|
මාලිනී සිනමාවට මොනවද කළේ ? එහෙම අහන අය ගැන මම දන්නවා
නිළි රැජන මාලිනී ෆොන්සේකා, අසංක දේවමිත්‍ර පෙරේරා සමඟ කෙළින් කතාබහක
සිනමාව නිසා බෙහෝ දෑ ඇයට ලැබුණි. ඇගෙන් සිනමාව ලද දායාද ද බොහොමයකි. හෙළ සිනමාවට උදම් ඇණිය හැකි ‘සුජාත දියණියක’ වන ඇය පොදු ජන හදවත් හි කිරුළු පැලැඳියේ ‘නිළි රැජන’ විලසිනි. මේ ගෙවී යන්නේ ඇගේ රංගන චාරිකාවේ අභිමානවත් පස්වැනි දසකයයි. කැටපත් පවුරෙහි ලියැවුණු සීගිරි ගී මෙන් ඇගේ සොඳුරු රංග ලීලාවන් ප්‍රේක්ෂක හදවතේ සදා නිදන්ගතව ඇත. ඒ මාලිනී ෆොන්සේකා බව නොදන්නේ කවුද? රිදී තිරය මත අප දකින සුන්දරත්වය තිරයෙන් පිටුපස නොමැති බව සැබෑවකි. නමුදු දේශපාලනයට සාපේක්ෂව බලන කළ සිනමාව සොඳුරු ඉසව්වක් වග නම් පැහැදිලිය. එහෙත් ඒ සොඳුරු සෙලියුලොයිඩ් මායවෙන් මෑත්ව ඈ අද කර්කශ දේශපාලනයට ප්‍රවිෂ්ටව සිටින්නේ මහ පොළොවේ යථාර්ථයට සැබෑ අරුතක් සපයනු පිණිසය. මේ මාලිනිය සිනමාව හා දේශපාලනය පිළිබඳ අප සමඟ කළ කෙළින් කතාබහකි. ඔබ රංගන කාර්යයෙන් තරමක් දුරස්ව සිටින කාලයක් මේ? ඇත්තටම මම පසුගිය කාලේ වැඩිපුරම රංගනයට යොමු වුණේ නැහැ. අවසන් වරට රඟපෑවේ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ හා ටෙලි නාට්‍යයේ. ඒ හැරුණාම ‘රණා’ ටෙලි නාට්‍යයේ චරිතයක් නිරූපණය කළා. ඊට පස්සේ නම් නිර්මාණයකට දායක වුණේ නැහැ. ඒකට හේතුව ඔබ දේශපාලන ක්ෂේත්‍රයේ කාර්යබහුල චරිතයක් වීම? තරමක් දුරට ඒ කාරණයත් බලපාන්නට ඇති. ඒත් එකම හේතුව එය නෙවෙයි. රඟපෑම කියන්නේ මගේ ජීවිතය. මොනම දෙයක් නිසාවත් එයින් බැහැර වෙන්නේ නැහැ. දේශපාලනයට සම්බන්ධ කිසිම කලාකරුවකුගෙන් සිනමාවට සෙතක් වුණේ නැහැ කියලා පොදුවේ චෝදනා නැඟෙනවානේ. මම හිතන්නේ ඔබටත් ඒක අදාළයි? සිනමාවට යමක් කළත්, නොකළත් හැමදාම ඔය චෝදනාව නැඟුණනේ. ඒක මම ලොකු ගැටලුවක් හැටියට ගන්නේ නෑ. පසුගිය කාලේ මම බොහොම නිහඬව අපේ සිනමාවේ ප්‍රශ්න, අර්බුද වෙනුවෙන් පෙනී සිටියා. හැබැයි එක දෙයක් කළා මම. ඒවාට පබ්ලිසිටි දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා නිකං එළියෙන් බලද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මොකුත් කළේ නැහැ කියලා. ඔබ කතා කරන්න ටිකකට කලිනුත් මම සිනමාව සම්බන්ධ විශේෂ සාකච්ඡාවකට සහභාගි වුණා. ඒ ප්‍රචාරය නොමැති නිසාම ඔබේ ප්‍රේක්ෂකයෝ වගේම රටේ ජනතාව දන්නේ නැහැනේද ඔබ ඊට මැදිහත් වුණු ආකාරය? මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ සහ රටේ ජනතාව ඒ ගැන දන්නවා. ඒ නිසා ඒගොල්ල ඒක ගැටලුවක් කර ගන්නේ නෑ. නමුත් එක්තරා පිරිසක් ඉන්නවනේ මොනවා කළත් ඇද හොයන, මොනවා කළත් වැරැදි දකින, විවේචනය කරන. එහෙම අය ‘මාලිනී මොනවද සිනමාවට කළේ’, ‘එයා හිටියට වැඩක් නෑ’ වගේ දේවල් කිය කිය මාව විවේචනය කරන බව මම දන්නවා. නම් ගම් ඇතිව දන්නවා. ඒත් මම ඒවාට උත්තර දෙන්න මගේ කාලය මිඩංගු කරන්නේ නැහැ. මොකද මගේ කර්මාන්තය මට ඕනෑනේ. සිනමාව නිසානේ මම අද මෙතැන ඉන්නේ. ඒ නිසා ඒ සිනමා කර්මාන්තය රැක ගන්න කියලා කවුරුවත් මට කියන්න ඕනෑ නෑ. මගේ හදවතින්ම ඒකට කැප වෙලා මේ සිනමාව ගොඩ ගන්න මම වැඩ කරනවා. විවේචකයන්ට පිළිතුරු වශයෙන්? නෑ එහෙම කාටවත් බයකට නෙවෙයි. මේ සිනමාව මගේ කියන හැඟීම මට තියෙනවා. ඒ නිසා සිනමාවේ ඕනෑම ප්‍රශ්නයකට මම මැදිහත් වෙනවා. එහෙම ගිහින් බෙල්ල දීපු අවස්්ථාත් තියෙනවා. බැණුමුත් අහගන්නවා. එහෙම බැණුම් අහගෙන, විවේචන ඉවසගෙන හෙටත් මම සිනමාව වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙම ඉඳලා දංගෙඩියට ගියත් කමක් නෑ මට. ඔබ ඔය විදිහට කිව්වට තාම ජාතික ප්‍රතිපත්තියක් නෑ අපේ සිනමාවට. වත්මන් රජය යටතේ එවැන්නකට ඉඩකඩ සැලසෙයිද? ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ සාකච්ඡාවල් පසුගිය කාලයේ කෙරුණේ නෑ. අඩු ගානේ චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කරන එකවත් වගකිව යුත්තන් කළේ නැහැනේ. නීති සම්පාදනය කරන්නේ, නීති කෙටුම්පත් සකස් කරන්නේ අපි නෙවෙයිනේ. ඒවා නිසියාකාරව නොකෙරුණ නිසානේ පහුගිය කාලේ අපේ සිනමාවේ යම් යම් ගැටලු නිර්මාණය වුණේ. මේවා අන්තයටම උත්සන්න වෙන්න ඉඩ හැරියා. සිනමා ශිල්පීන් හිටියේ ලොකු කලකිරීමකින්. අන්තිමට අපිට මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න වුණේ ඒ නිසානේ. චිත්‍රපට සංස්ථාව සිය යුතුකම් පැහැර හැරියා කියලද ඔය ඔබ කියන්නේ? ඔව්. ඒක මම කෙළින්ම කියනවා. මොකද සිනමාව ගැන තීන්දු, තීරණ ගන්න ප්‍රමුඛ ආයතනය චිත්‍රපට සංස්ථාවනේ. එහි වගකිවයුත්තෝ සංස්ථාව ඇතුළට වෙලා තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතු ටික කරගෙන හිටියා විතරයි. එහෙම තමයි වුණේ. මට කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික මතවාදායක් හෝ අමනාපයක් නෑ. නමුත් සිනමාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා නෙවෙයි ඔවුන් වැඩ කළේ, පෞද්ගලික අරමුණු වෙනුවෙන්. එතකොට යළිත් සංස්ථාවේ මහ පුටුවට ජයන්ත ධර්මදාස පත් කර ගන්නට තිරයේ පිටුපස ඉඳන් විශාල මතවාදයක් ගොඩ නඟපු, අරගලයක් කරපු කෙනෙක් ඔබ? තිරයේ පසුපස ඉඳගෙන නෙවෙයි. ඉදිරියෙන් ඉඳලයි මම ඒ අරගලය කළේ. සිනමාවේ සියලු ප්‍රශ්න විසඳන්නට පුළුවන් ජයන්ත ධර්මදාසට පමණක්ය කියන තැන ඉඳල ද ඔබ ඔහු වෙනුවෙන් පෙනී සිටියේ? සංස්ථාවට අලුත් සභාපතිවරයෙක් පත් කරන්න කියලා ඉල්ලපුවම හැමදාම කිව්වේ මේකට වෙන සුදුසු කෙනෙක් නැහැ කියලයි. එහෙම කියලා මේ ප්‍රශ්නය එක තැනම පල් වුණා. මුලිනුත් යෝජනා වෙලා තිබුණා ජයන්ත ධර්මදාස මේ තනතුරට යළි පත් කරන්න. අවසානයේදී එය යථාර්ථයක් බවට පත් වුණා. ඔහු මේ සංස්ථාවේ සභාපති ධූරයට පත් වූණේ තුන්වන වතාවට. වැඩ බැරි ටාසන් කෙනෙක් නම් එතුමාට යළිත් මේ පුටුව ලැබෙන්නේ නෑනේ. නමුත් එතුමා පිළිගැනීමේ නිල උත්සයේදී ඔබේ සහෝදර සිනමා නළු රන්ජන් රාමනායක ප්‍රසිද්ධියේ පවසා සිටියා මෙය තාවකාලික පත්වීමක්ය කියා. බේදභින්න වී සිටින සිනමාකරුවන් යළිත් එකමුතු කිරීමේ සැලසුමකුයි මේ ජයන්ත ධර්මදාස හරහා ක්‍රියාක්මක වෙන්නේ කියන මතයකුත් ගොඩ නැඟී තිබෙනවා? මේ වගේ මත ගොඩ නඟන්න සමහරුන්ට ආයුධ සැපයෙනවා. ඉතින් ඒ ආයුධ අරන් හරඹපාන ඔය වගේ අය එහෙට අනිනවා, මෙහෙට අනිනවා, හරඹ කරනවා, ගිනිබෝල කරකවනවා. ඔය වගේ දේවල්, එහෙම හරඹ මම ඕනෑ තරම් දැකලත් තියෙනවා. ඉතින් ඔය හරඹකාරයන්ට උත්තර දෙන්න ඕනෑ නෑ. ඒ කාලය මොනවා හරි වැදගත් වැඩකට යොදා ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. ඒ කතාවල පදනමක්, සත්‍යතාවක් නැහැ කියාද ඔබ කියන්නේ? එක එක්කෙනා සපයන තොරතුරු අරගෙන තමයි ඔවැනි ප්‍රකාශ කරන්නේ. ඒත් ඒවායේ සත්‍යතාවක් නැති වුණාම ඒ මත වපුරපු අය නිකං රූකඩ වෙනවා. අන්තිමට බලපුවාම රූකඩ නැටුමක් විතරයි නටලා තියෙන්නේ. හරි . . . ඔබ අපේ සිනමාව ඩිජිටල්කරණය විය යුතුයි කියන තැන බොහොම තරයේ සිටි කෙනෙක්. ඒත් තවමත් අපේ චිත්‍රපට පෙන්වන්නේ දළ සේයාපටවලින්. උදාහරණයක් ගත්තොත් ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටය. දැන් කවදාද අපේ සිනමාවේ ඔය විප්ලවය සිදු වන්නේ? සිනමා ශාලා ඩිජිටල් කර ගැනීම සිනමා ශාලා හිමියන් සතු කාර්යයක්. ඒත් ඔවුන් නිතරම කියන්නේ අපිට පාඩුයි. කර ගන්න විදිහක් නෑ අරකයි, මේකයි කියලා. හැමදාම නෑ, නෑ, නෑ, කියලම තමයි කියන්නේ. මේ වගේ කර්මාන්තයකට එහෙම කිව්වා කියලා විසඳුමක් ලැබෙන්නේ නෑ. මොකද මේක හරි අභියෝගාත්මක, තරගකාරී කර්මාන්තයක්නේ. හොඳ පහසුකම් තියෙන නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවක් වුණොත් හැමෝම ඒකට එනවා. ශාලා හිමියා ආදායම් උපයා ගන්නේ චිත්‍රපට ප්‍රදර්ශනයෙන්. එතකොට ඔවුනුත් චිත්‍රපටය දුවවන්නට සහයෝගය දෙන්න ඕනෑ, නිෂ්පාදකයාවම මරවන්නේ නැතුව. කර්මාන්තයේ පැවැත්ම උදෙසා සිනමා ශාලා හිමියන්ගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් මදි කියලයි ඔබ ප්‍රකාශ කරන්නේ? ඒකනෙ මේ කියන්නේ. චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී ඊට අවශ්‍ය ප්‍රචාරය ඔවුනුත් ලබා දෙන්න ඕනෑ. මොකද චිත්‍රපටය දුවන්නේ තමන්ගේ සිනමා ශාලවේ. ලාබය වැඩි වුණොත් ඒකත් තමන්ටමයි. ඒත් මේ අය බලාගෙන ඉන්නේ හැමදේම බන්දේසියක දාලා පිළිගන්වනකම්. අතටම ගෙනත් දීලා, පිච්චර් එකත් පෙන්නලා සල්ලි ටිකත් අපිට එකතු කරල දීලා යයි කියලා තමයි එයාලා බලාගෙන ඉන්නේ. මේ බොහෝ සිනමාහල් අවුරුදු ගාණක් පරණයි. ඒවායින් ඕනෑ තරම් මුදල් හොයලා තියෙනවානේ. ඒ නිසා තමන්ගේ සිනමා ශාලාව කොලිටි කරගන්න තමන් දැනගන්න ඕනෑ. දැන් එහෙම කරපු සිනමාහල් ගණනාවක් තියෙනවා. ඒවා ලාබ උපයනවා. නමුත් ඉතින් ඇත්තටම දුවන්නේ නැති චිත්‍රපටත් තියෙනවනේ? හැම චිත්‍රපටයක්ම දුවන්න ඕනෑ කියලා කාටවත් කියන්න බැහැ. එහෙම නියමයකුත් නැහැ. මේක තරගකාරී ව්‍යාපාරයක්. ප්‍රේක්ෂකයාගේ හදවත ඇද ගන්න තියෙන ශක්තියේ පිළිවෙළට තමයි ලාභය ලැබෙන්නේ. ඉතින් සිනමාහල් හිමියන් මේ ගැන හිතන්න ඕනෑ. මොකද මේ ආපහු සිනමාව වෙත ප්‍රේක්ෂකයන් ඇදිලා එන කාලයක්. ඔබ හිතන්නේ නැද්ද රජයට හෝ චිත්‍රපට සංස්ථාවට යුතුකමක් තියෙනවා කියලා සිනමා ශාලා හිමියන්ට කිසියම් ණය මුදලක් මේ කටයුත්ත සඳහා ලබා දෙන්න? අනිවාර්යෙන්ම. ඒ සඳහා මම යෝජනා ඉදිරිපත් කරලත් තියෙනවා. සහන පොලියක් මත ණය මුදලක් ලබා දෙන්න කියලා යෝජනාවක් මම ඉදිරිපත් කළා. එහෙම යෝජනා කළාට ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනෑ සංස්්ථාව හරහානේ. ඒවා කෙරුණේ නෑනේ එකක්වත්. දැන් ඉදිරියේදී අපට ඒක කරන්නට පුළුවන් වේවි. මාලිනී ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවත් එයාට කවදාවත් මහජන ඡන්දයෙන් එතැනට එන්න බෑ කියලා ඔබේ විරුද්ධවාදීන් ප්‍රකාශ කරනවා. ඒ ගැන මොකද කියන්නේ? මම ඡන්දය ඉල්ලුවොත් ඒක මහජනතාව තීරණය කරයි. අද කලාකරුවෝ දෙපිළ බෙදිලා, සීසීකඩ විසිරිලා ඉන්නවා. සමහරු පටු දේශපාලන අරමුණුවල එල්බ ගෙන කටයුතු කරන බවට චෝදනා නැඟෙනවා. අපි අහලවත් නැති කලාකරුවෝ විවිධ සංගම් පිහිටුවාගෙන. මේ තත්ත්වය නිසා කලාකරුවෝ භේදභින්න වෙන තැනට ඇවිත්? මෙහෙමයි. කලාකරුවෝ විදිහට විතරක් නෙවේ, සාමාන්‍ය මහජනතාව පවා දරන මත එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඕනෑම මතයක් දරන්න කෙනෙකුට අයිතිය තියෙනවා. ඕනෑම මතයක් දරලා ඒ මතය ක්‍රියාත්මක කරන්න මේ මහ පොළොවේ අපට නිදහසේ කකුල් දෙක තියාගෙන ඉන්න පුළුවන්කම තියන්න ඕනෑනේ. අද අපට ඕනෑ දෙයක් කරන්න ඒ පසුබිම සකස් වෙලා තියෙනවා. කරනම් ගහන්න, බඩ පිනුම් ගහන්න සමහරුන්ට පුළුවන් වෙලා තියෙන්නෙත් ඒ නිසයි. දින සීයෙන්, පැය විසි හතරෙන් අරවා මේවා කරනවා කියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙත් ජනාධිපතිතුමන් අපට ලබා දුන් නිදහස නිසයි. ඒ කෙළෙහි ගුණය අපි ළඟ තියෙන්න ඕනෑ. කාලාන්තරයක් හීනයක් වෙලා තිබුණ නිදහස අද මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙලා? ඇත්ත කතාව ඒකනේ. කලාකරුවන් හැටියට තමන්ගේ මතවාද ප්‍රකාශ කරන්න, එකිනෙකා විවේචනය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ නිදහස නිසයි. සංවේදී කලාකරුවන් හැටියට මේ මොහොතේ අපි හිතන්න ඕනෑ ඒකයි. බයක් සැකක් නැතිව රටේ ඕනෑම තැනක, ඕනෑම වෙලාවක යන්න, අද අපට පුළුවන්. සංගීත ප්‍රසංග පවත්වන්න, වේදිකා නාට්‍ය රඟ දක්වන්න බැරි කාලයක් මේ රටේ තිබුණා. ඒක කලාකරුවන් හැටියට අපි අමතක කළ යුතු නැහැ. මේ ඔබේ රංගන දිවියේ අභිමානවත් පණස් වසර. ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ? හරිම පිරිච්ච හැඟීමක් හිතට ඇති වෙන්නේ. ජනතාවගෙන් කිරුළු පළඳින්න වරම, වාසනාව උදා වූ කලාකරුවෝ ඉන්නේ බොහොම අතලොස්සයි. ඒ අතරේ මමත් ඉන්නවා නේද කියලා හිතෙන කොට දැනෙන සතුට, සොම්නස වචනයෙන් කියන්න බැරි තරම්. ඒක හරිම පරිපූර්ණ හැඟීමක්. ඒත් එහෙම වුණා කියලා මම රඟපෑම නවත්තන්නේ නෑ. හෙටත් මම රඟපානවා. ඇයි එහෙම ස්ථාවරයක ඉන්නේ? නිළියක් හැටියට නම් මම තෘප්තිමත් නැහැ. තවත් රඟපාන්න ඕනෑ. ඒ කියන්නේ ඔබට තව දෙන්න දේවල් තියෙනවා අපේ සිනමාවට? අනිවාර්යයෙන්ම. තව කොච්චර දේවල් තියෙනවාද? තව කොච්චර චරිත රඟපාන්න පුළුවන් ද? මේක මහා විශාල ලෝකයක්නේ. ආත්ම ගාණකට පිවිසෙන්න පුළුවන් ද මේ එක ආත්මයක් ඇතුළත. ඒ ලෝබකම නම් තියෙනවා ඉතින්. කරන්න දෙයක් නෑ ඒකට. හැබැයි මෙතෙක් මට කරන්නට පුළුවන් වුණ දේවල් ගැන නිළියක් හැටියට මම සතුටු වෙනවා. නිළි රැජනට තිබෙන ඒ සතුට, සොම්නස සාමාන්‍ය ගැහැනියක විදිහට ඔබට දැනෙනවාද? මෙහෙමයි, ඉතින් ඕනෑම කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයේ එක් එක් කාලවලදී විවිධාකාරයෙන් සතුට ළඟා වෙනවා. විවාහ ජීවිතයේ සතුට, එතකොට දරුවන් නිසා ලැබෙන සතුට. මවුපියන්ගේ ආදරය, සෙනෙහස නිසා ලැබෙන සතුට. එය විවිධාකරයි. නමුත් ඇතැම් දේවල් එහෙම නොවුණා කියලා අතෘප්තිමත් හැඟීමක් නම් මගේ කොහෙක්ම නැහැ. මම බොහොම ධනාත්මකව තමයි ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්නේ. අනේ අපරාදේ, අයියෝ කියලා මම තැවෙන්නේ නැහැ. මේක මෙහෙම වෙන්න තිබුණනේ කියලා හිතන්නෙත් නැහැ. එහෙම සිතිවලිවලට මම කැමැතිත් නැහැ. එහෙම බලන කොට මම තෘප්තිමත් ගැහැනියක්. |