වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




‘මා නැත අන් සතු සිත් බිඳලා
ගේයපද රචකයෙක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

‘මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා’

රවී සිරිවර්ධන

අතීතයේ සිතුවිලි අතර සැරිසරන විශේෂාංගය ‘මතක ගී පොතයි. මතකය සමඟ සැරිසරන, සිත දැහැන්ගත වන පත් ඉරුවට මෙවර සහභාගි වන්නේ සෝම හිමි වෙනුවෙන් ‘දැයම පුබුදුවාලූ’ ගීතය ලියමින් ගී අසන රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ රවී සිරිවර්ධනයි. ‘වසත් කාලය මනරම්’, ‘ඔබෙ සුසුම් පවන් සලයි’, ‘ඉක්මන් නොවුනා නම් අපි’, ‘මල් පිපිලා’, ‘ඔබෙ නීල නෙත්’ ආදී ගීත ද ඔහු සුරතෙන් පද බැඳුණු නිර්මාණ සමුච්චයයි. එමෙන්ම 2010 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොඳම ගීත රචනා කෘතියට හිමි සම්මානය හිමි වූයේ ද ඔහුගේ ‘වසත් කාලය මනරම්’ ගීත පොත සඳහාය. මතක ගී පොත’ට සිය අතීතය මෙලෙස ඔහු ගෙනහැර පෑවේය.

ඇයව මට මුණ ගැසෙන්නේ මහරගම යූත් සෙන්ටර් එකේදී පැවැත්වුණු නිර්මාණ වැඩමුළුවකදීය. ඒ වනවිටත් පුවත්පත්වලට කවි ලියන රචකයෙක් වූ මම ද ඒ වැඩ මුළුවට සහභාගි වීමි. ඒ වැඩමුළුවේදී දැන හඳුනා ගත් අප දෙදෙනා බොහෝ සෙයින් සමීප කර වූයේ කවි පිළිබඳ තිබුණා වූ කැමැත්ත බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මන්ද ඒ වන විටත් ඔබ මගේ කවි රස විඳින රසිකාවක් බව හෙළිවූයේ අප අතර ඇති වූ කතාබහෙන් බැවිනි. ඒ සිටි හෝරා කිහිපයේදී බොහෝ දේ කතාබහ කළ අප අතර මනා සබැඳියාවක ආරම්භය සනිටුහන් වූයේ නොසිතූ විරූ අයුරෙනි. එසේ ඇරැඹුණු මිතුදම ආදරයකට පෙරළෙන්නට වැඩි කාලයක් නම් ගත නොවීය.

ඒ ආදරණීය බව වඩාත් ළං කළේ අප අතර හුවමාරු වූ හසුන්ය. කාව්‍යෝක්තිවලින් සමන්විත ඒ හසුන් ආදරය ප්‍රකාශිත හසුනකට වඩා වඩාත් ළං වූයේ සාහිත්‍ය ලියවිල්ලකට යැයි සිතෙන්නේ දැන්ය. ඒ ලියැවිලි වඩාත් රසවත් වන්නට ඇත්තේ මෙකල මෙන් එකල දුරකථන ඇමතුම් නොමැති නිසා විය යුතුය. ඒ නිසා කිවයුතු, කතා කළ යුතු සියල්ල කළ යුතු වූයේ හසුන් මඟිනි. එලෙස මාස කිහිපයක්ම හසුන් මඟින් හමු වූ අපි එකිනෙකා මුණ ගැසීමට ද කථිකා කර ගත්තෙමු.

‘රවී නුවරට එන්න’

ඇය මට ආරාධනා පතක් එවා තිබුණේ මුණ ගැසිය යුතු වේලාවත් ස්ථානයත් දන්වමිනි. ඒ වනවිට අ. පො.ස. උසස් පෙළ ලියා අවසාන වී මා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙනි. ඒ නිසා ඕනෑ තරම් ඇය සමඟ කාලය ගත කිරීමට තරම් අවකාශය මට විය. මම තනිවම තීරණයකට පැමිණියෙමි.

‘මම ඈ මුණ ගැසෙන්න නුවර යනවා’

ඒ තීරණයට අනුව නියමිත දිනයේ මා කොළොම්පුරවරයෙන් නුවර බසයට ගොඩවූයේ ගැහෙන හදවතිනි. මීට පෙර මා නුවර ගොස් තිබුණේ පාසලේදීය. මේ මා නුවර යන දෙවන වතාව වුව ද නුවර පිළිබඳ හාන්කවිසියක මතකයක් මගේ මතකයේ නොවීය. එදා මා පිරිවරා ශිෂ්‍යශිෂ්‍යාවන් රැසක් සිටිය ද අද මා තනිවමය. මගේ හදවත ගැහෙන වේගය මටම ඇසෙන තරම්ය. ඒ ඇතිවුණු තිගැස්සීම යටපත් කර ගනිමින් මම ඇය පිළිබඳව සිතන්නට වීම. මගේ සිතුවිලි පරයා බසය ඉදිරියට ඇදී යන්නේ වේගයෙනි. හෝරා කිහිපයකට පසුව මා සිටින්නේ නුවර නගර මායිමේ වග මට කිව්වේ කොන්දොස්තරගේ ස්වරයයි.

‘පේරාදෙණිය මල්වත්ත ළඟ බහින්න’

ඔහුගේ කෑගැසුම මගේ දැහැන්ගත සිත බින්ඳේය. මම නුවර ගුඩ්ෂෙඩ් එකෙන් බසින්නට සූදානම් වීමි. බසයෙන් බැස්ස පසුව කිසිවක් නොදත් කතරක අතරමං වූවාක් වැනි හැඟීමකින් පෙළුණ මා ඈ දුටුවනම ඇති වූයේ අස්වැසිල්ලකි. ඒ කියූ තැන ඇය මා පැමිණෙනතුරු බලා සිටියාය. නුවර පිළිබඳ කිසිවක් නොදත් මට මඟ පෙන්වන්නා වූයේ ඇයයි. ඇය පෙරමුණ ගත්තාය.

සුහද ලෙස කතාබහ කරමින් වීදි දිගේ ඇවිද ගිය අප මතු වූයේ වැව රවුම අසලිනි. එක් පසෙක පෙනෙන්නේ දළදා මාලිගාවයි. සුදෝ සුදු වතින් සැරැසුණු උවැසි - උවැසියන් නෙළුම් මල් රැගෙන දළදා පුදට යන අපූරු දසුන මගේ නෙත සොරා ගත්තේය. මම අවට බැලීමි. අප අසලෙන් එහා මෙහා යන මඟීන් ඉක්මන් ගමනේ යෙදෙන්නේ කුමක් අරඹයාදැයි මගේ සිතට නැඟුණේ පැනයකි. ඔවුන් දෙස මා විමසුම් සහගත බැල්මක් හෙළුවේ හඳුනන කිසිවෙකුත් ඒ අතර සිටීදැයි යන්න දැනගනු පිණිසය. එවැනි කිසිවෙකුත් ඔවුන් අතර සිටින්නේ කෙසේද? මම නුවරට ආගන්තුකයෙක් වීමි.

වැව රවුමේ තැනින් තැන බංකු තනා ඇත්තේ ඇවිද වෙහෙසව සිටින අයට ගිමන් නිවන්නට මෙනි. යෝධ රුක් වැව් ඉවුරට සෙවන ගෙනෙයි. ඒ සෙවන මත වැටී ඇති රොබ රෝසියා මල් රටාවේ සොඳුරු බවෙන් වශීකෘත වූ අප දෙදෙනා ඉදිරියට යෑමට නොහැකිව සිටි වනම සිටගෙන සිටියහ. බංකුවල ඔවුනොවුනට තුරුළුව සිටින පෙම්වතුන්ට ආශිර්වාද කරන්නට මෙන් වැටුණු ඒ පුෂ්පවලින් ගහනය වූ මාවත අපට සිහිපත් කළේ මල් වියනකි. වැව රවුමේ බංකුවක අසුන් ගත් අපි සෙමෙන් රැළි නඟන වැව් දිය මතට නෙත් හෙළීමු. වරෙක ශාන්ත බවත්, වරෙක සසල බවත් කැටි වුණු නුවර වැව අප දෙස බලා සිටියේ වැව් ඉවුර මතට සෙමෙන් ගී පද මුමුනමිනි. එතැන ටික වේලාවක් ගිමන් නිවූ අප ඊළඟට පිවිසියේ නුවර නගරයට ඉහළින් පෙනෙන බහිරව කන්ද බුදු පිළිමය නරඹන්නටය.

ඊට පසුව උද්භිද උද්‍යානය වටාත්, මල්වත්තටත් පිවිසි අප එහි සක්මන් කරමින් ගෙවූ සොඳුරු හෝරා කිහිපයෙන් සමුගන්නට කාලය පැමිණියේ ඉක්මනිනි. අකැමැත්තෙන් වුව ද ඇයට සමුදුන් මා දුම්රියට නැග්ගේ මගේ නවාතැනට පැමිණීමේ අදිටනෙනි. මෙලෙස හමු වූ ඒ සොඳුරු ප්‍රේමය මාස කිහිපයක් ගිය තැන මගෙන් සමු ගත්තේ මා නොසිතූ අයුරෙනි. මන්ද ඇය දැඩි තීරණයක පිහිටා සිටියාය.

‘අපි දෙන්නාට කිසිම විදියකින් එක් වෙන්න බැහැ රවී’

අප දෙපසට කළේ ඇගේ දුප්පත්කම යන සාධකයයි. ඒ සොඳුරු ප්‍රේමයට තිත තැබූ අපි දෙදෙනා දෙපසට වූයේ ඒ සොඳුරු අතීතය ද හදවතට තුරුළු කර ගනිමිනි. ඒ තුරුළු කරගත් සොඳුර අතීතය තවමත් මා සිත පතුලේ සක්මනක යෙදෙයි. එවිට මේ ගීතය මා සිතට පිවිසෙයි.
 

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
 

වැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවා

නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
 

සරසවි බිම කඳු රැල්ලෙන් ඈත පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න සිතෙනවා
 

ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා

සිඟිති පුතා ඇතැඟිල්ලක එල්ලී එනවා
 

ඒ කලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා

ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා
 

ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය – මර්වින් පෙරේරා

ගායනය – මර්වින් පෙරේරා

 

 

ඊට පසු කාලයකට පසුව යළිත් නුවර ගියේ මගේ වෙනත් කටයුත්තක් සඳහාය. නුවර වැව දුටු මගේ මතකයට පිවිසියේ නුඹමය. එදා මෙන්ම අද ද නුවර වැවේ දියරළ එලෙසම ඉවුරේ හැපී සිහින් සරින් මුමුනමින් ගීයක් ගයන අයුරු මම දුටුවෙමි. ඒ සියල්ල එලෙසමය. එදා සිතේ ඇති වූ ඒ සොඳුරු සිතුවිල්ල ද එලෙසමය. මම සෙමෙන් මේ ගීය මුමුනමින් එතැනින් සමු ගත්තෙමි.

වික්ටර් රත්නායක ගයන ප්‍රේමතීර්ති ද අල්විස් පදබැඳි මේ ගීතය ද මගේ අතීතය සිහිපත් කරයි.
 

සඳකැන් වැසිලා අඳුරේ එතිලා

ගනඳුරු රෑ තනිකම නෑ

සොයා එන්න ගනඳුර තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණි
 

ජීවිතයම සතු එකම සුවේ

හී සර පහරක වෙළෙනු පෙනේ

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු

අසල්වාසියකු සොයනු දැනේ
 

මා නැත අන් සතු සිත් බිඳලා

දෑතම බැඳගෙන ඉඳිමි බලා

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු

රහස් අහස් තලයට පවරා
 

ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය – වික්ටර් රත්නායක

ගායනය – වික්ටර් රත්නායක

පාසල් කාලය හා බැඳුණු අනෙක් ප්‍රේමය සිහිපත් කරන මේ ගීතය අද මා සිහිපත් කරන්නේ ළබැඳි සිතිනි. එකල සිදු වූ සිදුවීම නිසා බෙහෙවින් දුක්ඛදායක හැඟීමකින් පෙළුණු මම ඒ දෙස මැදහත් සිතින් බලන්නට පුරුදු වූයේ වයසෙන් මුහුකුරා යෑමත් සමඟය යැයි මට සිතෙයි. ඒ තරමටම ජීවිතය පිළිබඳ මැදහත් සිතින් සිතන්නට පුරුදු වූ මම යළිත් වරක් ඒ අතීතය සොය යමි.

පාසල් යන ශිෂ්‍යයෙක් ලෙස උන් මා ඇගේ දසුන මගේ සිත සසල කිරීමට සමත් විය. ඒ යුවතිය මට මුණ ගැසුණේ පෞද්ගලික පන්තියකදීය. රංජිත් ප්‍රනාන්දු නම් සිංහල ගුරුතුමාගේ පන්තියේ උගත් අපි දෙදෙනා පළමුවෙන්ම දෙදෙනාටම ආගන්තුකයෝ වීමු. පන්තියේ ජනප්‍රිය ශිෂ්‍යයෙක් වූ මම ඇය පිළිබඳ ඇති වූ සිතුවිල්ල ඈට පැවීසීමට කාලය සෙවීමි. විධි ක්‍රමයක් සෙවීමි. එවිට ඒ අපූරු අවස්ථාව උදා වූයේ ඉබේමය.

දිනක් මට සිංහල පන්තියට පැමිණීමට නොහැකි විය. ඊළඟ සතියේ පන්තියට පැමිණීමට නොපැමිණි දවසේ සටහන් ලියා ගනු සඳහා ඇගේ යෙහෙළියගෙන් ඒ දිනයේ ඈ ලියූ සටහන් පොත් ඉල්ලා සිටියෙමි. කිසිම කලබලයක් නොකළ ඇය මට ඇගේ සටහන් පොත යෙහෙළිය අත එවා තිබුණි. මා සිටියේ කුමක් කළ යුතු ද නොකළ යුතු ද යන සිතුවිල්ලේය.

‘ කමක් නෑ ලියුමක් ලියලා දෙනවා’

සිතට ආ සිතුවිල්ලට අනුව ප්‍රේමණීය හසුන්පත ලියන්නට මට දිගු කාලයක් ගත විය. ඒ දිගු කාලයේදී කොළ කිහිපයක්ම ගුලි වී කුණු කූඩයට ගිය අතර අවසානයේ සිතැඟි පවසමින් මම ඈට හසුනක් ලිවීමි. පෙර දින ඉල්ලා ගත් සටහන් පොත ඇතුළට දැමූ මම පොත ඇගේ යෙහෙළියගේ අත තැබීමි. දින කිහිපයක් ගෙවී ගියේය. හැරෙන තැපෑලෙන් මට හසුනක් ලැබුණි. එහි සටහන්ව තිබුණු කරුණු කාරණා දුටු මට ඇති වූවේ දුකකි.

‘ඔයා දක්ෂ කෙනෙක්. ඔයාට තියෙන්නේ වෙනම ගමනක්. ඒ ගමන ඔයා ගොඩක් දුර යනවා කියලා මම දන්නවා. ඒ නිසා අප ආරම්භ කරන්න යන මේ සම්බන්ධය ප්‍රායෝගික එකක් නොවෙයි. ඒ නිසා අපි මේ අදහස අත්හරිමු.’

ඈ එවූ හසුනේ වූ පේළි කිහිපයන් තවමත් මගේ මතකයේ තැන්පත්ව තිබේ. පහසුවෙන් ඇගේ ඒ පිළිතුර මම එදා බාර ගන්නට අකැමැති වීමි. ඒ නිසාම ඉන් පසු දින මම පන්තිය වර්ජනය කළෙමි. ඇය හමු වූ මගේ යහළුවෙකු උඩි යටිකුරු කරමින් ඈ බිය ගැන් වූ අයුරු මට කිව්වේ රඟපාමින්ය.

‘මචං මම නියමෙට වැඩේ දුන්නා. කෙල්ල ෆුල් හොල්මං’

ඔහු කියූ කතාව පිළිබඳ සිහිපත් කරමින් යහනට වී සිට මට හදිසියේම බෝඩිමේ ඇන්ටි කතා කළාය.

‘රවී මෙන්න ඔයාව බලන්න ගැහැනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා’

කිසිවක් සිතා ගත නොහැකි වූ අතර මා ඉදිරියට පැමිණියේ ඒ කවුරුන්දැයි මගෙන්ම ප්‍රශ්න කරමිනි. සාලයේ හිටියේ ඇය හා ඇගේ මිතුරියයි. මම පුදුමයට පත්වීමි. එතැන් පටන් අපි දෙදෙනා ආදරයෙන් වෙළී සිටියෙමු. කාලය ගෙවී ගියේය. හදිසියේම ඈ වෙනස් වන්නට වූවාය. දිගින් දිගට සිදුවන ඇගේ මේ වෙනස්වීම මා දරා සිටියේ අපහසුවෙනි.

එහෙත් අවසානයේ ඇය මා අමතක කර වෙනත් ළමයකු සමඟ ඇසුරක් ගොඩනඟා ගත් බව පමණක් මට ආරංචි විය. මගේ හිස ගිනි ගත්තේය. කිසිවක් කරන්නට තරම් ප්‍රිය බවක් මගේ සිතේ නොවීය. මම සිතෙන් දහස්වර හඬා වැටුණෙමි. මට පෙනෙන්නටම ඇය ඔහු හා අතිනත ගෙන යන අයුරු මා බලා සිටියේ දැඩි ශෝකයෙනි. මගේ යහළුවෝ මා අමතක නොකළහ. ඔවුහු මගේ ළඟින්ම සිට විවිධ වූ උපදෙස් කප්පරයක් දුන්හ.

මේ ගීතයෙන් ද කියැවෙන්නේ එයයි. තමාට ආදරය කළ ඇය වෙනකෙකුට අයිති වන්නේ ඔහුගේම ඉදිරියේය. ඒ අහිමි වීම දරා ගත නොහැක්කේ ඒ නිසාවෙනි. මේ ගීතයේ කියැවෙන ඒ අහිමිවීමේ විරල කතාව නිර්මාණාත්මක ලෙස පවසන්නට ප්‍රේම කීර්තිගේ ගේය පද මෙන්ම වික්ටර් රත්නායකයන්ගේ සංගීතයත්, ගායනයත් හේතු වූ බව නොරහසකි. මේ ගීතය මට ඒ මතක යළි යළිත් සිහිපත් කරයි.