වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාව ප්‍රාතිහාර්යය කළ හැකි ස්ථානයක්

වේදිකාව ප්‍රාතිහාර්යය කළ හැකි ස්ථානයක්

නිශ්ශංක දිද්දෙණිය

ලාංකේය වේදිකාවට ජවයක්, අභිමානයක් සේම සෞන්දර්යයක් ගෙන දෙමින් වසර විසි හයක් මුළුල්ලේ වේදිකාවට සිංහබාහු වුයේ ඔහුයි.

බොහොමයක් දෙනා වේදිකාව හැර යනවිටදී වේදිකාව අතනොහැර සිටි අතළොස්සක් දෙනා අතරේ ඔහු ප්‍රමුඛයෙක් වූයේය.

එදා මෙදාතුර අඩසිය වසකට ආසන්න කලා දිවියේ නාට්‍ය නිර්මාණ රැසකට සිට දායකත්වය ලබා දුන් ඔහු අද පුදුම හතෙන් ඔබ හමුවෙයි. ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය.

ඔහු අද පවසන්නේ වේදිකාව මත ඔහුට වඩාත් සමීප වූ නාට්‍ය නිර්මාණ හතක් පිළිබඳවයි.

සිංහබාහු

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබනවිටදී 1961 වසරේ අගෝස්තු 31 වැනිදා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය මුල් වරට නැරඹුවේ.

ඒ පේරාදෙණිය විශ්වවිද්‍යලයේ එළිමහන් රංග පීඨයේදීයි. හැත්තෑව දශකය ආරම්භයේ දී එහි දෙවැනි නිෂ්පාදනයේ දී මට එහි රංගනයට අවස්ථාව උදා වුණා.

ඒ සිංහබාහු ලෙසින්. මුල් නාට්‍යයේ සිංහබාහු චාලි ජයවර්ධන පරිපාලන විභාගය සමත් වෙලා දුර පළාතක සේවයට ගිය නිසාවෙන් මට ඒ සඳහා දායක වෙන්න ලැබුණා. මුල් නිෂ්පාදනයේ සිංහයා වුණේ මාර්ක් ඇන්තනි ප්‍රනාන්දු.

සරච්චන්ද්‍රයන්ගේ උපදෙස් පරිදි මම ඔහුගෙන් එහි වූ ගීත ප්‍රගුණ කළා. මට රඟපාන්න ගියාම තමයි තේරුනේ මහාචාර්ය සරච්චන්ද්‍රටන් දේශීය අනන්‍යතාවයෙන් විදග්ධ නාට්‍ය සම්ප්‍රදායක් ඇති කරන්නයි උත්සාහ කරන්නේ කියලා.

මොකද ඒවෙනකොට සිංහල නාට්‍ය සතුටුදායක මට්ටමක තිබුණේ නැහැ.

සිංහබාහු නාටකයෙන් නිවසේ ප්‍රේමය බිඳී විසිරී යන හැටි පරම්පරා ගණනකට සංකේතානුරූපීව පෙන්නුම් කරනවා. ඒ වගේම සිංහල සිංදු නාඩගම් සම්ප්‍රදායට මුල් වුණෙත් සිංහබානු නාට්‍යය යි.

දශක පහකට අධික කාලයක් පුරා සිංහබාහු නාට්‍යයෙන් රසිකයන්ට රාසාස්වාදය වූ, වටහාගත හැකි වූ දේ බොහෝ වටිනවා.

වසර විසි හයක කාලයක් පුරා මම සිංහබාහුගේ චරිතයට පණ පෙව්වා. ඒ වනවිට මම සිංහ පියවරුන් තිදෙනෙක් සමගින් රංගනයේ නිරත වූණා.

තාරුණ්‍යයේ පටන් කළා වූ ඒ රංගනයේ ඇතැම් සංකීර්ණ අවස්ථාවන් මම වටහා ගත්තේ විවාහ වෙලා දරුවන් දෙදෙනෙක්ද ලැබූ පසුවයි.

සිංහබාහු කියන්නේ සිංහල නාට්‍ය සම්ප්‍රදායට දේශීය ගුණ සුවඳ ආශ්වාදය කළ හැකි විශිෂ්ට වූ නාට්‍ය නිර්මාණයක්.

මූදුපුත්තු

1962 වසරේ මැයි 04 වැනිදා ප්‍රථමවරට වේදිකා ගත කරවූ මූදුපුත්තු වේදිකා නාට්‍ය ප්‍රතිභාපූර්ණ නාට්‍යවේදි ගුණසේන ගලප්පත්තිගේ නාට්‍ය අතරේ විශේෂ වූ නාට්‍ය නිර්මාණයක්. එහි විශේෂය වෙන්නේ බටහිර නාට්‍ය සිංහල වේදිකාවට ගැළපෙන අයුරින් නිර්මාණය කරගන්නේ කෙසේද යන්නට හොඳම නිදර්ශනය වීමයි.

ස්පාඤ්ඤ ජාතික ගාර්ෂියාලෝකා කෘෂිකාර්මික සමාජය මූලික කරගනිමින් යුවන් සහ යේර්මා නම් වූ අඹුසැමි යුවළගේ කතාව යේර්මා නාට්‍යයෙන් ගෙන ආවා.

එහිදි දරුවන් නොමැති වූ ශේකයෙන් හා මානසික වියවුලෙන් සිටි යෝර්මා අතින් සිය සැමියා ඝාතනය වීම සිදුවෙනවා. ගුණදාස ගලප්පත්තීන් මුදු පුත්තු නාට්‍යයේදී එය ධීවර සමාජයට ආදේශ කරමින් බටහිර නාට්‍යයක අනුවර්තනයක් නොපෙනෙන්න අපූරු ලෙසින් නිර්මාණය කර තිබෙනවා.

මෙහි මුල් නිෂ්පාදනයේ ප්‍රධාන චරිතය සරා ලෙසින් සෝමලතා සුබසිංහ, තේගිරිස් ලෙසින් සිරිල් වික්‍රමගේ සහ දියෝනිස් ලෙසින් නෙල්සන් කරුණාගම අපූරු ලෙසින් චරිත නිරූපණය කළා.

මෙහි එන මූදු පතුලයට ඉඳලා ගීතය නාට්‍ය වංශ කතාවේ විශිෂ්ට නාට්‍ය ගීතයක් ලෙසින් බොහෝදෙනා රසවිඳී ගීතයක්. සෝමදාස ඇල්විටිගල විසිනුයි මෙහි සංගීත නිර්මාණ වූණේ. මෙහි එන ගීත වලින් දුන් අර්ථයන් ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. එහිදි මුහුද පිළිබඳ වූ වර්ණනා ගැන සිහිපත් කළ යුතු වෙනවා.

“දිගත් පළලත් යොදුන් ගණනින් කියන්නට බැරි සාගරේ
මහා ජල කඳ ගැඹුර මෙතෙකැයි මනින්නට බැරි සාගරේ”

ඇත්තටම මුහුද හරියට ගීතයක් වගේ. මූදු පුත්තු කියන්නේ මුහුද පසුබිම් කරගෙන කළ අපූරු නිර්මාණයක්. රංගන ශිල්පීන්ගේ රංගනයන් වගේම මුල, මැද, අග මැනවින් ගලපන ලද නාට්‍ය නිර්මාණක්. මෙහි නව නිෂ්පාදනය ගැනත් සඳහන් කළ යුතු වෙනවා. ගුණසේන ගලප්පත්ති සූරින්ගේ දියණිය වෛද්‍ය සාගරිකා ගලප්පත්ති වර්තමානයේ කළ නව නිෂ්පාදනයත් ඉතා අපූරුවට නිර්මාණය කර තිබීම අගය කළ යුතුයි.

පේමතෝ ජායතී සෝකෝ

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට බොහෝවිට පාදක කර ගත්තේ ජාතක කතා, වංශ කතා සහ ජනප්‍රවාදයන්. පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයට පාදක වුණේ බෞද්ධ සාහිත්‍යයේ සද්ධර්මාලංකාරයේ එන ස්වර්ණතිලකා වස්තුවයි.උද්දාල නම් බමුණා ස්ත්‍රියක නිසා විනාශයට යාම මෙහි කතාවට නැඟෙනවා.

ඒ වගේම මුල, මැද සහ අග මනා සංයෝජනයකින් නිර්මාණය වූ නාට්‍ය නිර්මාණයක්. මෙහිදී විශේෂ වෙන්නේ සංගීතය යි. සරච්චනද්‍රයන්ගේ මනමේ, සිංහබාහු නාට්‍ය පෙරදිග ඔපෙරා ලක්ෂණ පෙන්වන විටදී පෙරදිග ගීත නාටක ශෛලියට උදාහරණ වෙන්නේ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය යි. උත්තර භාරතීය රාග සංගීතය ජයන්ත අරවින්ද මේ සඳහා බොහොම අපූරුවට යොදාගෙන තියෙනවා.

මෙහිදී ද ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායේ මෙන් අත්වැල් ගායකයන් නළු නිළියන් සමගින් සංවාදයේ යෙදෙනවා. එහී ප්‍රමුඛයා සූත්‍රධාර. ඒ වෙනුවෙන් මුලින්ම දායක වුණේ රංගන ශිල්පී දයා අල්විස්. ආචාර්ය ජයලත් මනෝරත්නයන් එහි උද්දාල බමුණා වෙන විටදී මම ඔහුගේ ප්‍රධාන ශිෂ්‍ය පිංගල වෙන්න අවස්ථාව ලැබුණා.

මා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය සඳහා ප්‍රථමයෙන් සහභාගි වුණේ පේමතෝ ජායතී සෝකෝනාට්‍යයට. ඒ 1969 වසරේදීයි. මනුලා බටුගෙදර සහ ජයලත් මනෝරත්නගේ බිරිඳ ජයන්තිත් මෙයට රංගනයෙන් දායක වුණා. 1973 වසරේ කොළඹදී නැවත නිෂ්පාදනය කෙරෙනවිටදී මට උද්දාල බමුණා වෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ නාට්‍ය දිවියට සුවිශේෂ වූ අවස්ථාවක්.

තාරාවෝ ඉගිලෙති

තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය ශ්‍රේෂ්ඨ රෝම නාට්‍යකරු ප්ලෝටස් ගේ ‘ද මිනැක්මයි’ රෝම නාට්‍යය ඇසුරෙන් ලූෂන් බුලත්සිංහල විසින් සිංහළ රසික රසිකාවන් වෙනුවෙන් අනුවර්තනය කළා.

ලුම්බිණි රඟහලේදී මුලින්ම එය වේදිකාගත වුණේ. මෙහි විජය සහ තිස්ස නම් එක සමාන රූ ඇති සහෝදරයන් දෙදෙනා ප්‍රේක්ෂකාගාරය සිනහ සාගරයක ගිල්වයි.

අනුලා බුලත්සිංහල මුලින්ම ලොලිටාගේ චරිතය රඟ දැක්වූවා. තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය අපේ සිංහල වේදකාවේ ප්‍රහසන නාට්‍ය අතරේ සුවිශේෂ නාට්‍යයක්. ඒ වගේම එය කා අතරත් අවධානයට ලක් වූවා සේම ඇගයීමටද ලක් වූ නාට්‍යයක්.

එහි සංගීතය නිර්මාණය කළේ ගුණදාස කපුගේ. ලූෂන් බුලත්සිංහලයන්ගේ රචනා ශෛලිය තුළ ගීත රචනා සඳහා ද හිමි වෙන්නේත් සුවිශේෂ ස්ථානයක්.

මෙහි ගීත රචනා ඉතා අපූරු ලෙසින් නිර්මාණය කළා. ඒ අතුරින් ‘සෝබාව දේ’ ගීතය කා අතරත් ජනප්‍රිය වු ගීතයක්. එය ලිය වුණේ පැරණි ග්‍රැමෆෝන් ගීතයක් වූ ‘රෑට කොළඹ නගරෙ ප්‍රීති සාරේ වේ’ ගීතයට අනුරූපවයි. සෝබාව දේ ගීතය එදා පමණක් නොව වර්තමානයේත් අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය ගීතයක්ව තියෙනවා.

ගජමන් පුවත

නාට්‍යවේදි දයානන්ද ගුණවර්ධන විසින් වාර්තා රංග ශෛලිය සිංහල වේදිකාවට හඳන්වා දෙන්නේ ගජමන් පුවත වේදිකා නාට්‍යයෙන්. ඔහු ජන නාට්‍ය සම්ප්‍රදාය වැඩිදියුණු කරමින් ජසයා සහ ලෙන්චිනා, පරාස්සයා, නරි බෑනා වැනි විශිෂ්ට නාට්‍ය කෘති වේදිකාවට ගෙන ආවා.

ගජමන් පුවත ඊට වඩා ගැඹුරු විවෘත දර්ශනයක් ඉස්මතු කරන නාට්‍යයක් ලෙස මම දකිනවා. සත්‍ය පුවතක් ඇසුරින් එම සත්‍ය සහ පරිකල්පිත මුසු වූ අපුරු නාට්‍යක්. මාතර සාහිත්‍යයේ එක්දහස් හත්සිය ගණන්වල ලන්දේසි යුගය අවසාන වෙමින් ඉංග්‍රීසීන් පැමිණි කාලයේ ගජමන් නෝනාගේ කතා පුවත පැවත එනවා.

බන්දුල ජයවර්ධනයන් දිනක් දයානන්ද ගුණවර්ධනයන්ට පවසා තිබෙනවා ජපන් නාට්‍ය සම්ප්‍රදායේ එන නෝ නාට්‍යවල කොමිචි කිවිඳීය ගැන කියවෙන සම්භාව්‍ය නාට්‍යයක් පිළිබඳව. එයින් පසු මෙරට ගජමන් නෝනා කතාපුවතින් ගජමන් පුවත දයානන්ද ගුණවර්ධන විසින් නිර්මාණය කෙරෙනවා.

මටත් ඇලපාත මුදියන්සේ ලෙසින් මේ සඳහා සම්බන්ධ වෙන්න ලැබෙනවා. එහිදී මා ඇතුළු නාට්‍ය කණ්ඩායම ලබන අත්දැකීම් බොහෝමයි. මුල්ම ගජමන් පවුතේ ගජමන් නෝනා වුණේ රත්මලී ගුණසේකර. නීල් අලස්, චන්ද්‍රසෝම බිංදුහේවා, ජය ශ්‍රී චන්ද්‍රජිත් මෙහි විශේෂිත රංගනයන් ඉදිරිපත් කළා.

අංගාරා ගඟ ගලා බසී

නාට්‍යවේදි රංජිත් ධර්මකීර්ති පරිවර්තනය කළ ‘අංගාරා ගඟ ගලා බසී’ වේදිකා නාට්‍යයත් මා කැමැති වේදිකා නාට්‍ය අතරේ සුවිශේෂ වෙන්නක්.

‘ද ඉර්කුෂික් ස්ටෝරි’ ඇසුරෙන් නිර්මාණය වූවක්. එහි රුසියානු සමාජය, සහෝදරත්වයේ වටිනාකම, එකමුතුකම ආදිය කියා දෙනවා.

වික්ටර්, වාල්යා සහ සරිගි මෙහි ප්‍රධාන චරිත වෙනවා. අංගාරා කියන්නේ සයිබීරියාව හරහා මුහුදට වැටෙන ගංඟාවක්.

රංජිත් ධර්මකීර්තිගේ අංගාරා ගඟ බසී නාට්‍යයේ වික්ටර් වුණේ නීල් අලස්. වාල්යා සුනේත්‍රා සරච්චන්ද්‍ර. සරිගිගේ චරිතයට පණ දුන්නේ මම. වික්ටර් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන කෙනෙක්. මගේ චරිතය වගකීමෙන් කටයුතු කරන බොහොම තැම්පත් එකක්.

මේ නාට්‍යයෙන් ඉස්මතු කරන්නේ ගැඹුරු ජීවන යථාර්ථයක්. එය සිංහල සමාජයට වඩාත් ගැලපීමට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය විශේෂයෙන් බලපෑමක් කළා.

එහි සංගීත කණ්ඩායමේ ටී. එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, සුනිලා අබේසේකර, රම්‍යා වනිගසේකර, මැණිකේ අත්තනායක සිටියා. ඔවුන් ගීත ගායනා කළේ සංවාදශීලිවයි.

මමත් ප්‍රථමයෙන් සිටියේ මෙහි අත්වැල් ගායනයට දායකවීමටයි. ඒ වුණත් පසුව සරිගිගේ චරිතය මට ලැබුණා.

මහාසාර

මහාසාර නාට්‍ය මගේ සරසවි ජීවිතවේ පළමු වසරේදී නැරැඹූ වේදිකා නාට්‍යයක්. 1967 වසරේදී පේරාදෙණිය සරසවියේ නාට්‍ය උළෙලක් තිබුණා.

මේ නාට්‍ය උළෙලට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවන් යොදා ගෙන මහාසාර නාට්‍ය නිෂ්පාදනය කළා.

මෙය නාට්‍ය ධර්ම උපදේශනයක්. මේ නාට්‍යයට වස්තුබීජය වුනෙත් සරච්චන්ද්‍රයන් පේරාදෙණිය සරසවියේදී මුහුණ දුන් සිදුවීමක්.

මට මහාසාර නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයේ මහාසාර පළඳනාව සොරකම් කරන්නා වූ වැඳීරියගේ චරිතය නිරූපනය කරන්න අවස්ථාව ලැබෙනවා. මහාසාර නාට්‍ය වැනි නාට්‍ය ගම් දනව් පුරා ගොස් පෙන්විය යුතු නාට්‍යයක්. මෙහිදී සංගීතය සමගින් නාට්‍යයේ අවස්ථා මනාව ගළපා කළ අපූරු නිර්මාණයක්.

සැබෑම ප්‍රහසනයක් වූ මෙය වේදිකාව කියන්නේ ප්‍රාතිහාර්යයක් පෑ හැකි ස්ථානයක් බව පෙන්වීමට සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ අපූරු නාට්‍ය නිර්මාණයක්.