වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මහත්තයො ඔයාලා ඉන්නේ බිලි ගන්න තැනක

මහත්තයො ඔයාලා ඉන්නේ බිලි ගන්න තැනක

චන්න හෙළි කරයි

චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටය මේ දිනවල රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වෙයි. මාතලේ රත්තොට, රිවස්ටන් වැනි දුෂ්කර ප්‍රදේශවල රූගත කළ ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටය රූගත කිරිමේදී මුහුණ පෑ බොහෝ දුෂ්කරතා හා නොයෙක් ඇබැද්දි පිළිබඳ කියන්නට අප හා කතාබහක යෙදුණේ ඔහුය. ඒ මෙහි රංගන ශිල්පියෙක් ලෙස මෙන්ම අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට ද පණ පොවන චන්න පෙරේරාය.

‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටය රූගත කිරීම් කෙරුණේ බොහොම අමාරු තැන්වල. ඉන් එක් ප්‍රදේශයක් වුණේ මාතලේ රත්තොට. ඒ ප්‍රදේශයේදී ගලා යන දොළ පාරක් හොයා ගත්ත සෙට් එකේ කට්ටිය පිටපතට අනුව නිවෙසක් නිර්මාණය කළේ බොහොම අපහසුවෙන්. ඒ මොකද කිවවොත් මුළු ප්‍රදේශයේම විහිදිලා තිබුණේ ස්වභාවික බාධක රැසක්. ඒ කියන්නේ ගල් පර්වත. තැනින් තැන පිහිටි තල් තලා නිසා නිවෙස හදන්න නෙවෙයි ඔවුන්ගේ අදහස අත්හැර ගන්න හිතුණ වෙලාවලුත් තිබුණා. ඒත් කොහොම හරි ඒ බාධකය ජයගත් ශිල්පීන්, චන්නගේ හිතේ තිබුණු නිවෙස ප්‍රතිනිර්මාණය කළා. ඊට පස්සේ තමයි රූගත කිරීම් ආරම්භ කළේ. ඒත් ඒ සඳහා උවමනා කළමනා තැනින් තැන රඳවන එක ගැන තිබුණේ ප්‍රශ්නයක්.

ඒ ඒ තැන තැබිය යුතු උපකරණ තබන්නට නොහැකිව ඔවුන් වින්ඳේ අප්‍රමාණ දුකක්. එහෙත් ඒක කොහොම හරි කරන්න ගස් ගල් උඩින් පැන පැන කාර්මික ශිල්පීන් දුන්නේ පුදුම රන් එකක්. ඒ අතරෙදි එක් කාර්මික ශිල්පියෙක් බල්බයක් රඳවන්න උස ගලකට නැග්ගා. අඩි විස්සක් විතර උස මේ ගලට නැග්ගා විතරයි ඔහුව ලිස්සුවේ එකපාරටම. ලිස්සලා ඇවිත් ඔහු තවත් ගලක් උඩටයි වැටුණේ. ඒ හැමෝම බලාගෙන ඉඳිද්දි. හැමෝම සිටියේ තබ්බීරි ගැහිලා. ඒ අතර කාර්මික ශිල්පියා ළඟට හැමෝම ඉක්මනට දිව්වා. ලේ විලක් මැද ඔහු වැටිලා හිටියේ සිහිය නැතිවමයි. ඔහුව උස්ස ගත්ත කිහිප දෙනෙක් වාහනයකට දා ගත්තේ රෝහලකට යන්න හිතාගෙන. ඒත් එන්න එන්නම ඔහුගේ ලේ යන එක වළක්වන්න ඔවුන්ට කරන්න දෙයක් තිබුණේ නැති තරම්. රථාචාර්යවරයා රිය හැටට හැටේ පෑගුවා. ඒ තමන්ගේ සගයාව බේරගන්න තිබුණු උවමනාවට. මුලින්ම ඔහුව අරගෙන ගියේ මාතලේ රෝහලට.

‘මෙහෙන් බාර ගන්න බෑ කියනවා’

එක් අයෙක් පැවසුවේ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳින ගමන්.

‘එහෙම නම් නුවරට අරගෙන යමු’

ඩොනල්ඩ්ට චන්න කිව්වේ වෙන කරන්න දෙයක් නැතිකමට. ඒ වින විටත් රෝගියාගේ සෑහෙන්න ලේ ගිහින්. මුළු වාහනයම ලේ විලක්.

‘බලාපොරොත්තු තියාගන්න බැරි තරම්’

තවත් කෙනෙක් චන්නගේ කනට කෙඳිරුවේ බොහොම හෙමින්. ඒත් ඔවුන් ගේම අත හැරියේ නැහැ. හැටට හැටේ පෑගුවේ සහෝදර ශිල්පියාව බේරා ගන්න හිතාගෙන.

‘චන්න අයියේ අනේ මට සමාවෙන්න’

රෝගියා චන්නගෙන් සමාව ඉල්ලන්න ගත්තා.

‘මම නිසා ෂූටින් ඔක්කොම කැන්සල් නේද?’

ඔහු කිව්වේ උමතුවෙන් වගේ. කතාවෙන් කතාව ඔවුන් ආවේ නුවර රෝහලට. රෝගියාව ඉක්මනට ඔපරේෂන් තියටර් එකට ගත්තා. එදා ඔහුගේ ජීවිතය බේරුණේ අනූ නවයෙන්. අවසානයේ ඔහුට මාස තුනක්ම ඉන්න වුණේ ඇඳ උඩට වෙලා.

‘බොහොම් කැපවීමෙන් වැඩ කළ ඔවුන් වගේ ශිල්පීන් අපිට බොහොම වටිනවා’

චන්න ඔහුව අගය කළේ හදවතින්මයි.

ඒත් සමඟම ඔවුන්ට අහන්න ලැබුණේ අපූරු කතාවක්.

‘මහත්තයෝ ඔයාල ගේ හදල තියෙන තැන බිලිගන්න තැනක්. ඔතන නිධානයක් තියෙනවා’

ගමේ වැසියෙක් කිව්වේ ඔවුන්ව පුදුම කරමින්.

‘ඒක තමයි මේ වගේ කරදරයකට මුහුණ දෙන්න වුණේ’

කැමරා ශිල්පියා ඒ අදහස අනුමත කළා.

අපි නරක වැඩක් කළේ නැහැනේ. චිත්‍රපටයක් රූගත කරන්නනේ ආවේ’

චන්න හැමෝගෙම බය නැති කළේ එහෙම කියලා.

“කල්පාන්තේ සිහිනයක්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න සහභාගි වුණේ ඉන්දීය නිළියක්. ඈ චයිත්‍රා චන්ද්‍රනාත්. සිංහල භාෂාව නොදන්න ඇයගේ දෙබස් ගනුදෙනුව චන්නත් එක්ක සිද්ධ වුණේ බොහොම සෙමෙන්. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. කාලයත් ගත වෙන්නේ ඉක්මනින්. දිනක් ඇගේ රඟපෑමකදී චන්න අපේක්ෂා කළ රඟපෑම චයිත්‍රාගෙන් ලැබුණේ නැහැ. චන්නට කේන්ති ගියා. ඒ කොයි තරම් ද කිව්වොත් ඔහු චයිත්‍රාට කතා කළේ තදින්ම. ඈ චන්න දිහා බලාගෙන සිටියේ දෙනෙත් ලොකු කරගෙන. ඒ විතරක් නෙවෙයි, ඉකි ගගහා අඬන්නත් පටන් ගත්තා. ඒත් කරන්න කිසිම දෙයක් නෑ. ඒ අවස්ථාව රූගත කරන්නත් හදිස්සියි. අවසානයේ ඒ දර්ශනය රූගත කරන එක ඊළඟ දවසට කල් ගියා.

මොකක් කරන්නද? හොඳටම ඇගේ හිත රිදිලා’

චන්නට කියැවුණේ ඉබේටම වගේ. ඒත් ඔහු ඒක කළේ හිතලා නොවෙයි. ඒ අවස්ථාව ඒ විදිහටම ගන්න තිබුණු වැදගත්කම නිසා.

මේ ඇබැද්දිය වුණේ චයිත්‍රා නිසා නොවෙයි. වෙනත් කෙනෙක් නිසා. ඒ කියන්නේ ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටයේ මුලින්ම රඟපාන්න හිටියේ වෙනම කෙනෙක්. එයා තමයි සම්මුඛ පරීක්ෂණයට පළමුව ආව කෙනා. ඒ සුන්දර යුවතියට චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව අහිමි වුණේ එහේ නළු නිළි සංසදය ඈ ලංකාවට එවන්න තිබුණු අකැමැත්ත නිසා. ඒ කාලේ ලංකාවේ තිබුණු පරිසරයට ඔවුන්ගේ තිබුණේ පුදුම බියක්. මේ නිසා අන්තිම මොහොතේ ඒ බලාපොරොත්තුව නැතුව ගියා. ඒ වන විට චිත්‍රපටයේ රූගත කිරීම් රූගත කිරීම් කරන්න අවශ්‍ය පරිසරය දඹුල්ලේ කැලෑවක සූදානම් කරලයි තිබුණේ. විශාල කඩමණ්ඩියක් වගේම නිවෙසකුත් ඒ අතර තිබුණා. එය ඉදි කරන්න වැය වුණේ විශාල මුදලක්. නැවතත් නිළියක් සොයන්න ඉන්දියාවට ගිය අතරේ අර දර්ශන තලය බිමට සමතලා කරලා. කවුරුවත් නොවේ කැලෑවේ සිටිය වල් අලි රංචුව. දොළ ළඟ තිබුණ නිවෙසත් ගහගෙන ගියා. ඒ නම් ගංවතුරකට. අවසානයේ ඔවුන්ට නැවතත් ඒ සියල්ල ඉදි කරන්න සිද්ධ වුණේ කරදරයක් කියලා නොසිතාම.

ඊළඟට චන්න මේ චිත්‍රපටයට නිළියක් සොයන්න ගියේ ඉන්දියාවේ බැන්ගලෝරයට. එහි යන්න ඔවුන් සූදානම් කරලා තිබුණු බව කිව්වේ සියලුම පහසුකම් තියෙන බසයක්. එතැන ගිහින් බැහැලා චන්නත්, යාළුවාත් හිටියේ සුඛෝපභෝගි බස් එක එනතුරු. එත් බස් එක කොහොම වෙතත් එතැන තිබුණේ ලොරියක් වගේ බස් එකක්. කොහොමින් කොහොම හරි ඔවුන් මේ රථයට නැග්ගේ ගමන යන්න හිතාගෙන. රථයේ ඇතුළේ තිබුණු අපිරිසිදුකම නිසාම මේ පැය අටක ගමන දෙන්නම ගියේ ඇහැරගෙන. ඒ විතරක් නෙවෙයි, අර සංවිධායකයාට හිතෙන් බනිමින්. ඒ ඔවුන්ව දැම්ම අපහසුතාවට. අවසානයේ ඔවුන් සිතුවේ ඔවුන්ට උවමනා නිළියවත් හොයා ගන්න. ඒත් ඒකත් හිතුව තරම් ලේසි වැඩක් වුණේ නැහැ. මොකද චන්නගේ අදහසට හරි යන කෙනා ඒ අය අතර හිටියේ නැති නිසා. ඒත් එක්කම වගේ කොහේදෝ හිටිය යුවතියක් එකපාරටම දුවගෙන ආවා. ඈ තමයි චයිත්‍රා. ‘පෙනුම නම් වරදක් නෑ. දෙබස් ටිකක් කියන්න දෙමු’ චන්න යහළුවට කිව්වේ මේ යුවතිය දෙසම බලාගෙන. වැඩේ හරි ගියා. චන්නගේ මුහුණ හිනාවෙන් ඔප වැටිලා.

‘ඒක සුබ ලකුණක්’ යහළුවා ඔහුටම කොඳුර ගත්තේ සිනහ වෙවී.

මේ සිද්ධිය නම් වුණේ ලංකාවෙදී. ඒ කියන්නේ චයිත්‍රාත් සමඟ රූගත කිරීම් කරන අතරතුරදී. එදා රූගත කිරීම් තිබුණේ රිවස්ටන්වල. බොහොම සීතලයි. ඒ මදිවට සුළඟ. ඔවුන්වත් අරගෙන යන තරම්. චයිත්‍රාට කොහොමත් මේ දේශගුණය නෙවෙයි ඇල්ලුවේ. ටිකෙන් ටික සීතල වැඩි වුණා. ඈව වෙව්ලන්න ගත්තේ ඒත් එක්කම වගේ. රූගත කිරීමට කැමරාව සූදානම්. චයිත්‍රා දෙබස් කියනවා. ඒත් හරියට නෙවෙයි. වෙව්ලන නිසා ඇගේ දෙබස් ශබ්ද වෙන්නේ වෙනම විදියකට. ඇගේ දෙබස් අහලා එතැන සිටිය හැමෝටම හිනා. එක් කෙනෙක් බඩ අල්ලාගෙන හිනාව. තවත් කෙනෙක් අතෙන් කට වහ ගත්තේ කරන්න දෙයක් නැතිකමට. මුළු කෲ එකම අවුල්.

‘ඈ කියන වදන් පිට වෙන්නේ අසැබි වචන වගේ’

අවසානයේදී ඒ දෙබස්වලට චන්නටත් හිනා ගියා. ඔහු අන්තිමට රඟපෑවේ බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන.

මේ වගේ බොහෝ සිද්ධිවලින් පිරී ඉතිරුණු ‘කල්පාන්තේ සිහිනයක්’ නරඹන්න ඔබත් එන්න රිද්මා මණ්ඩලයේ සිනමාහල්වලට. කතාව අවසානයේදී සිනමා රසිකයන්ට චන්න ආරාධනා කළා.