔවුන් හිතේ එකක් තියාගෙන ක්‍රියාවෙදි වෙන එකක් පෙන්වනවා. ගොඩක්ම බොරුවට ආදරය කරන බව පෙන්වනවා.

* සහෝදරයන්ට, යහළුවන්ට දරුවන් ඉන්න විට මටත් මේ වගේ දරුවෙක් හිටියා නම් කියලා ඔබට සිතෙනවාද?

මගේ මල්ලිට ඉන්නේ දියණියක්. ඈ ඉන්නේ මගේ ළඟයි. මගේ දරුවෙක් නොවුණත්, මගේ මල්ලිගේ දරුවා කියලා මට ඒකේ වෙනසක් නැහැ.

* කවුරු හරි ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත් ඔබ ඔහුට කැමැති වෙනවද?

අම්මාගෙනුත් අහලා, මට ගැලපෙනවා නම් මම ඒ විවාහය කරනවා.

* අම්මා දැනුත් කියනවද විවාහ වෙන්න කියලා?

මව්පියෝ කොහොමත් කැමතිනේ දරුවෝ විවාහ වෙනවට. ඒ නිසා ඈ තරම් සතුටු වෙන කෙනෙක් තවත් නොමැති බව මා දන්නවා.

* ඔබත් කලාවෙහි නිරත වුණු කෙනෙක් විදියට ඔබට තිබුණනේ කලාවේම කෙනෙක් විවාහ කර ගන්න?

කලාකරුවන්ගෙන් එවැනි ආරාධනා ලැබුණත් කලාකරුවකුව විවාහ කර ගන්න මට කිසිම අදහසක් තිබුණේ නැහැ.

* ඉතිං ඔබත් කලාවට සම්බන්ධ කෙනෙක්නේ?

කලාවට සම්බන්ධ කෙනෙක් සමඟ විවාහ වුණොත් විවාහය අසාර්ථක වේවිය කියන අදහසයි මුලින්ම මගේ ඔළුවට ආවේ. ඒ නිසා ඒ අදහස මම අතහැරියා.

* ඔබට දැන් හිතෙනවද ඒ තීරණය වැරැදියි කියලා?

වැරැදි වෙන්න පුළුවන්. ඒත් ඒක ප්‍රශ්නයක් නෑ. තමන් පතාගෙන එන ආකාරයට හිතන පතන කෙනෙක් ලැබෙන නොලැබෙන එක දෙයියන්ගේ කැමැත්ත. ඒ සඳහා වැලපිලා වැඩක් නැහැ.

* කවද හරි තනි වුණොත් ඔබට මොනවා හිතේවිද?

මට සහෝදර සහෝදරියන් ඉන්න නිසා කිසිම දවසක තනි වෙන්නේ නැහැ කියලා හිතෙනවා. අද ළමයි හිටියත් මව්පියෝ තනි වෙනවානේ.