වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




දශක පහක-මියැසි පහස දෙසැම්බර් 13 දා

දශක පහක-මියැසි පහස දෙසැම්බර් 13 දා

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගය මෙරට සංගීත ක්ෂේත්‍රයේත්, ප්‍රසංග කලාවෙත් උත්කර්ෂවත්ම අවස්ථාව ලෙස සංගීත රසිකයන් මෙන්ම පොදුවේ විචාරකයන් ද පිළිගත් සත්‍යයකි. ‘ස’ ප්‍රසංග වාර 1500 කට ආසන්නව 1973 සිට 2013 වසර දක්වා දශක 4 ක් තිස්සේ නොනවත්වා පවත්වමින්, එය අතිශය ජනප්‍රිය මොහොතක වික්ටර් රත්නායකයන් එයට නැවතුම් තිත තැබුවේ ඉතා හොඳින් ප්‍රසංගය පවත්වාගෙන යාමට සකල ආකාරයෙන්ම ශක්තිය ලබාගෙනය. අද ද වික්ටර් රත්නායකයන් ගී ගයන ගී ප්‍රසංග ශාලා අතුරු සිදුරු නැතිව පිරී යන්නේ ඔහුගේ ගායන මාධුර්යය එදා මෙන්ම අදත් ආකර්ෂණීය බැවිනි.

වික්ටර් රත්නායක පණස් වසරක තම සංගීත දිවියේ මිහිරිතම සැමරුම් එක් කරමින් 2014 දෙසැම්බර් 13 වැනිදා ‘වික්ටර් අඩ සියවස - දශක පහක මියැසි පහස’ නමින් නව ආරක ගී ප්‍රසංගයක් රසිකයින්ට තිළිණ කිරීමට සූදානම් වෙයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සමරු රඟහලේ පැවැත්වෙන වික්ටර් ගී නිශාන්තය රසික හිත් සරසියේ සදා ලැගුම් ගනු ඇත.

වික්ටර් අඩ සියවස සමරන්නේ තම සිංහල ගී සඳහා යශෝධා විමලධර්ම සහ සුනිල් චන්ද්‍ර කුමාරයන් ලියූ හින්දි වදන් මුසු නව ගීයෙනි. වික්ටර් අඩ සියවසේ සුවිශේෂී ලකුණ වන්නේ වික්ටර් ගයන ඔහුගේම ජනප්‍රිය ගීවල අමරණීය තනුවලට හින්දි වදන් එක් කළ හින්දි ගීතයන්ය.

ඊට අමතරව වික්ටර්ගේ සංගීත නිර්මාණවලට පණ්ඩිත් අමරදේව, නීලා වික්‍රමසිංහ, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ප්‍රියංකර පෙරේරා, උරේෂා රවිහාරි ඇතුළු ශිල්පීන් මේ ප්‍රසංගයේ දී ගීත ගයනු ඇත.

මෙදින වික්ටර් සංගීත මං පෙතේ අසිරිමත් තරු ලකුණක් වන ‘මධුර කල්පනා’ නමැති වික්ටර් හින්දි ගී සංගත තැටිය හා ඔහුගේ තනු රචනා පිළිබඳව බණ්ඩාර සෙනෙවිරත්න විසින් රචිත ‘වික්ටර් – අනුපමේය වින්දන ධර්මය’ නම් පුස්තකය මෙන්ම සිසිර දිසානායක ගී පද රචකයා ලියූ ගී වික්ටර් හඬින් ගැයුණු ‘සිදංගනා’ සංගත තැටිය ද දොරට වැඩීමට නියමිතය.

මියැසි දායාද පුදන, ගැයුම් අමාවන් ඇසෙන බුහුමන් දැක්වෙන මෙම සහෘද යාමය රසික ජීවිතයෙන්, මතක වීදියෙන් කෙදිනකවත් සමුගෙන නොයනු ඇත.

- තිලානි