වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ළමා ලොවේ සොඳුරු සිහින රිදී තිරයට ගෙනෙන ‘මගේ යාළු මාළු’ ළඟදීම

ළමා ලොවේ සොඳුරු සිහින රිදී තිරයට ගෙනෙන ‘මගේ යාළු මාළු’ ළඟදීම

ලාල් හා සුදේශ්ගේ අධ්‍යක්ෂණයෙන්
ජනිත මාරසිංහගේ නිෂ්පාදනයක්

අඟුරු කැබැල්ලක් විකා දබරඟිල්ලෙන් දත් පෙළ මදිමින් සිටි සූකිරි දොළ පාර අසල ඉඳ ගත්තේ පුරුද්දටය. වෙනදාට වඩා අද දොළේ දිය පාර වේගවත්ය. ඔහු සිය සුරත ගලා යන දොළ පාරේ එබුවේ සෝදා ගැනීමට සිතාය.

‘ආහ් . . . අද වතුර ගොඩක් සීතලයි’

විගසින් සිය සුරත ආපසු ගත්තේ ඔහු තමන්ටම කොඳුරමිනි. මේ තරමටම වතුර සීතල ඊයේ රාත්‍රියේ වැටුණු වර්ෂාව නිසා වන්නට ඇත. මද්දහනට ඇත්තේ තවත් හෝරාවක් පමණි.

පැහැදිලි අහස් කුස එළිය කරමින් පොළව සිප ගන්නා හිරුගේ රශ්මියේ දැඩි බව සූකිරිට දැනෙයි.

ඔහුට එහි වගේ වගක් නැත. ඔහුගේ අවධානය යොමුව තිබුණේ ගලා යන දොළ පාර දෙසටය.

ඊටම අවේණික වූ හැඩයක් රැගෙන සමහර විට වේගත්ව ද සමහර තැනක සෙමෙන් ද ගලා යන ජල දහරාව ගැඹුරු තැනෙක නිසසලය.

නිල්වන් පැහැ ගැණුණු ඒ ගැඹුරු දියට සුකිරි නම් බොහෝ කැමැතිය.

එවැනි තැනකට සූකිරි වඩාත් ප්‍රිය කරන්නේ සිතූ ලෙස දියබුං ගසන්නත්, දිය යට කිමිද දොළ පතුලට එබී බලන්නටත් ඔහුට හැකි වන නිසාය.

එපමණක් නොව යෝධ නුග රුකේ නැඟ ඒ දියවලට සෙවණ දෙන නුග අත්ත දිගේ රූටා එයට පනින්නට සූකිරි කවදත් ප්‍රිය කළේය.

අද නම් දිය පහර වේගවත්ව ගලා බසින බැවින් දිය පහර දිගේ පහළ වක්කලමට පැමිණීමට වෙනදා මෙන් දැඩි වෙහෙසක් ගත යුතු නොවේ.

මෙතෙක් වේලා ඇති වී තිබූ කම්මැලිකම නිසා දෙපා ගල උඩ තබාගෙන සිටි සූකිරි ඊළඟ තත්පරයේදී ගලා යන ජලයට එබුවේය.

දෙපා දියට ඔබන මොහොතේම දෙපා වට කර ගත් දණ්ඩිි පැටව් යටි පතුළට කෙටූයෙන් ඔහුට කිතියක් දැනිණි.

එය ගණනකට නොගත් ඔහු දෙපා තාලයට වැනුවේ දණ්ඩි පැටවුන්ගේ කෙටීමෙන් බේරෙන්නටය. ඒ අතර ඔහුට කදිම අදහසක් සිතට නැඟිණි.

‘මේ ලස්සන රතු දණ්ඩියෙක් අල්ලලා මගේ මාළුවලට දාන්න ඕනෑ’

දියට බට සූකිරි තමා අසල වූ සරම් කොටය ගෙන දණ්ඩි අල්ලන්නට වූයේය. එවිට දණ්ඩි පැටව් සී සී කඩ විසිර ගියේ උන් ටික වේලාවකින් ඔහු අසලට රොක් වූ බව ද අමතක කරමිනි.

ඒ අදහස අතහැර දැමූ මේ සය හැවිරිදි කොලුවා ‘ජබුග්’ යන ශබ්දය නඟමින් දියට පැන්නේය.

දිය යට කිමිඳ නොයෙක් සෙල්ලම් පෑ සූකිරි දියෙන් ගොඩට පැමිණෙන විට තම හේමාලයා පයට පෑගෙමින් තිබිණි. ඒත් සමඟම වැටුණු සිරිපොද වැස්සට ඔහු නුග ගස යටට සෙන්දු විය.

හිසේ තිබූ ජල බිඳු අතෙන් ගසා දැමූ ඔහු ඒ අසල තිබුණු පිදුරු ගොඩ දෙසට නෙත් යොමු කළේය. තරමක් තෙත් බව රැඳුණු පිදුරු ගොඩේ වූ පිදුරු අතරෙන් මතුව තිබුණේ කළු පැහැති පොහොට්ටු කිහිපයකි.

‘ආ . . . පිදුරු හතු පිපිලා’

ඔහු සියල්ල පැත්තකට දමා පිදුරු එහෙ මෙහෙ කළෙන් පිදුරු හතු මතු වූයේ සැනෙනි.

සිරි පොද වැස්ස නැවතී ඇත. කඩා ගත් පිදුරු හතු සරම් කොටයේ උන්ඩි කරගත් සූකිරි වෙලේ නියර දිගේ දිව්වේ ඉක්මනින් නිවසට යන අදහසෙනි.

යන ගමන් අවට සිසරා බැලූ ඔහු හිස්ව ගිය වෙල්යාය දෙසට නෙත් යොමු කළේ දැඩි දුකකිනි.

මන්ද ඒ වෙනදා නියර දිගේ දුවන විට ඔහුට ආසිරි පතන්නට සිටින බණ්ඩි ගොයම අද නොමැති හෙයිනි. සූකිරිගේ යහළුවන් වූයේ ඔවුන්ය. ඒ බණ්ඩි ගොයමය. මල් පඳුරුය. වන වඳුලය.

වන වඳුලේ සැරිසරන සූකිරි බට්ටිච්චෙකු ගයන ගීතයට සවන් යොමා සිටින්නේ සතුටු සිතෙනි. ගසෙන් ගසට පැන යන ඌගේ ගීතවත් නාදයට ප්‍රතිචාර දක්වන්නාත් මෙන් පෙදය ගැස්සෙන තාලය අපූරුය. වරෙක පඳුරුවලට එබෙමින් එහි බැඳ ඇති කොණ්ඩා කුරුල්ලන්ගේ කූඩුවල ඇති බිත්තර නරඹමින් යන ඔහුට බනින්නට කිසිවෙක් නැත.

‘නොද්දකින් මූසල කොලුවා. මූණට මුරිච්චි වෙන්නවත් හොඳ නැහැ’

එවැනි බස් තෙපළන්නට කිසිවෙක් මේ වනයේ නොමැත.

සිය වනාන්තර චාරිකාවේ යෙදී ආපසු පැමිණි එක් දිනෙක සූකිරිට දකින්නට ලැබුණේ අපූරු දසුනකි. ඒ තම යාබද නිවසට පැමිණි සම වයසේ චන්දෙව්ය. චන්දෙව් හා යහළුවීමට සූකිරිට දිගු කාලයක් ගත නොවීය. ඔවුන් අසලට සමීප වන කවීෂා ද සමඟ තිදෙනා ගමට ආසන්නයේ තිබෙන මුහුදු වෙරළට පිවිසෙන්නේ මේ අතරය.

කිසිවකුටත් නොකියා තිදෙනා යන මේ රහස් ගමනට දින සති ගෙවී ගියේය. එදින වෙනදාට වඩා වෙනස් අයුරෙන් පායා ආ හිරු එළිය සූකිරිටත්, කවීෂාටත්, චන්දෙව්ටත් වෙස් වළාගත් ආශිර්වාදයක් වැන්න.

‘අද නම් සෙල්්ලම් කරන්න නියම දවස’

චන්දෙව් සූකිරි දෙස බලා කිව්වේ දින කිහිපයකට කලින් කථිකා කරගත් සෙල්ලම කිරීමට නියම දිනය අද බැව් ඉඟි කරන්නටය. කියූ පරක්කුවෙන් තිදෙනා සිටියේ මුහුදු වෙරළේය. තඹ පැහැති වැල්ල මත වැටෙන රළ පෙළ ඉතිරි කර යන සුදු පෙන පිඬු ක්ෂණයෙන් අතුරුදන් වෙයි.

නොනැවතී පැමිණෙන රළ පෙළ දෙස විමතියෙන් මෙන් බලා සිටි මේ තිදෙනා ඔවුහු ආ කාර්යයේ නිරතවීමට සිතා බෝලය අතට ගත්හ. පාපන්දු ක්‍රීඩාවට පිළිපන් තිදෙනාගේ අවධානය රැඳුණේ ඔවුන්ගේ ක්‍රීඩාවටමය. රළ පෙළේ වේගය වෙනදා නොමැති චණ්ඩ බවක් ගෙන තිබිණි.

මේ අතර සූකිරි එල්ල කළ පා පහරින් එක් වරම බෝලය ඉගිළ ගියේ දියඹටය. තමා අතෙන් වූ වරද නිවැරැදි කරන්නට මෙන් සූකිරි දියඹට යෑමට මුහුද දෙසට ඇදෙත්ම දියඹ දෙසින් බෝලය වෙරළට එවන්නේ තිදෙනාම මවිතයට පත් කරමිනි. ඒ අතර රළ අතරෙන් ඉහළට එසැවුණු ඩොල්ෆින් මත්ස්‍යයාගේ දසුන තිදෙනාගේ කාර්යය මඳකට නතර කළහ.

මේ ඩොල්පින් මත්ස්‍යා කවුද? ඌ නිසා සූකිරිටත්, කවීෂාටත්, චන්දෙව්ටත් කරදරයක් වේද? මේ ගැන දැනගන්නට නම් ඔබ ළඟදීම තිරගගතවීමට නියමිත ජනිත මාරසිංහ නිෂ්පාදනය කරන, ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන ‘මගේ යාළු මාළු’ චිත්‍රපටය නැරැඹිය යුතු වන්නේය.