වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




දේදුනු නැතිවුණා හැඬූ කඳුළින් ගතකළා

දේදුනු නැතිවුණා හැඬූ කඳුළින් ගතකළා

දේදුනු ටෙලි නාට්‍යයේ දේදුනුට පණ පොවන්න හිටියේ මම. ඒත් මගේම අත්වැරැද්දක් නිසා මට ඒ චරිතෙ කරන්න නොහැකි වුණා. කිව්වට විශ්වාස කරන්න මාස ගණනාවක් මම ගත කළේ හැඬූ කඳුළින්. තවමත් ඒ දුක තියෙනවා.

නව පරපුරේ රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක දුක්බර අතීත මතකයක් ආවර්ජනය කරමින් මේ කතාවට මුල පිරුවාය.

* ඉතින් මොකක්ද ඔබ අතින් සිදු වූ අතපසුවීම?

දේදුනුට ඇඳුම් තෝරද්දී මම ගියේ නැහැ.

* බරපතළ වැරුද්දක්?

ඔව්. ඒත් දැන් හිතෙනවා එහෙම වෙච්ච එක හොඳයි කියලා.

* ඒ මොකෝ?

දේදුනු කියන්නේ ප්‍රධාන චරිතයක්නේ. මම එකපාරටම ඒ වගේ චරිතයක් කළා නම මීට වඩා ආඩමබර වෙලා ඉඳීවි. මම හරි ලොකු නිළියක්නේ කියලා හිතාවි. කොහොම වුණත් දේදුනු තෝර ගත්තට පසුව මට ලැබුණේ උප ප්‍රධාන චරිතය. ඒ අනුව බලන කොට මම පොඩි තැනෙන් ගමන පටන් ගත්තේ. එතකොට තමයි තැනකට එන්න පහසු.

* මම ඔබේ මතයට විරුද්ධයි. මාලිනී ෆොන්සේකා වැනි රංගන ශිල්පිනියන් ප්‍රධාන චරිත මවමින් ක්ෂේත්‍රයට ආවත් අද පවා ආඩම්බර නොවී නිහතමානීව ඉන්නේ?

එක හරි. ඒ වුණාට මගේ හැටි මමනෙ දන්නෙ. හැම දේම වෙන්නේ හොඳට. ඒ නිසා මම රංගනය පටන් ගත්තු තැන ගැන අද වන විට මට සතුටුයි.

* රුක්ෂානා ඉන්න නාට්‍ය තුනක්ම මේ දවස්වල විකාශය වෙනවා නේද?

ඔව්. උතුම් පැතුම්, දේදුනු සහ හිරු තනි වෙලා.

* මා නිවැරැදි නම් ඔබ රංගනයට අවතීර්ණ වෙන්නේ උතුම් පැතුම් නාට්‍යයෙන්?

ඔබ හරි.

* කොහොමද ඊට අවස්ථාව ලැබෙන්නේ?

උපුල් ජයසිංහ මහත්මයා මගේ හිතවතෙක්. ඔහුගේ මාර්ගයෙන් මට ලලිත් වසන්ත මහත්තයාව හමු වෙනවා. ඔහු තමයි මට රඟපාන්න අවස්ථාව දුන්නේ.

* මේ වන විට වෙනත් වෘත්තියක නියැළෙනවාද?

නැහැ. මම රඟපානවා විතරයි. මගේ අධ්‍යාපන කටයුතු තවම හමාර කළේ නැහැ.

* මොනවද ඔබ හදාරන්නේ?

මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන අංශයේ අවසන් වසර ශිෂ්‍යාවක්.

* රඟපාන්න යද්දී අධ්‍යාපන කටයුතුවලට බාධා වෙන්නේ නැද්ද?

වෙලාවකට අවහිරතා එනවා. විශේෂයෙන් විභාග කාලේ.

මම යාළුවො කියලා හිතාගෙන ඉන්න ඇතැම් අය විභාග කාලෙදි ඈත් වෙනවා. රඟපාන්න යන දවස්වල අතපසු වන නෝට්ස් මට දෙන්න වේවි කියලා ද දන්නේ නැහැ එහෙම වෙන්නේ. මම ඒවට සැලෙන්නේ නැහැ. කොහොම හරි ලියලා මෙතෙක් විභාග පාස් වුණා. මම හිතන්නේ සමහර යාළුවෝ මම රඟපාලා ජනප්‍රිය වෙනවට ඊරිසියාව ඇති.

* ඔබ රඟපාන්න පැමිණියා පරක්කු වැඩියි කියලා මට හිතුණා?

ඒ කතාව ඇත්ත.

* ඇයි එහෙම වුණේ?

රඟපාන්න ආසාවෙන් හිටියට මම හරි ලැජ්ජාකාරි. ස්ක්‍රීන් ටෙස්ට් තිබුණු තැන් කිහිපයකටම ගියා රඟපාන්න අවස්ථාව හොයාගෙන. නමුත් ආපහු හැරිලා ආවා බය වෙලා.

* කොහොමද රංගනයට තියෙන බය නැති කර ගත්තේ?

ලලිත් වසන්ත සහ සඳුන් රාජකරුණා යන මහත්වරු මාව යැව්වා ප්‍රියන්ත ලලිත් ගාවට. ඔහු මට මාස හයක පමණ රංගනය ඉගැන්නුවා. දැන් යන්තම් බය නැතුව රඟපානවා. හැබැයි රඟපාන්න අසීරු දර්ශනයක් ආව ගමන් ලලිත් සර්ට කතා කරලා උපදෙස් ගන්නවා.

* ඔබේ නාට්‍ය තුනෙහි චරිත මොනවද කියලා මට අහන්න බැරි වුණා?

උතුම් පැතුම් එකේ නෙතු, දේදුනු සෙවන්දි, හිරු තනි වෙලා උදාරි.

* මේ අතරින් වැඩිපුරම ජනප්‍රිය?

මට දැනෙන විදිහට චරිත තුනටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ තුනම ජනප්‍රියයි.

* රුක්ෂානාට පෙම්වතෙකු ඉන්නවද?

හිටියා.

* දැන් නැතිද?

ඉන්නවා. හැබැයි එයා දැන් මගේ සැමියා.

* ඔහුගේ නම?

පද්මකුමාර කරුණාරත්න, දෙරණ ආයතනයේ ඔහු සේවය කරනවා.

* ක්ෂේත්‍රයේ තව ටිකක් ස්ථාවර වුණාට පසුව විවාහ දිවියට ඇතුළත් වුණා නම් හොඳයි කියලා හිතෙන් නැද්ද?

මට නියම කෙනා හමු වුණා. එක හින්දා ටක් ගාලා විවාහ වුණා. මට එතකොට ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන්න ඔහුගෙන් සහායක් ලැබෙනවනේ. මම හිතුවේ එහෙමයි.

* සැමියාගේ උදව්වෙන් නිවේදනයටත් පිවිසෙන්නකෝ?

මං හිතනවා ඉදිරියේදී මට ඔහුගෙන් ඒ උදව්ව ලැබේවි කියලා.

* රුක්ෂානා නොකියා කියන්නේ නිවේදනයටත් ආසයි කියලා නේද?

ඇත්තටම ආසයි නිවේදනයටත්.

* ඔබ රඟපාන්න ආසාවෙන් ඉන්න අධ්‍යක්ෂවරුන් කවුද?

ලක්ෂ්මන් පුෂ්පකුමාර, සුදත් රෝහණ, රවීන්ද්‍ර විජේරත්න.

* රුක්ෂානා ඉගෙන ගත්තු පාසලත් මතක් කරමු?

කොළඹ දේවි බාලිකා විද්‍යාලය. මම පදිංචි වෙලා ඉන්නේ පන්නිපිටියේ.

* ඔබ ගැන ඔබ විසින්ම කෙටියෙන් හඳුන්වා දෙමු?

ඉතා සරල කෙනෙක්.