වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




එවන් අසිරිමත් ජාතිය හඬින් උදාරයි

එවන් අසිරිමත් ජාතිය හඬින් උදාරයි

චිත්‍රපට සඳහා පසුබිම් ගායනය යොදා ගන්නේ කතානාද සිනමාව ආරම්භයේ පටන්මය.කොටින්ම කිවහොත් මුල් වරට නිහඬ සිනමා යුගය පසෙකට ලා කතානාද සිනමාව ආරම්භ වනුයේ ච ගායක නළුවකු ගේ හඬ සහිත රුව පේ‍්‍රක්ෂකයා අතර ගෙන යෑමෙනි.ඒ හපන්කම කිරිමේ ගෞරවය හිමිවනුයේ වෝනර් සහෝදර සමාගමටය.එම හඬ ගෙනා මුල්ම නළු ගායකයා අල් ජොල්සන්ය.චිත්‍රපටය ද ජෑස් සිංගර්ය.මුල්ම ඉන්දියානු කතානාද සිනමා කෘතිය වන හින්දි බසින් තැනුණ අලම් අරා චිත්‍රපටය හරහා බිහිවන මුල්ම ඉන්දියානු සිනමා ගායකයා වසීර් මොහමඩ් ඛාන්ය. ඛාන් ගායකයකු පමණක් නොව නළුවෙක් ද වෙයි.

අපේ සිනමාවේ මුල්ම නිළිය සහ ගායිකාව වීමේ ගෞරවය හිමිවනුයේ රුක්මණී දේවියටය.විවාදයක් නැත.එහෙත් මෙරට සිනමාවේ දැනට ජිවත්වන පැරණිතම සිනමා ගායක නළුවා කවුරුන්දැයි විචාල කල එයට ලැබිය යුතු නිවැරැදි පිළිතුර විය යුත්තේ පණ්ඩිත් අමරදේවයන් බව බොහෝ දෙනා දන්නේ නැත.එකම කාරණය අමරදේවයන් සිනමා නළුවෙකු හෝ ගායකයකු ලෙස පමණක් ලඝු කොට තබන්නට කිසිවකුට හෝ නොහැකිවිය. අපේ සිනමා ඉතිහාසයේ ඉහළින්ම ලිය විය යුතු අමරදේවයන්ගේ නම සුභාවිත සංගීතයේ ඉහළින්ම ලියැවන නිසා වෙන්දෝ මේ කාරණය තරමන් පහළ බසී. සත්‍යය නම් ඔහු දෙවැනි සිංහල කතානාද චිත්‍රපටය වන අශෝකමාලා චිත්‍රපටයේ ගායකයෙකි.එමෙන්ම ඔහු එහි රඟපෑවේය.අශෝකමාලා සංගීත වෘන්දයේ වයලීන වාදකයා ද අමරදේවයන්ය.එයට පෙර ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ගී ගයමින් රඟපෑ සියල්ලන්ම නළු ගායකයන්ය.

ඒ ඔවුන් මුල පුරනුයේ නළුවන් හැටියටය.එහෙත් අමරදේවයන් ‘අශෝකමාලා’ වේ රඟපාද්දීත් ඔහු ගායකයෙක් ලෙස දස්කම් පෙන්වා හමාරය. අශෝකමාලා සංගීතවත් කළ මොහමඩ් ගවුස් මාස්ටර් ඉතා අමරණීය ගී තනු රැසක් සිංහල සිනමා ඉතිහාසයට එක් කර ගන්නා ගමන් බරපතළ වැරැද්දක් ද සිදු කළේය.ඒ එහි ගායනයට අසිංහල කට හඬ යොදා ගැනීමෙනි.සිංහල චිත්‍රපට ගී ගායනයට ඉන්දියානු ගායක ගායිකාවන් එක් වනුයේ එතැනිනි. අශෝකමාලාවේ එන එකම සිංහල හඩ අමරදේවයන්ගේය.අමරදේවයන් ගේ හඬ සිංහල සිනමාවට දායාද කර දීමෙන් ගවුස් මාස්ටර් සිය ඓතිහාසික වැරැද්ද නිවැරැදි කර ගෙන ඇත.අමරදේවයන් පිළිබඳ ලියැවෙන බොහෝ තන්හි ඔහුගේ ඉතිහාසගත ගායක නළුවා ගැන කියැවෙන්නේ අඩුවෙනි. ‘ඇයි කළේ යමෙක් ආලේ’ සහ ‘භවේ භීත හැරදා’ යන ගීත ද්විත්වයම රඟපාමින් ගායනා කරනු ලබනුයේ අමරදේවයන්ය.චිත්‍රපටයේ එන නාට්‍ය ගුණය ඉස්මතු කරන්නට මෙන් අධ්‍යක්ෂ ශාන්ති කුමාර් තවුසෙකු ගේ චරිතයක් කෘතියට යොදා ගත්තේය.අමරදේවයන් රඟපාමින් ගායනා කරන චරිතය එයයි. ගවුස් මාස්ටර් එම ගී ගායනා සඳහා අමරදේවයන් යොදා නොගන්නට අපට මේ ගීත අසන්නට සිදුවනුයේ ‘එයි ඛෙළේ යෙමෙක් ආලේ’ යනුවෙනි.

දේශයේ පිනට උපන් මහා කලාකරුවාණන් මෙම මස පස් වැනි දින සිය උපන් දිනය සමරන්නේය.ඒ 87 වැනි ජන්ම දිනයයි.සරසවිය පුවත්පතේ ඉතිහාසය මතු කවර කලෙක හෝ ලියන්නෙකුට ගුරු අමරදේවයන් ගේ නම එහි සඳහන් නොකරන්නේ නම් ඒ ඉතිහාස කතාව අසම්පූර්ණ නැතහොත් ගවේෂණයකින් තොරව ලියන ලද්දක් වෙයි.අමරදේවයන් සරසවිය සමඟ එතරම් සම්බන්ධය.එයින් මුල් කරුණ නම් අමරදේවයන් අරභයා පෞද්ගලික එකකි. දෙවැන්න රට අරබයා වැදගත්ය.මුල් කරුණ නම් පළමුවන සරසවිය සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන දිනා ගන්නේ ඔහු වීමය.ඒ ‘රන්මුතුදූව’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අරබයාය.එමෙන්ම දෙවැනි සම්මාන උලෙලේ ද ඔහු එම සම්මානය දිනා ගනී.ඒ ‘ගැටවරයෝ’ වෙනුවෙනි. ඒ අනුව එකම සම්මානය පිට පිට දෙවතාවක් මුල් වරට දිනන්නේ ද එතුමන්ය. දෙවැනි කරුණ නම් අද නොව මතු දින පවා සරස්වතී අභිනන්දනය ලෙස ජාතිය හමුවේ ගයන ‘ජගන් මෝහිණී මධුර භාෂිණී’ ගීතය එතුමන් විසින් ගයන ලද්දේ සරසවිය වෙනුවෙන් නිසාවෙනි.

අමරදේවයන් දෙවැනි කතානාද චිත්‍රපටයට දායක වුව ද සිනමා ලෝකයේ එක් වරම එල්බ ගියේ නැත. ඔහු සංගීතය වඩා හොඳීන් හදාරන්නට පටන් ගත්තේ ඒයින් පසුය.1947 වසරෙන් පසු අමරදේවයන් සිනමා ඉතිහාසයේ යළි හමුවනුයේ ‘රන්මුතුදූව’ චිත්‍රපටය සමඟය.එහි ගායනය පමණක් නොව සංගීත අධ්‍යක්ෂණය ද එතුමන්ගේය. ‘රන්මුතුදූව’ චිත්‍රපටයේ එන ගීත ති‍්‍රත්වයම එනම් ‘පාරමිතා බල පූරිත පූජිත’ , ‘පිපී පිපී රේණු නටන’ සහ ‘ගලන ගඟකි ජීවිතේ’ මෙරට කලා රසිකයන් ජීවත් ව සිටිනතාක් කල් අසන සර්වකාලීන අගයක් ගනී.ගීත රසාස්වාදයේ මතු නොව චිත්‍රපටයකට අනුකූල ලෙස ගීත යෙදීමේ හා එයට අනුයුක්ත කොට ගන්නා පද රචනය පවා අපේ පැරණි සිනමාවෙන් උදාහරණය කර ගත හැකි හොඳම අවස්ථාවක් වනුයේ ‘රන්මුතුදූව’ ගීතාවලියයි.අමරදේවයන් පමණක් නොව නන්දා මාලිනිය ද නැසීගිය නාරද දිසාසේකරයන් ද එම ගීත ති‍්‍රත්වයම රචනා කළ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන් ද මෙහි ලා සිහිපත් කළ යුතුය. ‘අශෝකමාලා’ වෙන් පසු අමරෙද්වයන්ගේ හඬ මුසු වුණා නම් කදිමයැයි සිතෙන මියුරු ගීතාවලියක් ඒන්නේ ‘දෛවයෝගය’ චිත්‍රපටයේ බැව් මම විශ්වාස කරමි. එහි ගායනයට සම්මාදම් වන කිසිවකු හෝ අවතක්සේරු කිරීමක් මෙයින් ගම්යැ නොකරමි.ඔවුන් ඉතා විශිෂ්ට ලෙස ‘දෛවයෝගය’ ගායනයට සම්මාදම් වන බව ඇත්තය.එහෙත් එහි එන මානවසිංහයන් ගේ පදමාලා නිරන්තරෙයන් මා මනසේ ඇති කරලනුයේ එම ගී රචනයේ දී එහි ගායනය පිළිබඳ ඔහු තුළ තිබෙන්නට ඇත්තේ ඒවා අමරදේවයන් හඬින් ගයනු ඇත යන හැඟීම විය යුතු බවය. එය මගේ අතිශය පෞද්ගලික හැඟීමක් පමණකි.

අමරදේවයන්ගේ සුභාවිත ගීතය පිළිබඳ විප්ලවය සටන් පාඨවලින් තොරවූවකි. ඔහු උත්තර භාරතීය සංගීතය කෙළ පැමිණියෙකි.එහෙත් ඔහු අපේ විවිධ ජන ගායනා ඔස්සේ කළ අත්හදා බැලීම් අපිරිමිතය.එකල ගුවන් විදුලිය ඔහුගේ අත්හදා බැලීම් සඳහා තෝතැන්නක් වූ වග නොරහසකි.

අපේ ජන ගීයේ රිද්මය මුලින් ලොවට කියන්නේ මා දන්නා තරමින් දේවාර් සූරියසේනය.උත්පත්තියෙන් සිංහලයකු නමුදු ඔහුගේ වචන උච්චාරණය සමීප වනුයේ සුද්දෙකුටය.සූරියසේනයන් ගේ හඬින් පටි ගත කළ ජන කවි රැසක් මට ශ්‍රවණය කරන්නට ලැබිණ.එහෙත් අමරදේවයන් විවිධ ජන ගී පමණක් නොව ගැමි සංගීතය ද මනාව අධ්‍යක්ෂණය කළේය.අපේ පැරණි නර්තන ශිල්පින් පමණක් නොව ගීත කලාවේ මහා පුරුෂයන් තිදෙනක්ම ඔහුගේ පසුපස සිටියේය.ඒ මානවසිංහ,මඩවල එස්.රත්නායක සහ මහගම සේකරයන්ය.ඔවුන්ගේ ගී උල්පතෙහි බිහිවුණ සීතල දිය දහර අප පවස නිවාලනුයේ ගුරු අමරදේවයන් ගේ හඬිනි.

අමරදේවයන් සිය සංගීත මෙහෙයවීම ගුවන් විදුලියේ සිනමාවේ පමණක් නොව වේදිකාව ද අත්හදා බැලුවේය.ඔහු දෛවයෝගය සඳහා ගී නොගයන්නේ මන්දැයි මා වෙතින් නැගෙන ප්‍රශ්නය මතු වනුයේ එවිටය. ‘රන්මුතුදූව’ සංගීතය නිර්මාණය වන විට ඔහු චිත්‍රසේනයන්ගේ ‘කරදිය’ට සම්මාදම් වී අවසානය. කරදියෙන් නතර නොවන අමරදේවයන් චිත්‍රසේනයන්ගේ ‘නල දමයන්ති’ උදෙසා ද සිය සංගීතය නිර්මාණය කරනුයේය.කරදිය කරළියට එනුයේ 1956 වසරේ දීය.නර්තනයෙන් චිත්‍රසේන යන්ද වේදිකාවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ද සිනමාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද මෙන්ම සංගීතයෙහි අමරදේවයන් ද ප්‍රමුඛයෝ වෙති.කරදිය ද මනමේ ද රේඛාව ද එළි දකිනුයේ 1956 වසෙර්ය.අමරදේවයන් ගේ නිර්මාණාත්මක කළ එළි බැසීම සිදුවනුයේ ද කරදිය සමඟය.අමරදේවයන් හැර සෙසු මහා පුරුෂයන් තිදෙනා නිර්මාණ කරනුයේ වෙන වෙනමමය.එහෙත් මේ තිදෙනා සමඟම නිර්මාණකරණයට දායක වන්නට අමරදේවයන්ට වරම් ලැබිණ.මේ සිව් මහා පුරුෂ එකතුව අපේ කලා ලෝකයේ පරම රමණීය නිර්මාණවල නිජබිම විය.ඔවුන් අතින් අමරදේවයන් ද අමරදේවයන් අතින් ඔවුන් ද එකිනෙකා නිර්මාණ පෝෂණය ලබා ගත්තාට සැක නැත.

මුල් වරට සිංහලෙන් ගීතයෙන් තොර චිත්‍රපටයක් නිර්මාණය උදෙසා සංගීතය නිර්මාණය කරන්නට ලැබෙනුයේ අමරදේවයන්ටය. ඒ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය උදෙසාය.එතුවක් ගී තනු පෝෂණයට පමණක් සීමාවුණ සිංහල චිත්‍රපට සංගීතයට රූපය මුල් කර ගත් සංගීත භාෂිතයක් එක් වනුයේ එතැනිනි.

අමරදේවයන් මහා පඬිවරයෙකි.එහෙත් ඔහු ගුරුකුළ සම්ප්‍රදායේ ඇලී ගැලුනෙක් නොවන වග පසක් වන්නට ඔහුගේ සමස්ත නිර්මාණ කි‍්‍රයාවලියම පිරික්සන්නට වුවමනා නොවේ.සිනමා සංගීතයෙහි ඔහුගේ කාර්ය සැලකීමේදී ඒබැව් පසක් වෙයි. ‘රන්මුතුදූව’ට ‘පිපී පිපි රේණු නටන’ ඔහු ‘ගැටවරයෝ’ සඳහා ‘ආරිච්චි බෝරිච්චි’ ගීතය නිර්මාණය කරයි.එදවස බොහෝ වියතුන්ගේ ගර්හාවට ලක් වන කණ්ඩායම් සංගීතයේ ආකර්ෂණීය තරුවක් වන නෙවිල් ප්‍රනාන්දු ඔහු උපයෝගී කර ගනුයේ ‘දෙලොවක් අතර’ චිත්‍රපටය සඳහාය.නෙවිල් ‘දෙලොවක් අතර’ සදහා ගයනු ලබන ‘ගයන ගැයුම් නටන නැටුම්’ ගීතයම එයට උදාහරණය කර ගතිමි.

අමරදේවයන් සෙසු සංගීතඥයන්ගෙන් වෙන් වනුයේ එබැවිනි.ඔහු නිරන්තරයෙන් යාවත්කාලීන වෙයි.භාෂා සාහිත්‍යයෙහි ඔහුගේ දැනුම ඉතා පුළුල් එකකි.එය සිංහලට සීමා වූ වක් නොවේ.ඉංගී‍්‍රසියෙහිද එතරම්ය.අමරදේවයන් උපත ලබන යුගය ද්වි භාෂාවේ අගය තදින් වටහා ගන්නකි.එබැවින් රසවින්දනය පමණක් නොව ලෝකයේ කවර අතින් වුව ලැබෙන දැනුම තත්කාලීන සෙස්සන්ට වඩා ලැබීමේ ඉඩ කඩ ඔවුන්ට තිබිණ.ඔවුන් සිය දැනුම ලබා ගන්නේ ජීවත්වීම සදහාම නොව සිය පෝෂණය උදෙසාය.එබැවින් දැනුම තමන්ට ඇවැසි පරිදි පෙරළන්නට ඔවුන්ට හැකියාව තිබිණ. බොහෝ විශිෂ්ට ගීත රචකයන්ගේ පදමාලා මනරම් ගී බවට නැතහොත් කාව්‍යෝක්ති පූර්ණව සැකසුනේ අමරදේවයන්ගේ දැනුම් සම්භාරය සමඟය.පාවෙන ‘උකුළු තලා තාලෙට සලිත වෙලා’ යනුවෙන් මානවසිංහයන් අතින් ‘රන්මුතුදුව’ට ලියැවෙන ගීතය ඔහු අතින්ම යළි සැකසෙනුයේ ‘ගලන ගඟකි ජීවිතේ’ යනුවෙනි.සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද ‘ඔබ මා සමඟ අති නත ගන්නා දවස’ ගීතය ද මෙහිලා උදාහරණ විය යුතුය.

අමරදේවයන් ගේ වසර හැත්තෑවකට ආසන්න සංගීත දිවිය ඇතුළත මෙර සංගීත කලාව විවිධ වෙනස් කම් ගත්තේය.බොහේ පැරණ්නන් නවකයන් දකිනුයේ වෙස් වළාගත් කොටියන් ලෙසය. අමරදේවයන් දිසි විටෙකත් ඊළඟ පරම්පරාව හෙළා නොදැක්කේය.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිංහල සිනමාවේ ඊළඟ පරම්පරාවේ කැරළි කෙතරම් ආශිර්වාදයෙන් යුතුව අත් වින්දේද යත් අපේ සැබෑ සිනමාවේ පීතෘවරයා ලෙස අබිසෙස් ලබයි.අමරදේවයන් ද එබන්දෙකි.ඔහු රූකාන්තට ජනකාන්ත මනකාන්ත යැයි පැවසුවේ එබැවිනි.භාතිය-සන්තුෂ් අගය කළේ එබැවිනි.පරම්පරා ගණනාවක් මුළුල්ලේ ඊළඟ පරම්පරාවන් ගේ කාර්යය අගය කරන්නට අමරදේවයන්ට හැකිව ඇත්තේ ඔහුට සම කළ හැකි අන් කිසවක් නැති නිසාම නොවේ.ඒ අමරදේවගේ ස්වරය නිසාමය. සංගීතය යනු කවරෙක්දැයි ඔහු දන්නා නිසාමය.අද පවා අලුත් පරම්පරාවේ කිසිවකු සමඟ ඔහුගේ හඬ මුසු වනුයේ ස්වකීය ජව සම්පන්න හඬෙහි ඇති උදාරම් බව කිසිවකුට දෙවැනි නොවන බව පසක් කරලමිනි.

එක් අතකින් මෙබඳු දැවැන්තයන් ගේ නිර්මාණ ආශ්වාදය විඳීමින් ජීවත් වන්නට ලැබීම අප කළ මහා පිනකි.ඔවුන් ජීවත් ව සිටින සමය තුළ එය විඳගන්නට පමණක් නොව එය ගැන ලියන්නට ඉඩ ලැබීම ද එයටත් වඩා මහා පින්කමකැයි මම සිතමි.මහා ගාන්ධර්වයාණන්ට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා.එදිනම උපන් දිනය සමරන අමරදේව පතිනිය විමලාවන්ට ද අපි ඒ අයුරින් සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.