වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




වාක්‍යයකින් වේදිකාවට ආ නළුවා මමයි

වාක්‍යයකින් වේදිකාවට ආ නළුවා මමයි

වසර හතළිහක් පුරා නොකඩවා වේදිකා නාට්‍යවලට දායක වූ දයාදේව එදිරිසිංහ අද වේදිකාවේ පෙළහර පාන්නේ තරුණ නළුවන්ටද නොදෙවැනි වන අන්දමිනි. ඉඳහිට ඔහු සිනමා සිතුවමකින් හෝ ටෙලි නාට්‍යයකින් දක්නට ලැබුණොත් ඒ ලැබෙන චරිතය ද දයා පණ පොවන්නේ කිසිවකුට හෝ දොසක් කියන්නට බැරි ලෙසටය.

ඒ අනුව බලන කළ ඔහු විශිෂ්ට රංගන වේදියකු ලෙස හැඳින්වූවාට වරදක් නැත. දයාගෙන් අසන්නට ඇති ප්‍රශ්න බොහොමයකි. කොතැනකින් පටන් ගන්නවා ද යන්න මම ඔහුගෙන් විමසුවෙමි.

අතීතයට ටිකක් ගිහිල්ලා එමු.

මම දයාගේ ඉල්ලීමට ඉඩ දුන්නෙමි.

ඉස්සර වැඩිපුරම ජනපි‍්‍රය චිත්‍රපට මාධ්‍ය. මමත් ඒවායේ හොඳ රසිකයෙක්. ඒත් වේදිකාවට මගේ මොකක්දෝ හිතවත්කමක් තියෙන්නට ඇති කියලා හිතෙනවා. මම එහෙම කියන්නේ දෛවය විසින් මාව වේදිකාව මත වැඩිපුර නතර කළ නිසා. ඒක හරියට ලේ ඥාති බැඳීමක් වගේ. වේදිකා නාට්‍යයක රඟපාන්න තුන් හිතකවත් අදහසක් තිබුණෙ නැති යුගයක මගෙ නෑදැවෙන කෙනෙක් මාව එක්කගෙන ගියා සුගතපාල ද සිල්වාගේ හරිම බඩු හයක් වේදිකා නාට්‍යයේ රිහසල් බලන්න.

මාත් ඉතින් එතනට වෙලා ඔහේ හිටියා. මට අහඹු අවස්ථාවක් ලැබුණේ එහි සමූහ දර්ශනයකට පෙනී සිටින්න. කෙටියෙන්ම කිව්වොත් මම වාඩිවෙලා හිටියා පමණයි. ඔන්න එක දවසක් එක්තරා නළුවෙක් ආවෙ නැහැ. ඔහුට වෙන නාට්‍යයක් හම්බවෙලා ඒකෙ පුහුණුවීම්වලට ගිහිල්ලා. සුගත් මට නිකමට ඒ නළුවා කියපු මෙන්න මේ දෙබස් කියන්න කිව්වා. “මට මුකුත් ඕන නැහැ. මම තමුසෙ කරන දේ බලාගෙන ඉන්නවා.”

මාත් ඉතින් චණ්ඩියෙක් වගේ හයියෙන් ඒක කිව්වා. එතන හිටිය හැමෝම වගේ හිනාවුණා. මට ලැජ්ජත් හිතුණා. නමුත් සුගත්ට ඕන කරලා තිබුණේ ඒ උච්චාරණ විලාසය. එදා පටන් මාව හැමෝම හඳුන්වන්න පටන් ගත්තේ වාක්‍යයකින් වේදිකාවට ආව නළුවා හැටියට. ඊට පස්සේ දිගින් දිගටම වේදිකා නාට්‍ය රංගනයේ යෙදුණා.

ඔබ කලාවට එන්නේ මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයේ. ඇයි සිනමා පටයන්ට තම රංගන දායකත්වය සැපයුවේ නැත්තේ?

අපේ කාලයේ සිනමා නළු නිළියන්ගේ ප්‍රතිරූපය හරිම ඉහළයි. ඒ අතරට මං වගේ රුව අඩු කෙනෙක්ට කොහෙත්ම තැනක් නැතිවෙයි කියලා මට බය හිතුණා. ඒක එක්තරා ආකාරයකින් පොඩි හීනමානයක්. අර තෝරු මෝරු අස්සට හාල්මැස්සො මොකටද කියල හිතල මම වේදිකා නිර්මාණවලට විතරක් දායක වුණා. අනික මට හරිම ලෙහෙසියි වේදිකාවේ හරඹ කිරීම.

ඔබ ඔහොම කිව්වට ජෝ අබේවික්‍රම, ඇන්තනි සී පෙරේරා, දොන් සිරිසේන වගේ වෙනමම රූපයක් ඇති නළුවොත් සිංහල සිනමාවෙ හිටියනෙ?

ඔව්. නමුත් අපි දන්න කාලේ සිනමාපටවලින් දැක්කේ ඔවුන්ගේ මැදිවිය ඉක්ම වු රුව. ඒක එක හේතුවක් වන්නට ඇති අප තුළ සිනමාවට වැඩි වශයෙන් දායක නොවීමට සිතුවිල්ලක් පහළ වෙන්න.

ඔබ ඒ කාලේ සිනමාපටයන්ට සම්බන්ධ වුණා නම් ඔබ අද වන විට ඉතා ජනප්‍රිය නළුවෙක්?

සමහර විට මොනවා වුණත් වේදිකාව මට ඔක්කෝටම වඩා සමීපයි. ජනප්‍රිය වන්නේ නැති වුණත් ඉන් ලැබෙන තෘප්තිය අති මහත්.

කෙසේ නමුත් වර්තමානය වනවිට දයා මේ සියලු මාධ්‍යයන් හා එක්ව තිබෙනවා?

ඔව්. මට ආරාධනා ලැබෙනවා. මේ දවස්වලත් මම ඉන්න චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒක තමයි තන්හා රති රඟා. මම එහි සිල්වා කියලා පොලිස් රාළහාමිගේ චරිතයකුයි රඟන්නේ.

කොහොමද හිමකඳු නාට්‍ය සඳහා ලැබුණු ප්‍රතිචාර?

නාට්‍ය ඉවර වෙලත් දැන් ටික කාලයක් වෙනවා. ඒත් ඊට හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙනවා. ඒ වගේම මනෝරත්නගේ ඊළඟට මොකද වෙන්නේ නාට්‍යයේත් මම ඉන්නවා.

වේදිකාව නිසා ටෙලි නාට්‍ය අතහරිනවා කියලා ආරංචියි?

ඔව්. එහෙම කරන එකම නළුවා මම ද දන්නේ නැහැ.

මේ තත්ත්වය මත ඔබට ආර්ථික අපහසුතා ඇති වන්නේ නැද්ද?

ඉස්සර නම් සල්ලි ප්‍රශ්න ආව. නමුත් වර්තමානයේදී මූල්‍යමය ගැටළු වෙනවා අඩුයි.

හේතුව?

දැන් ඉන්නවනෙ සංවිධායකවරු කියලා වෙනමම කණ්ඩායමක්. ඔවුන්ගෙන් වේදිකා නළු නිළියන්ට නියමිත මුදල් ලැබෙනවා. හැබැයි පොඩි ගැටලුවකට තියෙන්නේ ඉස්සර තරම් පිළිගැනීමක් නැති එක.

ඒ කිව්වේ?

අපි ඉස්සර වේදිකා නාට්‍යයක් සඳහා ගියාම වෙනමම ඉන්න තැන් වෙනමම කෑම ලැබෙනවා. පහසුකම් ගොඩයි. අද ඒ තත්ත්වය දකින්න නැහැ.

නව පරපුරේ අය වේදිකාවට පැමිණීමේ අඩුවක් තියෙනවා?

මම ඒ මතයට විරුද්ධයි.

ඒත් නවක නළු නිළියන් වේදිකා නාට්‍යවල ඉන්නේ හරිම අඩුවෙන්නේ?

මම කිව්වෙ අලුත් අය එනවා කියලා විතරයි. ඔවුන් රැඳෙන්නේ නැහැ. මම හිතන්නේ ජනප්‍රියත්වය සොයාගෙන ඔවුන් යනවා. ඒ අතරේ වේදිකා නාට්‍යවල ඉතාම සීමිත පිරිසක් රැඳෙනවා. ඒ අය තමයි මේවා ඉදිරියට ගෙනියන්න ඕනෑ.

ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය අතර රංගන වෙනස කොහොමද ඔබ දකින්නේ?

වේදිකාවේ රැඳී ඉන්න දක්ෂතාවය තියෙන්න ඕනෑ. නමුත් ටෙලිවල රඟපාන්න රුව පමණක් තිබීම බොහෝ විට ප්‍රමාණවත් වෙනවා. මම කියන්නේ ටෙලි නාට්‍ය නළුවෝ අදක්ෂයි කියන එක නෙවෙයි. වේදිකාව සජීවී මාධ්‍යක්නේ. ඒ හින්දා බොරු කරලා බැහැ.

ඔබ වෘත්තීය නළුවෙක්. මේ වන විට ඔබ අනාගතය ගැන හිතලද ඉන්නේ?

මට පැහැදිලි නැහැ ඔබ අහපු පැනය?

අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ සැඳෑසමය හරිම කනගාටුදායකයි. එහෙම නොවන්න ඔබ වගබලාගෙන ද ඉන්නේ කියලා මම ඇහැව්වේ?

මම දැනටමත් ඒ ගැන හිතලයි තියෙන්නේ.

ඔබ හිතන විදිහට වෘත්තීය කලාකරුවෝ ඇතැම් දෙනා මා ඉහත කී තත්ත්වයට වැටෙන්න ඇයි?

කලාකරුවකු විදිහට අපි හිතන්න ඕනෑ මේ තියෙන සැප සම්පත් හැමදාම නැහැ කියලා. මෙය වෘත්තියක් හැටියට හිතුවා නම් කවදාවත් අවුල් වෙන්නේ නැහැ. එතකොට ඉතිරියක් සිදු වෙනවා. කලා කටයුතු අපට හයිහත්තිය තියෙනකම් කළ හැකියි. බැරි වෙලාවත් කලාවෙන් අයින් වෙන්න සිදු වුණොත් මොකද කරන්නේ කියලත් අපි දැනගෙන ඉන්න ඕනෑ.

දයාදේව එදිරිසිංහව අප නිතරම දකින්නේ සීමිත අධ්‍යක්ෂවරුන් පිරිසක් කරන නිර්මාණයන් තුළ පමණයි?

ඒකට හේතුව මම කියන්නම්. හැබැයි ඇතැම් අය තරහ වෙයි ද දන්නේ නැහැ. නළුවෙක් නොව රංගන ශිල්පියකු හැටියට මාව අවශ්‍ය වන අධ්‍යක්ෂවරුන් පමණයි මට කතා කරන්නේ. ඒකයි මම හැම නිර්මාණයකම දකින්න නැති හේතුව.

මේ දිනවල ඔබේ නවතම වේදිකා නිර්මාණ මොනවද තියෙන්නේ?

රාජිත දිසානායකගේ අලුත් නාට්‍ය වන සිරිවර්ධන පවුලහි මේ දිනවල රිහසල්. ඊට අමතරව ධර්මප්‍රිය ඩයස්ගේ සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍යයේ රඟපානවා.

පෙරුම් පුරලා පෙරුම් පුරලා ඔබ වේදිකා නාට්‍යක් නිර්මාණය කරන්න ගියා නේද?

මට ඕනෑ කරන පහසුකම් මට ලැබුණේ නැහැ. ඒක නිසා වැඩේ නැවැත්තුවා.