වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




හැමදේම හැමෝටම ගැළපෙන්නේ නැහැ

හැමදේම හැමෝටම ගැළපෙන්නේ නැහැ

ආදර ගීතයෙන් තරුණ හදවත් වැලඳ ගත් රඛිත භද්දිය

හිරිමල් සීතල වැස්සේ
තෙමුනලු අපි රෑ තිස්සේ
වෙළිලාම ඉන්නම් අහසේ
මුහුණෙන් ළංවීලා . . .

මංජුලා දිල්රුක්ෂි සමඟින් මේ ගීතය ගායනා කරන ඒ හඬ ඔබට මතකද? ‘කවිකාර හැන්දෑව’, ‘දම්පාට හැන්දෑව’, ‘ඔබ මාගේ නම්’, ‘අඳුරු අහසක රෑ කැටයම්’ ගීත ඔබට ගෙන ආ ඔහු රඛිත භද්දිය වෙලන්ගොඩ අලුත් ගීතයක් සමඟින් කාලයකට පසු ඔබ හමුවෙන්න ඇවිත්.

කොහොමද රඛිත අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර?

රසික රසිකාවන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ගීතය සුවිශේෂී ගීතයක්. මංජුලා අක්කා ඇයගේ ශෛලියෙන් බැහැර වෙලා මගේ ශෛලියට අනුගත වෙලා ගැයූ ගීතයක්. මේ දිනවල ගුවන් විදුලි නාලිකා කිහිපයකම ගීත දර්ශකවල ඉහළින්ම රැඳී තියෙනවා.

රඛිත අලුත් ගීත එකතුවක් එළි දක්වන්න අදහසක් නැතිද?

මම වසර කිහිපයකට වරක් ගීත එකතු කිහිපයක් එළි දැක්වූවා. මගේ පළමු ගීත එකතුව 2005 වසරේදී එළි දැක්වූවා. කවිකාර හැන්දෑව, දම්පාට හැන්දෑව ජනප්‍රිය වුණේ එයින්. 2009 වසරේදී ‘සාරණ්‍යා’ ගීත එකතුව සමඟින් තමයි ‘ඔබ මගේ නම්’ සහ ‘අඳුරු අහසක කැටයම්’ ගීත ජනප්‍රිය වුණේ. හිරිමල් සීතල වැස්සේ ගීතය සමඟ අලුත් ගීත 16 ක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එය ලබන ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී එළිදක්වන්න සූදානමින් සිටින්නේ.

දැන් ලංකවේ සංගීත කටයුතුලට දායක වෙනවා අඩුයි නේද?

දැන් මගේ ස්ථිර පදිංචිය තියෙන්නේ ඉතාලියේ. සංගීත කටයුතු වෙනුවෙන් ලංකාවට ඇවිත් යනවා. මට ඉතාලියේ මියුසික් ප්‍රඩක්ෂන් හවුස් එකක් තියෙනවා. එහිදී මම සංගීත නිර්මාණ කටයුතු කරගෙන යනවා. එහිදී සංගීත ප්‍රසංග කිහිපයකුත් කළා.

විදෙස් රටක ජීවත්වීම සංගීත කටයුතු සඳහා බලපාන්නේ කොහොමද?

ඉතාලියේ සිටීම යුරෝපීය රටවල් රැසක සංගීතය සමඟ සමීප වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි එයින් ඉගෙන ගන්න තියෙන දේත් බොහෝමයි. ඉතාලියේ ජනතාව කලාවට තියෙන ලැදියාවත් ඒ වගේම විශේෂයි. ලංකාවේ වගේම ඉතාලියේත් සංගීත කටයුතුවල යෙදෙන්න ලැබීම ලොකු සතුටක්. මේ අවස්ථාව මගේ සංගීත කටයුතු දියුණු කරගන්න ලැබුණු වටිනා අවස්ථාවක්.

රඛිතත් පවතින රැිල්ලට ගීත නිර්මාණ කරන කෙනෙක්ද?

රැල්ලට ගීත නිර්මාණය කිරීම වැරැද්දක් කියලා හිතන්නේ නැහැ. කාලය අනුව අපි හැඩ ගැසිය යුතුයි. ජනතාව ඉල්ලන්නේ ඒ දේ නම් එය නිර්මාණය කළාට කමක් නැහැ. ඒ වුණත් හැම දේම හැමෝට ගැළපෙන්නේ නැහැ. තමන්ට ගැළපෙන දේ තේරා බේරා ගෙන කටයුතු කිරීම තමන්ගේ ස්ථාවරයට හොඳයි.

එතකොට ආදර ගීත විරහ ගීතවලින් විතරද ගායකයෙකුට ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන්නේ?

එක එක් එක් පුද්ගලයා හිතන විදියටයි එහෙම වෙන්නේ. ඒ වුණත් මව්පිය ගී, දේශාභීමාන ගීත අගයන රසික පිරිසකුත් ඉන්නවා.

ගීත නිර්මාණය කළත් ඒවා ජනතාව අතරට ගෙන යාම අපහසු බවයි බොහෝ නවකයන් චෝදනා නඟන්නේ?

චෝදනා කරමින් සිටින එක නෙවෙයි ඔවුන් කළ යුත්තේ. අන්තර්ජාලය හරහා නිර්මාණ එළිදක්වමින් ජනතාව අතරට යන්න අද හැකි වෙලා තියෙනවා. ඒ වටා අද විශාල රසික පිරිසක් රොක් වෙලා සිටිනවා. පැකේජ් ක්‍රමයට ගීත ප්‍රචාරය කරගන්නවාට වඩා එය හොඳ බවයි මගේ අදහස.

මමත් මේ වන විට අන්තර්ජාලය හරහා ෆෑන් ක්ලබ් එකක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ වටා විශාල රසික පිරිසක් මා සමඟින් සිටිනවා. එහිිදී ගුවන් විදුලියටත් වඩා රසික රසිකාවන්ට සමීප වෙන්න පුළුවන්. ඔවුන්ගේ අදහස් යෝජනා ආදිය ලබා ගන්නත් පුළුවන්. මම හිතන්නේ එය ඉතාම සාර්ථක ක්‍රමයක්. නවීන තාක්ෂණය සමඟ අපි කටයුතු කරන්න ඕනෑ. ලෝකය සමග සම්බන්ධ වෙන්න හොඳම ක්‍රමය අන්තර් ජාලයයි. ඒ නිසා පැකේජ් වලට චෝදනා නඟන්නේ නැතුව තමන් ගමන් කළ යුතු මාර්ගය තමන්ම හදා ගන්නවා නම් ඒ ගමන සාර්ථක එකක් වේවි.

වර්තමානයේදී තරු තරඟවලින් නවකයන්ට ලැබෙන අවස්ථා ගැන මොකද හිතෙන්නේ?

මම නම් හිතන්නේ හැම තරු තරඟයකම ආරම්භය ඉතා සාර්ථක බවයි. ඒ වුණත් අද වෙන කොට බිහිවන තරු කවුද කියලාවත් සමහර අය දන්නේ නැහැ. ඒ තරමට තරු තරඟ තියෙනවා. මෙසේ ලැබෙන අවස්ථාවලින් සාර්ථකව ඉදිරියට එන්නේ කිහිප දෙනෙක් විතරයි. කොහොම ආවත් තමන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම තියෙන්නේ තමන්ගේ අතේමයි.

රඛිතගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු?

ජාත්‍යන්තර මට්ටමෙන් ඉතාලි ජාතිකයෙක් සමග කළ නිර්මාණයක් එළිදක්වන්න නියමිතව තියෙනවා. ඒ වගේම අලුත් ගීත එකතුවක් එළික්වන්න සූදානම් වෙනවා. එයින් ලැබෙන මුදල්වලින් කොටසක් මගේ ෆෑන් ක්ලබ් එක වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා.