වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




බල්ලාට ගිය ගොඩාඩ්ගේ චිත්‍රපටය

බල්ලාට ගිය ගොඩාඩ්ගේ චිත්‍රපටය

ඉන්දියානු අන්තර්ජාතික 45 වැනි සිනමා උළෙල පිළිබඳ මේ ලිපිය ඔබ කියවන විට එය අවසන් වී ඇත.එහෙත් මේ ලිපිය ලියන්නේ එය ඇරඹී දින කිහිපයක් ගතවද්දීය.මෙවර සිනමා උළෙල උත්සවශ්‍රීයෙන් සැමරුව ද සාමාන්‍යයෙන් ඉන්දියාවට ආවේණික අසංවිධානාත්මක ගති ලක්ෂණ තව දුරටත් එහෙමමය.සිනමා උළෙලක් පවත්වන්නට නම් එය රාජකාරි මට්ටමෙන් එහා සිනමාව ගැන සිතන මිනිසුන්ගේ අතට පත් කළ යුතුය. පසුගිය කොළඹ සිනමා උළෙල සාර්ථකත්වයක් ලද්දේ එබැවිනි.එහෙත් ඉන්දියානු සිනමා උළෙල එහි නියැළෙන බොහෝ දෙනාට රාජකාරි කටයුත්තක් බැව් මා පසක් කර ගත්තේ එයට සහභාගි වන්නට ගත් මුල් අවදියේමය.

කෙසේ වෙතත් ලොව පිළිගත් සිනමා උළෙලක් නිසාම බොහෝ රටවල හැදෙන හොඳ චිත්‍රපට එයට ගලා ඒම සිදුවෙයි.සිනමා උළෙල ගෝවේ අගනගරය වන පන්ජිම් නගරයේ මුල් වරට පැවැත්වුණේ දස වසරකට පෙරාතුවය.එහෙත් ගැටලුව වූයේ සිනමා උළෙලක් පවත්වන්නට තරම් එහි හොඳ සිනමාහල් සංකීර්ණයක් නැතිවීමය.කෙසේ හෝ වර්තමාන ඉන්දියානු ආරක්ෂක ඇමැති එවකට ගෝවේ මහ ඇමැති මනෝහාර් පරිකාර් මහතාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් හැටියට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සිනමා සංකීර්ණ සමාගමක් වන අයිනොක්ස් සමාගම දින තිස් පහක් වැනි කෙටි කලකදී අංග සම්පූර්ණ සිනමාහල් හතරක් සහිත සිනමා සංකීර්ණය ගොඩ නැංවූ බව කියැවේ.එයට අමතරව යාබද මැක්නස් මාලිගාවේ සිනමා හල් දෙකන් ද ගොවේ කලා ඇකඩමියේ සිනමාහලේ ද මේ චිත්‍රපට ප්‍රදර්ශනය වෙයි.කලා ඇකඩමි ශාලාව මේ සියලු ශාලාවලට වඩා විශාලය.ඉන්දියානු සිනමා උළෙලේ මෙවර මගේ අවධානය දිනූ චිත්‍රපට කිහිපයක් පිළිබඳ හැඳීන්වීමක් මේ සමඟ කරන්නට බලාපොරොත්තු වෙමි.යහපත් සිනමාවක් ගැන සිතන පිරිසට මෙම චිත්‍රපට ඉක්මනින් සොයා ගත හැකි බව ද නොරහසකි.

මෙවර ඉන්දියානු සිනමා උළෙල පරම්පරා ගණනක සිනමාකරුවන්ගේ චිත්‍රපට එකතුවක් බව කිව යුතුය. ඒ ප්‍රංශ නවරුල්ලේ ශාන් ලුක් ගොඩාඩ් ගේ මෙන්ම චීන සිනමාවේ සිව්වන පරම්පරාවේ ෂැං යිමෝ ගේ චිත්‍රපට ද මයිකල් වින්ටර්බොටම්,මෝෂන් මකමල්බාෆ්,ඔලිවර් අසායස්,පොල් කොක්ස්,කිස්ටොෆ් සැනුසි,මයික් ලේ,ලාර්ස් වොන් ට්‍රයර් වැනි සිනමාකරුවන් රැසකගේ චිත්‍රපට එයට එකතු වී තිබීමය. කොහොමටත් මෙවර සිනමා උළෙලේ චීන සිනමාව පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමත් යාවජිව සිනමා සම්මානය චීන හොංකොං සිනාමකරු වොං කා වයි ට පිරිනැමීමත් ඉන්දු චින නව සබඳතා පුළුල් කිරීමට ගත් මාර්ගයක් ලෙස ඇතැම්හු සලකති.

කොහොමටත් ලෝකයේ කවර තරමේ ඉහළම සිනමා සම්මාන උළෙලක පවා දේශපාලන හේතු සැලකිල්ලට ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. කොටින්ම ඉරාන සිනමාකරුවකු ජූරි සභාපති ධුරය දරන සිනමා උළෙලක ඊශ්‍රාලයෙන් කවර මට්ටමේ හොඳ චිත්‍රපටයක් ඉදිරිපත් වුව ද එයට සම්මාන පිරි නැමෙන්නේ නැත.දේශපාලන හේතු මත සිනමා සම්මාන පිරි නොනමා ඇති බවට වැනිස් සිනමා උළෙලට පවා සහතිකයක් දිය හැක්කේ එහි නිර්මාතෘ ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසොලිනිගේ සමයේ පමණය.එබැවින් ලෝකයේ බොහෝ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වන බව නොරහසකි.හොඳ චිත්‍රපට එනවා නම් අපට මොකේ යනුවෙන් ලියා අපි චිත්‍රපට විස්තරයට බසිමු.එමෙන්ම මෙම ඇතැම් චිත්‍රපට පිළිබඳ පුළුල් විචාරයක් ලියැවිය යුතු වුව ද මේ ලිපි මාලාව පුරා සිදුවනුයේ චිත්‍රපට පිළිබඳ හැඳීන්වීමක් බවත් සැලකිය යුතුය.

ප්‍රංශ නවරැල්ල තරම් ලොව පුරා තරුණ සිනමාකරුවන්ගේ නොමද ආශ්වාදය ලත් සිනමා ව්‍යාපාරයක් තවත් නොවූ තරම්ය.එය වඩා සැලකිය යුත්තේ අද ලොව ඕනෑම සිනමා කෘතියක් එසැනින් නැරඹීමේ හැකියාව ඇති බැවිනි.එදා එබදු යුගයක් නොවීය.එහෙත් හැටේ දශකය ආරම්ශයත් සමඟ ප්‍රංශයේ තරුණයන් පිරිසක් විසින් ආරම්භ කරන ලද සම්මත සිනමාව බිඳ හෙළීම දශකයකටත් වඩා ලෝකයේ තරුණයන්ට ආශ්වාදයක් ගෙනාවේය.එකල සිනමා සංගම් මෙම චිත්‍රපට ලොව පුරා බෙදාහැරියේ සිනමාව පිළිබඳ අලුත්මානයක් ගෙන එමිනි.එමෙන්ම ලොව පුරා පැතිර ගිය වාමාංශික දේශපාලනයට ද මහත් බලපෑමක් විය.නවරැල්ලේ සිනමාකරුවෝ වරක් කාන් සිනමා උළෙල ආක්‍රමණය කරමින් එයට විරෝධය පෑහ.එවකට ප්‍රංශ පාලක ඩිගෝල්ට එරෙහිව නැගී ආ බලවේගයක් වනුයේ ද ප්‍රංශ නවරුල්ලේ සිනාමකරුවන්ය.එදා ප්‍රංශ නවරැල්ලට පුරෝගාමියකු වෙමින් සිනමා න්‍යායන් බිඳ හෙළන්නට වඩාත්ම උත්සුක වු සිනමා කරුවා වනුයේ ශාන් ලුක් ගොඩාඩ්ය.මේ වන විට ප්‍රංශ සිනමා නවරුල්ලෙන් ඉතිරිව සිටින එකම සිනමාකරුවා ද ඔහු පමණී.

ඔහුගේ නවතම චිත්‍රපටය වනුයේ ගුඩ්බායි ද ලැන්ග්වේජ් චිත්‍රපටයයි.මේ චිත්‍රපටය ත්‍රිමාණ චිත්‍රපටයකි.ගොඩාඩ් සිනමා ශිල්පයෙන් වැඩ පෙන්වන්නට සමත් කම් දැක්වුවෙකු ලෙස පතලය.හිටි ගමන් සම්මත බිඳ හෙළමින් දර්ශන කපා දැමීම වැනි ගොඩාඩ් ගේ ශිල්ප ක්‍රම එකල මහත් දස්කම් ලෙස සැලකුහ. මාටින් ස්කොසෙසි,ටැරන්ටිනෝ,රොබට් රොඩ්රිගුස්,ස්ටීවන් සෝඩාබර්ග්,රොබට් ඔල්ට්මාන්,බර්නාඩෝ බර්ටොලුචී,පියරේ පැසොලිනි වැනි ලොව පතළ සිනමාකරුවෝ රැසක් ගොඩාඩ් ගේ අනුගාමිකයෝ බව නොබියව කියා සිටිති.ඔහු උපන්නේ 1930 වසරේ දෙසැම්බර් තුන් වැනි දාය. එනම් ඊයේ සැමරුවේ ඔහුගේ අසූ හතර හැවිරිදි ජන්ම දිනයයි.ප්‍රංශ නවරැල්ල හඳුන්වා දෙන්නට භාවිතා කළ එක් අන්වර්ථ නාමයක් නම් වම් ඉවුරේ කණ්ඩායම යන්නයි.එයට හේතුව එම සිනමා රැල්ලට බලපෑම් කළ කැහියා ඩු සිනමා නම් සඟරාවේ ලේඛක පිරිස නිතර රැස්වනුයේ පැරිසියේ සේන් ගඟේ වම් ඉවුරේ ඇති අවන්හල්වල බැවිනි.එමෙන්ම මේ පිරිස වාමාංශිකයන් ද විය.ගොඩාඩ් මුලින් කල එළිබසිනුයේ ද උක්ත සඟරාවේ සිනමා විචාරකයකු හැටියටය.

එම සිනමාකරුවන් අතර සිටි වඩාත්ම ධනයෙන් ආධ්‍ය තැනැත්තා ද ගොඩාඩ් ය.ඔහුගේ පියා ස්විට්සර්ලන්තයේ ධනවත් පවුලක සාමාජිකයකු වූ අතර මව් පාර්ශවය උගත් කමින් මෙන්ම ධනයෙන් ද පරිපූර්ණ කීර්තිමත් ප්‍රංශ පවුලක් විය. ප්‍රංශයේ ඇති ලොව විශාලතම බැංකු පද්ධතියක් වන බෑන්ක් පරිවාස් සමාගමේ නිර්මාතෘ වනුයේ ගොඩාඩ්ගේ මවගේ පියාය.දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භයත් සමඟ ගොඩාඩ් පවුල ස්විට්සර්ලන්තයේ පදිංචියට ගියහ.පසුව යුද්ධය නිම වූ පසු ඔවුහු පෙරළා පැරීසියට පැමිණියහ.ගොඩාඩ් ගේ මුල්ම චිත්‍රපටය බ්‍රෙත්ලස් ය.

ඒ 1960 වසෙර්ය.මේ වසරේ ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ සිය තිස් නව වැනි වෘත්තාන්ත චිත්‍රපටයයි.මේ චිත්‍රපටය සිදුවීම් මාලාවකි.යුද්ධය ද අනතුරක් ද එකිනෙකට නොගැළපෙන ජවනිකා පෙළකින් ඇරඹෙන එහි හැම චරිතයක් ඔස්සේම සුනඛයෙක් දිව යයි.ඇතැම් විට චිත්‍රපටය භාවිතා කරනුයේ සුනඛයාගේ ඇසයි.මිනිත්තු හැත්තෑවක් තරම් කෙටි කලකින් චිත්‍රපටය නිමවෙයි.විවාහක ස්ත්‍රියක් සහ අවිවාහක මිනිසෙක් මුණ ගැසෙති.ඔවුහු ආලයෙන් වෙළෙති.තර්ක කරති.කාලය හරහා මෙන්ම නගරය හරහා ද සුනඛයා ඇවිද යයි.ඔවුහු යළි හමුවෙති.ඇගේ සැමියා ද සිටියි.දරුවෙක්ගේ හැඬිල්ලක් ඇසෙයි.මේ සියලු ව්‍යසන සතුට මැද සුනඛයා ද කොටස් කරුවෙක් වෙයි.සත්‍ය සහ මිත්‍යාව හරහා චිත්‍රපටය ඇදී යයි.කෙසේ වෙතත් ගොඩාඩ් සිය අලුත්ම චිත්‍රපටය සඳහා ත්‍රිමාණ රූපය භාවිතා කරනුයේ වෙනත් සිනාමකරුවන්ට වඩා වෙනස් අන්දමිනි එය සමහර විට ඇසට එක් වෙහෙසක් ද ගෙන එයි. ඇතැම් සිනමා විචාරකයන් ගොඩාඩ්ගේ නව චිත්‍රපටය බහුමානයෙන් යුතුව පිළිගන්නට මැළිවූ වගක් පෙනුණේ ද එහෙයිනි.

එහෙත් සිනමා සම්ප්‍රදායන් බිඳ හෙළන්නට ගොඩාඩ් සතු ශාක්‍යතාව ත් හිතුවක්කාරකමත් චිත්‍රපටය පුරා මැනවින් පෙනෙයි.මිනිසෙක්ගේ ලෝකය සහ සත්වයා එය දකින ආකාරය ඔහු භාවිතා කරනුයේ ඉතා විශිෂ්ට වියමනක ආකාරයටය.මෙම චිත්‍රපටය මෙවර කාන් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානයක් දිනා ගත්තේය.ඒ කැනඩාව නියෝජනය කරන ලද ප්‍රංශ භාෂිත චිත්‍රපටයක් වන මමී චිත්‍රපටය සමඟය.මමී චිත්‍රපටය ද මෙවර ඉන්දියානු සිනමා උළෙලට ඇතුළත්ව තිබිණ.

එම චිත්‍රපටය තැනූ ක්ෂේවියර් ඩොලන් තවම විසිපස් හැවිරිදි වියේ පසුවන්නෙකි.ඔහුගේ මුල්ම චිත්‍රපටය අයි කිල්ඩ් මයි මදර් නමින් නිර්මාණය කරන ලදුව කාන් සිනමා උළෙලේ විශේෂ සම්මානයක් දිනා ගන්නා විට ඔහු විසි හැවිරිදි වියේ පසු විය.මමී චිත්‍රපටයට පාදක වනුයේ මානසික ආරවුලක් නිසා නිතර කලහකාරි වන ගැටවරයෙක් සහ ඔහු ගේ මව පිළිබද කතාවකි.මව ද ජීවිතයේ හැලහැප්පීම්වලින් පිරී සිටින ගැහැනියකි.ඔවුන්ගේ උදව්වට එන්නේ අසල්වැසි අමුතුම චර්යාවකින් හෙබි කාන්තාවකි.විටෙක ඉතා රළු යැයි හැඟෙන චිත්‍රපටයක් නමුදු මමී ඉතා හෘදයාගම හැඟීම් සහ මවක ගේ සම්බන්ධතා ඉස්මතු කළ චිත්‍රපටයක් විය.

චීන සිනමාවේ සිව් වන පරම්පරාවේ විශිෂ්ට සිනමාකරුවන් වන චෙන් කයිගි සහ ෂැං යිමෝ යන සිනමාකරුවන් දෙදෙනාගේ ම චිත්‍රපට මෙවර සිනමා උළෙලට ඇතුළත් වන නමුත් මට නරඹන්නට ලැබුණේ ෂැං යිමෝගේ කමිං හෝම් නම් චිත්‍රපටයයි.එය එක් අතකින් ෂැං යිමෝ ගේ ජීවිත අත්දැකීමක් බඳුය.ඔහු උපන්නේ 1951 වසෙර්ය.චීන සිනමාවේ සිව් වන පරම්පරාව නැතෙහාත් ලෝකයට අවතීර්ණය වන්නට ඉඩ ලැබුණු පරම්පරාවේ සිනමාකරුවන් අතර වැඩිමහල්ම තැනැත්තා ද ඔහු වෙයි.මා ඕ සේතුං ගේ පාලන සමයේ 1966 වර්ෂයේ දී ඇරඹුණ සුප්‍රකට චීන සංස්කෘතික විප්ලවය සමයේ බොහෝ උගත්තු ඇතුළු පිරිසක් විප්ලවයට නුසුදුසුයැයි සලකමින් ගොවිපොළ හා වෙනත් කම්කරු වෘත්ති වෙත යොමු කරනු ලැබිණ. නැතහොත් හිර ගෙවල් වල තප්පන ලදී. ඒ කාලයේ ඉතා එතිහාසික පොත්පත්,කලා නිර්මාණ කෞතුක වස්තු රාශියක් ද ගිනි තබා විනාශ කරන ලද්දේ එයින් සමාජවාදයට නොගැළපෙතැයි සළකනු ලැබූ හෙයිනි.සියලු කලා නිර්මාණ චීන සමාජවාදය පිළිබඳ ඉස්මතු කළ යුතු විය.මෙම අවදියේ ෂැං යිමෝ ද පළමුව ගොවිපළකට ද දෙවැනුව පෙහෙකම්හළක ද කම්කරු වෘත්තියේ යොදවනු ලැබිණ.පසුව සංස්කෘතික විප්ලවය නිමා වී මා ඕ සේතුං මිය ගිය පසු බිහි වු නව පාලකයන් විසින් ඇති කරන ලද බීජීං සිනමා පාසලට ෂැං යිමෝ ද ඇතුළත් විය.

මතු සම්බන්ධයි...