වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයෙන් සමුගත් පරිණත මාධ්‍යවේදියා

ජීවිතයෙන් සමුගත් පරිණත මාධ්‍යවේදියා

කිසියම් පුවත්පත් කලාවේදියකු තම වෘත්තීය ජීවිතයේ පනස් වසර සමරන්නේ බොහොමත් කලාතුරකිනි. එවැන්නක් සැමරීමේ භාග්‍යය උදා කර ගත් සුවිශේෂ පුවත්පත් කලාවේදියෙකි මහින්ද අබේසුන්දර. එසේම කිසියම් පුවත්පතක් අවුරුදු සියය සපුරද්දී එහි ප්‍රධාන කර්තෘ ධූරය දැරීමට යමකු වාසනාව අත්කර ගන්නේ ද එබඳුම දුර්ලභ ආකාරයෙනි. ඒ වාසනාව ද මහින්ද හිමිකර ගත්තේය. විවිධ පුවත්පත්වල විවිධ අංශයන්හි කටයුතු කිරීමෙන් ඔහු ලද අත්දැකීම් සම්භාරය අප්‍රමාණය.

මහින්ද අබේසුන්දර වෘත්තීය පුවත්පත් කලාවට අවතීර්ණ වූයේ 1961 දී පමණය. ඒ ‘දවස’ පුවත්පතෙනි. මහින්ද මෙම පුවත්පතෙන් සමු ගත්තේ පොදු දේශපාලන අභිලාෂයක් හේතු කොටගෙනය. පසු කලෙක පුවත්පත් කලා ලෝකයේ දැවැන්ත වූ කීප දෙනෙක්ම එදා මහින්ද සමඟ ‘දවස’ පුවත්පතෙන් අස් වූහ. එකල පවා ඔහුට නිවැරදි දේශපාලන දෘෂ්ටියක් තිබූ බව එකී සංසිද්ධියෙන් අනාවරණය වෙයි.

මහින්ද පසුව ‘ඇත්ත’ පත්‍රයට සම්බන්ධ වුණේය. ‘ඇත්ත’ යනු පත්‍ර කලා වෘත්තියේ විශ්ව විද්‍යාලයක් බඳු තැනකි. ඉනික්බිතිව ඔහු ‘ජනදින’ පුවත්පතට එක්වූයේය. කාලයක් ගුරු වෘත්තියේ නිරත මහින්ද යළි ‘දිවයින’ පුවත්පතෙන් තම පත්‍ර කලා ජීවිතයේ දෙවැනි ගමන ඇරඹුවේය. ‘ලක්බිම’, ‘දිනකර’ ඔහු සම්බන්ධ වූ සෙසු පුවත්පත් අතර වෙයි.

මහින්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ පුවත්පත් කලාවේදිියෙකි. මා එසේ් කියන්නේ ඔහු වාර්තාකරණයෙන්ම තම වෘත්තීය ජීවිතය ආරම්භ කොට පසු කලෙක විවිධ අංශයන්ගෙන් පරිපාකයට පැමිණ ඒ ඔස්සේ ප්‍රධාන කර්තෘ ධුරයට ද පත් වූ හෙයිනි. වාර්තාකරණය ද විවිධාකාර මුහුණුුවරකින් යුක්තය. ඒ රැස්වීම්, පාර්ලිමේන්තු, අධිකරණ, කොමිෂන් සභා වාර්තාකරණ යනාදී වශයෙනි. ඒවා ද ඊටම සුවශේෂ වූ ලක්ෂණ දරන්නකි. උදාහරණයක් වශයෙන් උසාවි වාර්තාකරණයකදී විත්තිකරු හා වගඋත්තරකරු ලෙස ව්‍යවහාර වන්නේ කුමන නඩුවලදී ද යන්න වාර්තාකරුවා දැනගත යුතුය.

වාමවාදි ව්‍යාපාරයෙන් පෝෂණය වී ලත් පරිණත දේශපාලන දෘෂ්ටියක් මහින්දට තිබිණී. ඔහු මිය යන තෙක්ම ධනපති විරෝධී, අධිරාජ්‍ය විරෝධී පිලේ සිටියේය. කවර හෝ අන්තයක මුල් බැසගත් දේශපාලන දෘෂ්ටියකින් තොරව පත්‍රයක ප්‍රධාන කර්තෘ ධූරයක් සාර්ථක අයුරින් දැරිය හැකි යැයි මම නොසිතමි. එසේ දැරිය හැකි නම් ඕනෑම හාල්පාරුවකුට වුව පත්‍රයක ප්‍රධාන කර්තෘවරයකු විය හැකිය.

විශේෂාංග ලේඛකයකු (විශේෂයෙන් දේශපාලන සමාලෝචන ලිපි) තීරු ලිපි රචකයකු වශයෙන් ද මහින්ද මනා හැකියාවක් විශද කළේය. ඔහුගේ ‘ආගිය කතා’ වැනි තීරු ලිපිවල තිබූ හාස්‍යය හා උපහාසය පාඨකයන් අතිශය ප්‍රිය කළේය.

මහින්ද විද්‍යයුත් මාධ්‍යයට ද සම්බන්ධව සිටියෙකි. ඔහු ස්්වාධීන රූපවාහිනි සේවයට ලියූ ‘විපරම’ (පසුව ‘විමසුම’) විවාදයට තුඩු දුන් රචනාංගයක් විය.

මහින්ද අබේසුන්දරගේ මාධ්‍ය කලා දිවිය හැදෑරීමෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකි යැයි මම සිතමි. ඔහුට හරිගිය තැන් මෙන්ම වැරදුණු තැන් ද අපට පාඩම් මාලාවක් වැන්න. ඒ පාඩම් පොතෙන් ගත යුත්ත ගෙන නොගත යුතු දේ අපට අත්හළ හැකිය.