|
නිළියො නළුවො දාහක් හොයා ගන්න පුළුවන් ඒත් ටයි කෙනෙක් හොයා ගන්න බෑ
මෙම සිද්ධිය සිදු වූයේ ද ටයිටස් තොටවත්ත මහතා අධ්යක්ෂණය කළ මංගලා චිත්රපටය රූගත කරද්දී මහනුවරදීය. ඊළඟ දර්ශනය සඳහා ටයි මහතා චිත්රපටයේ ප්රධාන නිළියට ඉතා හෙමින් උපදෙස් දුන්නේය. ‘හොඳයි ටයි මහත්තයා’යි ඇය කියනු ඇසිණ. මිනිත්තු දහයකට පමණ පසුව දර්ශනයට කැඳවා ගැනීමට ටයි මහතා නිළිය සිටි කාමරයට ගියේය. ඒ වන විට සිගරට්ටුවක් දල්වාගෙන පැණි බීම වීදුරුවක් පානය කරමින් ඈ සිටියාය. එය දුටු ටයි මහත්තයා පරළ විය. ‘ෂූටිං කැන්සල්’ මං කොළඹ ගිහිල්ල එන්නම් කී ඔහු අසල සිටි මා ද කැඳවා ගත්තේය. වාහනය පිටත් විය. එය නැවැත්තුවේ කොළඹ ටී. බී. ඉලංගරත්න ඇමැතිවරයාගේ කාර්යාලය අසලය. වාහනයෙන් බැස ගත් ටයි මහතා ඇමතිවරයාගේ කාමරයට ඇතුල් විය. ‘මොකද ටයි මහත්තයා’ ඔහු දුටු විගස ඇමැතිවරයා ඇසුවේය. ‘මේ වගේ . . . . . නිළියො එක්ක මට වැඩ කරන්න බෑ කී ටයි මහතා පිටපත ඇමැතිවරයාගේ මේසය මත තැබීය. ‘ටයි මහත්තයා කලබල නොවී වෙච්ච දේ කීවනං’ ඇමැතිවරයා කීය. ‘ඇමැතිතුමාගේ මංගලා හදලා එල්ෆින්ස්ටන් එකේ පෙන්නන කොට ඒකෙ නිළිය කන පැලෙන්න අඩියක් ගහල, සන්ග්ලාස් කුට්ටමක් දාලා බිකිණිය පේන්න ඇඳුමක් ඇඳගෙන එල්ෆින්ස්ටන් එක ඉස්සරහ තාප්පේ උඩ වාඩි වෙලා කකුල් දෙක හොල්ල හොල්ල හිටියොත් ඇමැතිතුමාට පාරේ බැහැලා යන්න පුවවන්ද? කී ටයි මහත්තයා මේසය උඩ වූ වතුර වීදුරුවක් හිස් කළේය. මම ටී. බී. ඉලංගරත්න ඇමැතිතුමා අල්ලපු කාමරයට කැඳවාගෙන ගොස් වී ඇති සංගදිය කීවෙමි. ‘නිළියො නළුවො දාහක් හොයා ගත හැකියි. ටයි කෙනෙක් හොයා ගන්න බෑ. වේහැල්ලේ කියන්න ප්රධාන නිළිය අයින් කරලා කැමැති නිළියක් හොයා ගෙන වැඩ කරමු කියලා. දර්ශන කීපයක් රූගත කර තිබුණ මංගලා චිත්රපටයට හිටපු ප්රධාන නිළිය ඉවත් වී ඒ වෙනුවට මංගලා වූයේ නීටා ප්රනාන්දුය. |