වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිත්‍රා පීරිස්ගේ සිනමාව පර්යාවලෝකනයක්

සුමිත්‍රා පීරිස්ගේ සිනමාව පර්යාවලෝකනයක්

සිංහල සිනමාවේ කාර්මික අංශයට සම්බන්ධ පළමු කාන්තාවන් දෙදෙනා ලෙස ඓතිහාසිකව සටහන් කළ හැක්කේ ඉසබෙලා බ්‍රෝහියර් හා ශීලා බැස්ටියන් යැයි මම සිතමි. ‘ගම්බද සුන්දරී’ (1950) චිත්‍රපටයේ සංස්කරණය සිදු කරන ලද්දේ මේ දෙදෙනා විසිනි. ඉනික්බිතිව ඔවුන් සිනමාකරණයට සම්බන්ධ වූ ආකාරයක් දිස් නොවේ.

සිනමා කාර්මික ක්ෂේත්‍රයට එළැඹි ඊළඟ කාන්තාව සුමිත්‍රා ගුණවර්ධන (පීරිස්) ය. ඒ ‘සංදේශය’ චිත්‍රපටයෙනි. ඇය එහි තිස්ස ලියනසූරිය හා විජය අබේදේව සමඟ එක්ව සහාය අධ්‍යක්ෂණයේ යෙදුණාය.

‘ගම්පෙරළිය’ චිත්‍රපටයේදී සුමිත්‍රා එහි නිෂ්පාදනයට මූල්‍යමය වශයෙන් මැදිහත් වූ බැවින් චිත්‍රපටයේ කිනම් හෝ අංශයකට දායක වීම ස්වාධිපත්‍යයක් ඇයට තිබිණි. ඇය තෝරා ගත්තේ සංස්කරණයයි. සංස්කරණ යන්ත්‍රය ගෘහස්ථ මෙවලමක් ලෙස ද භාවිත කළ හැකි බැවින් කාන්තාවක වශයෙන් ඇය ඊට වඩාත් ආශක්ත වූවා ද විය හැකිය.

‘ගම්පෙරළියෙන්’ පසු ද සුමිත්‍රා, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට රැසක සංස්කරණ ශිල්පිනිය වූවාය. ඇය සංස්කරණය කළ එසේම ලෙස්ටර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සමස්තය සැලකිල්ලට ගැනීමේදී එක් ප්‍රශ්නයක් අපට මතුවනු වැළැක්විය නොහැකිය. ඒනම් එම සිනමාපටවල එන කාව්‍යාත්මක රිද්මය ලෙස්ටර්ගේ රූ ගැන්වීමේ ශෛලියෙන් මතුව එන්නක් ද, නොඑසේ නම් සුමිත්‍රාගේ සංස්කරණ රීතියෙන් පැන නඟින්නක් ද යන්නය. මෙම ප්‍රශ්නය මම වරක් ඇයට ඉදිරිපත් කළෙමි. ඇය ඊට පිළිතුරු වශයෙන් නිහතමානීව කියා සිටියේ එහි ගෞරවය ලෙස්ටර්ට (ඔහුගේ රූගැන්වීම් ශෛලියට) අනිවාර්යයෙන්ම හිමි විය යුතු බවයි.

මෙකරුණ සාක්ෂාත් කරවිම සඳහා සුමිත්‍රා අපූරු උදාහරණයක් ගෙනහැර පෑවාය. ඒනම් ‘නිධානය’ චිත්‍රපටයයි. එය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා ගමන් මඟේ මුදුන් කූටය ලෙස සැලකෙන්නා වු චිත්‍රපටයයි. එහි සංස්කරණය සුමිත්‍රාගේ නොවේ. ලෙස්ටර්, ග්ලැඩ්වින් ප්‍රනාන්දු හා එඩ්වින් ලීටින් යන තිදෙනාගෙනි. එහි සංස්කරණ අවදිය වනවිට සුමිත්‍රා සිනමාකරණය පිළිබඳ වැඩිදුර හැදෑරීම සඳහා ප්‍රංශයට ගොස් සිටියාය.

සුමිත්‍රා සංස්කරණ ශිල්පයට අති දක්ෂ ගෝලයෙකු ද බිහි කර ඇත. ඔහු ලාල් පියසේනය. (ලාල් මෑතදී අකාලයේ මිය ගියේය).

සුමිත්‍රා සංස්කරණයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට අවතීර්ණ වූවාය. ඇය ප්‍රථම චිත්‍රපටය (ගැහැනු ළමයි – 1978) නිර්මාණය කරන විට ලෝක සිනමාව තුළ කාන්තා අධ්‍යක්ෂවරියන් ගණනාවක්ම විශිෂ්ට ගණයේ චිත්‍රපට රැසක් බිහිකර තිබිණි. ජර්මනියේ මාග්‍රට් වොන්ට්‍රොටා, හංගේරියාවේ මාර්තා මෙෂරොස්, ප්‍රංශයේ ඇග්නස් වර්දා, රුසියාවේ ලැරිසා ෂෙපිට්කෝ, චෙකොස්ලොවැකියාවේ වේරා ෂිකිලෝවා ජාත්‍යන්තර මට්ටමේ කාන්තා අධ්‍යක්ෂවරියන් කීප දෙනෙකි.

අපේ රටේ ද කාන්තාවන් තිදෙනෙක් (ෆ්ලොරිඩා ජයලත්, රූබී ද මැල් හා රෝහිණි ජයකොඩි) චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුණ ද ඒවා සරල විනෝදාත්මක චිත්‍රපට වූයේය. එබඳු පසුබිමක සිනමා මාධ්‍යය බැරෑරුම් ලෙස පරිහරණය කළ ප්‍රථම අධ්‍යක්ෂවරිය ලෙස සුමිත්‍රා සිංහල සිනමා ඉතිහාසය තුළ තිරසාරව ස්ථානගත වන්නීය.

‘ගැහැනු ළමයි’ සුමිත්‍රාගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. මෙය නැරඹූ නයිජල් ඇන්ඩෲස් නමැති එතෙර සිනමා විචාරකයා කියා සිටියේ සිනමාවට මහත් බලාපොරොත්තුවක් තැබිය හැකි අධ්‍යක්ෂවරියක් බිහිව සිටින බවයි.

ස්ත්‍රීවාදී සිනමාවක් හෝ ස්ත්‍රීවාදී සිනමා විචාරයක් පිළිබඳ සුමිත්‍රාගේ එතරම් විශ්වාසයක් නැත ද අපේ රටේ බිහි වූ පළමු ස්ත්‍රීවාදී සිනමා විචාරිකාව ලෙස සැලකිය හැකි ලලින් ජයමාන්න ‘ගැහැනු ළමයි’ ඉමහත් ප්‍රශංසාවට ලක් කළාය. ඇය එය දුටුවේ මෙතෙක් (1978 වනවිට) මෙරට කාන්තා ජීවිතයට ගැඹුරින් පිවිසෙන්නට ගත් සාර්ථකම උත්සාහයක් වශයෙනි. ඇය තවදුරටත් මෙසේ ද කියා ඇත.

‘චිත්‍රපටය අවසානයේ කුසුම් හඬන්නේ ආදරය අහිමි වීම නිසා නොවෙයි. ජීවිතය තුළ ආර්ථික ස්වාධීනත්වයක් නොලැබීම නිසාය. මෙය ඉතාමත් වැදගත්. නමුත් ඇය පන්ති ගැටීම පිළිගන්නවා. සාම්ප්‍රදායික සමාජ වටිනාකම් ගරු කරනවා. මේ නිසා කාන්තා චර්යාධර්ම පිළිබඳ සිංහල සිනමාවේ එදා සිට අද දක්වා පවතින සම්මත ආකල්පය එලෙසින්ම අනුගමනය කරනවා. සෝමාගේ චරිතය ඊට සමාන්තරව දැක්වීමෙන් කළු - සුදු වර්ගීකරණයක් ද සිදු වෙයි. අප රට කාන්තාවන් සම්මත සදාචාර තහංචි තවදුරටත් එලෙසම රැක ගත යුතුදැයි ‘ගැහැනු ළමයි’ ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් එය කාන්තාව පිළිබඳ සිංහල සිනමාවේ මෙතෙක් පැවති ආකල්පයෙහි වෙනසක් සලකුණු කරන චිත්‍රපටයක්.’

මා ලලින්ගේ ඉහත ප්‍රකාශය මෙහිලා මුළුමනින්ම උපුටා දැක්වූයේ තවත් එක් කරුණක් අවධාරණය කරනු පිණිසය. ඒනම්, සුමිත්‍රාගේ පසුකාලීන සිනමාපට බොහොමයක ද මේ ප්‍රතිවිරෝධතා දක්නට ලැබෙන බැවිනි. ඇය ඉන් සපුරා මිදෙන්නේ ‘යහළු යෙහෙළි’, ‘සාගර ජලය’ බඳු චිත්‍රපට දෙක තුනක පමණි.

ගැහැනියකට මේ සමාජය තුළ ස්වාධින තීරණ ගත නොහැකිය යන යථාර්ථය සුමිත්‍රා ‘ගැහැනු ළමයි’ මෙන්ම ‘ගඟ අද්දර’ වැනි චිත්‍රපටයකින් ද මතු කරන්නා වූ අන්තර්ගතයකි.

‘දුවට මවක මිස’ වැනි චිත්‍රපටයක් ගත් විට අවිවාහක ස්ත්‍රියකගේ ගැබ් ගැනිමක් අරභයා පවුල් සංස්ථාව හා සමාජය දක්වන නිෂේධනීය ප්‍රතිකි‍්‍රයා ගැන ඇය සානුකම්පිත විවරණයක් කරන්නීය.

දැනට ප්‍රදර්ශිත චිත්‍රපට ගත්විට සුමිත්‍රාගේ අවසාන නිර්මාණය ‘යහළුවෝ්’ය. (‘වෛෂ්ණාවී’ චිත්‍රපටය තිරගතවීමට නියමිතය). ‘යහළුවෝ’ ඇගේ සිනමා ගමන් මඟේ කිසියම් අවර්ධනයක් සලකුණු කළ චිත්‍රපටයකි.

මේ ඊයේ පෙරේදා ප්‍රංශයෙන් ලද සම්මානයත් සමඟ සුමිත්‍රා පීරිස් සිනමා කලාකාරිය දැවැන්ත පිම්මකින් ඉදිරියට පැන යා යුතු තීරණාත්මක ස්ථානයකට එළැඹ සිටින්නේ යැයි මම සිතමි. විවියන් ගුණවර්ධන වැනි වාමවාදී දේශපාලනඥවරියකගේ ජීවිත අපදානය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අභිලාෂයක් එක් කලෙක සුමිත්‍රා සතුව තිබිණි. එවැනි චිත්‍රපටයක් ඔස්සේ සුමිත්‍රා ස්වකීය අනාගත සිනමාව නව දිශානතියකට යොමු කරන්නේ නම් අතිශය වැදගත් යැයි සිතමි. මෙහිදී මා සිහියට එන්නේ ‘රෝසා ලක්සම්බර්ග්’ වැනි සිනමා කෘතියකි. එය තැනුවේ ද කාන්තා අධ්‍යක්ෂවරියකි. (මාග්‍රට් වොන් ට්‍රොටා). එවන් ප්‍රබල දේශපාලන චිත්‍රපටයක් නිපදවීමේ රැඩිකල්භාවය සුමිත්‍රාට ඕනෑවටත් වඩා පිහිටා ඇති බව ද හුවා දක්වමින් මෙම කෙටි ආවර්ජනාත්මක සටහන නිම කරමි.