වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




මං කාටවත් කඩේ යන්නේ නැහැ

මං කාටවත් කඩේ යන්නේ නැහැ

රූපාන්තරණ අධ්‍යක්ෂ නාලක විතානගේට ප්‍රශ්න පත්‍රයක්

කොළඹ නාලන්දා විද්‍යාලයේ එකම පන්තියේ කලාවට ලැදි මිතුරන් සිවු දෙනෙක් හිටියා. දෙන්නෙත් ආසාවෙන් හිටියේ නළුවෝ වෙන්න. එක් කෙනෙක් අධ්‍යක්ෂවරයෙක් වෙන්න. අනෙකා පත්තර කාරයෙක් වෙන්න.

වසර දහතුනක ඇවෑමෙන් ඒ හතර දෙනාම එකම තැනක හම්බ වුණා. හැමෝගෙම සිහින සැබෑ වෙලා. නළුවො වෙන්න හිතාගෙන හිටිය අමිල වගේම මිලින්ද මේ දිනවල රූපාන්තරණ හරහා ජනප්‍රියයි.

අධ්‍යක්ෂවරයෙක් වුණු පුද්ගලයා දැන් මං ඉස්සරහ. පත්තර කාරයෙක් වෙන්න පෙරුම් පිරුවේ මම. එහෙම හිටිය යාළුවො රොත්තේ අධ්‍යක්ෂවරයා ගැන ලියන්නට ලැබීම හරියටම දෛවෝපගත සිදුවීමක්. පාසල් කාලේ ඉඳන්ම එකටම හැදුණ වැඩුණු නිසාම මේ අධ්‍යක්ෂවරයා මට ළෙන්ගතු මිත්‍රයෙක්.

නාලක විතානගේ . . .

අනිත්‍යා හරහා ලංකාවේ සිනමා අහසට පායා සුදීලි සහන් එළි බෙදන අධ්‍යක්ෂවරයා. මේ රූපාන්තරණ පිළිබඳ ඔහුගේ කතාන්දරයයි.

* නාලක රූපාන්තරණ තිරයට ආවේ කිසිම සැලසුමක් නැතුව. ඉක්මන් වුණා වැඩියි වගේ නේද?

ඔව්. ඒක මං පිළිගන්නවා. නමුත් රූපාන්තරණ තුළ කතාබහට ලක්වෙන්නේ කාලීන මාතෘකාවක්. කාලීන මාතෘකා කල් යවන්නට බැහැ. මගේ අධ්‍යක්ෂවරයා ඒ අනුව තමයි තීරණය කළේ රූපාන්තරණ ඉතාමත් ඉක්මනින් තිරගත කරන්නට. ඒ සංකීර්ණ සත්‍යය තිරයට නැඟීමයි.

ඒ අනුව රූපාන්තරණ නොසිතූ මොහොතක තිරගත වුණා. අපි කවුරුවත් මෙතරම් ඉක්මනට චිත්‍රපටය තිරගත කරන්නට බලාපොරොත්තු වෙලා හිටියේ නැහැ. තිරගත වන්නට තවත් බොහෝ කාලයක් ගත වුණා නම් මේ චිත්‍රපටයේ කතා හරය අවලංගු වන්නට ඉඩ තිබුණා.

හදිසියේ තිරගත කෙරුවත් චිත්‍රපටයේ කටයුතුª ඉතාමත් හොඳින් කෙරීගෙන යනවා.

* බොහෝ පිරිස්වල මතය මේ චිත්‍රපටය කඩේ යාමක් කියලයි?

මං කාටවත් කඩේ යන්නේ නැහැ. මට දැනෙන දේ කරන එක විතරයි මගේ ප්‍රතිපත්තිය. නැවත ඇති විය හැකි ත්‍රස්තවාදය පිළිබඳ ජනතාව ඉතා සියුම් ලෙසින් දැනුවත් කිරීමයි මා කරේ.

මේ චිත්‍රපටය ඇතුළේ කාටවත් වාසිදායක දර්ශන ඇතුළත් කරන්න අපි සැලසුම් කළේ නැහැ. මේ තමයි විය හැකි සත්‍යය. අපි කළේ ඒ සංකීර්ණ සත්‍යය තිරයට නැඟීම පමණයි.

* දැන් යුද්ධය අවසානයි. මේක අසාර්ථක උත්සාහයක් නේද?

නැහැ. කොහොමටවත් නැහැ. මේ නිර්මාණය තුළ කතාබහට ලක් වන්නේ සර්වකාලීන මාතෘකාවක්. ඒ නිසා යල්පැන ගිය දේවල් මගේ නිර්මාණයේ දක්නට ලැබෙන්නේ නැහැ.

* දැන් යුද්ධය මිනිස්සුන්ගෙන් ඈතයි?

ඔව්. අපේ රටේ යුද්ධයක් තිබුණා කියලා කාටවත් මතක නැහැ. නමුත් මෙවැනි දේ ඕනෑ තරම් වෙන්නට පුළුවන්. ජනතාව අවධියෙන් තැබීම තමයි කලාකරුවාගේ සහ කලා කෘතියක වගකීම විය යුත්තේ. ඒ කාරණාව මම නිර්මාණ හරහා ඉටු කළා.

* මේ කතාන්දරය ජනතාවට සමීප කිරීමට මොන වගේ ක්‍රමයක්ද උපයෝගි කොට ගත්තේ?

මේක යුද්ධයේ එක් පැත්තක් පෙන්වා දෙන කතාවක් වුවත් මෙහි ප්‍රධාන ප්‍රවාහයේ කතාන්දරය දිවෙන්නේ ප්‍රේම වෘත්තාන්තයක් හරහා. මේ චිත්‍රපටයේ අලංකාර ගීත, ප්‍රේම ජවනිකා අන්තර්ගතයි. ඒ හරහා ඉතාමත් ඉක්මනට ප්‍රේක්ෂකයා චිත්‍රපටය සමඟ එකතු වුණා කියලා මට හිතෙනවා.

* කොහොමද ජනතා ප්‍රතිචාර?

ඉතා ඉහළයි. කොළඹින් පිට පළාත්වලදී මේ චිත්‍රපටය හොඳ ඇගයීමට ලක්වුණා. ඒ වගේම කොළඹත් ප්‍රතිචාර ඉහළයි.

* ඔබ මේ නිර්මාණය සඳහා ප්‍රවීණ නළු නිළියන් යොදා ගන්නවා. විශේෂයෙන් රවීන්ද්‍ර, තිස්ස, ඇන්ජලා, රන්ජන්, දමිතා වගේ අය?

ඔව්. ඒක හරිම සුන්දර අත්දැකීමක්. සොඳුරු ආඥාදායකයා කියන සංකල්පය මට ආවේ මගේ තාත්තාගෙන්. මම ඇත්තටම සොඳුරු ආඥාදායකයෙක්. ප්‍රවිණයන් සමඟ කටයුතු කරලා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම අපි හරිම සහයෝගයෙන් තමයි චිත්‍රපටයේ කටයුතුª සිදු කළේ. මේ ප්‍රවීණයන් සමඟ නවකයන් නිරතුරුවම මිශ්‍ර වෙන්න මම කටයුතු කළා. එතනදි නවකයන්ට ලැබුණු උපදෙස් අමිලයි.

මම සියයට සියයක් අධ්‍යක්ෂණය ගැන දන්නේ නැහැ. ඒ නිසා තව ඉගෙන ගන්න ගොඩක් දේවල් මට තියෙනවා. මේ චිත්‍රපටය හරහා පෙර චිත්‍රපටවලට වඩා බොහෝ දේ මං ඉගෙන ගත්තා.

* මෙතනින් පස්සේ මොකද වෙන්නේ?

ඉදිරියේදී නිර්මාණයක් සඳහා සැලසුම් අඳිමිනුයි ඉන්නේ. ඒ කටයුතු වෙනුවෙන් තමයි මේ දිනවල වෙහෙසෙන්නේ.

* ටෙලි නාට්‍ය ලෝකයෙන් ඉවත් වුණාද?

නැහැ. දැනට ටෙලි නාට්‍ය කරන්නේ නැහැ. මේ කාලයේ මං වෙහෙසෙන්නේ චිත්‍රපට වෙනුවෙන්. ඒ නිසා ටෙලි නාට්‍යය බාර ගත්තේ නැහැ. ඉදිරියේදී ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න හිතක් තියෙනවා.

* රූපාන්තරණ තාක්ෂණික ක්‍රමවේදයෙන් වෙනස් වෙන්නේ කොහොමද?

මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන් පටිගත කරනු ලැබුවේ ඩිජිටල් ක්‍රමවේදයට අනුව. ඒ වගේම ග්‍රැෆික් ක්‍රමවේදය ඉතාමත් ඉහළින් යොදා ගත්තා. මගේ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කළ ඒෂාන් මොටාගෙදරට ඒ ගෞරවය හිමි විය යුතුයි.

* අමිල, මිලින්ද, ෂෙලා ඔබේ සොයා ගැනීමක්?

අමිල, මිලින්ද අපි එකම පාසලේ මිත්‍රයෝ. ෂෙලා ඒෂාන් මොටාගෙදරගේ බිරිය. ඒෂාන් ඉගෙනුම ලැබුවේ නාලන්ද විද්‍යාලයේ. මේ තිදෙනාම මා සිතේ මවාගත් චරිත සඳහා කදිමට ගැළපුණා. මිත්‍රත්වයට වඩා තීරණාත්මක සාධකය වුණේ ඒක. ඔවුන් ප්‍රවීණයන් යටතේ හොඳ පුහුණුවක් ලැබුවා. ඉන් අනතුරුව තමයි රංගනයට පිවිසුණේ. මා හිතනවා ඔවුන් තිදෙනාටම හොඳ අනාගතයක් තිබෙනවා කියලා.

* ඉදිරි වැඩ කටයුතු කොහොමද?

වෙළෙඳ දැන්වීම්කරණය සඳහා විශාල ඉල්ලුමක් තිබුණත් මා ඒ වෙනුවෙන් කාලය කැප කළේ නැහැ. පෙබරවාරි මාසයේ ඉඳලා ඇඩිලක් ආයතනය සමඟ අත්වැල් බැඳගෙන වෙළඳ දැන්වීම් නිර්මාණය සඳහා යොමුවන්නට සැලසුම් කොට තිබෙනවා. ඒ වගේම නිර්මාණ ක්ෂේත්‍රයේ සම වයසැති මිතුරන් කිහිප දෙනකු සමඟ එක්ව නවමු තාලයේ චිත්‍රපටයකටත් සූදානමිනුයි ඉන්නේ.