වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මාව බොරුවට ඇඬෙව්වාම ආදරේ වැඩි වෙනවා කියලා සීලවිමල මහත්තයා හිතුවා

මාව බොරුවට ඇඬෙව්වාම ආදරේ වැඩි වෙනවා කියලා සීලවිමල මහත්තයා හිතුවා

- සිරිල් ඒ. සීලවිමලගේ ආදරණීය බිරිය අනුලා කියයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ප්‍රකට ගීත රචකයකු, කවියකු, චිත්‍රපට තිරකතා රචකයකු ලෙසින් කලාවට අමරණීය මතක රැසක් දායාද කළ සිරිල් ඒ. සීලවිමලයන් අපෙන් සමුගෙන අදට සිවු වසරකි. ගීත සාහිත්‍යයට අමරණීය ගීත හාරසියයකට වඩා එක් කරනු ලැබු ඔහු අප අතහැර ගියේ 2010 දෙසැම්බර් 4 වැනිදාය. 1930 ඔක්තෝබර් මස 29 වැනිදා උපත ලැබූ සීලවිමල මිය යන විට අසූ වන වියේ පසු විය. සවන් සනහන ගී පදවැල් ඔහු අතින් ලියැවුණේ ගිනිගෙන දැවෙන හදවත් සිසිල් කරන්නටය. ‘ළිඳෙන් වතුර බීලා, ‘ජන්ම භූමි වන්දනා’, ‘විෂ්ණු දෙවින්දේ’, ‘සුදෝ පොඩ්ඩක් අඬන්න’, ‘මෙත් මල් පිබිදේවා’, ‘දෝතින් දෝතයි’, ‘හොඳ සිරියාවයි ආකාසේ’, ‘සන්සුන් රුවන් හද මන්දිරයේ’ ආදී ගීත රැසකින් රසිකයන් අමන්දානන්දයට පත් කළ ගී පද වැල් ගෙතූ සීලවිමලයන්ගේ බිරිය අනුලා ඒ.සීලවිමල හා අප කතාබහා කළේ එදා සීලවිමලයන් හා ගෙවූ රසවත් අතීතය සිහිපත් කරමිනි.

මේ එළඹෙන්නේ සිරිල් ඒ. සීලවිමලයන් අප අතරින් වියෝ වෙලා ගෙවෙන හතරවැනි වසර?

එයා නැති වුණේ දෙසැම්බර් හතර වගේම මෙවර යෙදෙන්නෙත් හතර වැනි ගුණානුස්මරණය.

ඒ වෙනුවෙන් මොන වගේ කටයුත්තක් ද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මීට ඉහත හැම වසරකම මම එයා වෙනුවෙන් පින්කමක් සිද්ධ කළා. මේ ගමනත් ඒ කටයුත්ත තමයි සිදු කරන්නේ, විශේෂ සිද්ධියක් සමඟ. මමත් මහත්තයත් එදා කසාඳ බැඳලා පදිංචියට මුලින්ම ආවේ වරාගොඩට. ඒ නිසාම මම මෙවර ඒ පින්කමට තෝරා ගත්තේ වරාගොඩ බෝධිරුක්ඛාරාමය පන්සල. මෙදින සිහිපත් කරලා හය වැනිදාට යෙදෙන පොහොය දිනයේ පන්සලේ බණක් කියවනවා සිල් සමාදන් වන විශාල පිරිසකට. ඊට අමතරව පසුදා වරාගොඩ තියෙන ආරාමයට දානයක් දෙනවා මෙහෙණින් වහන්සේලා වෙනුවෙන්.

සීලවිමල ඔබට මුලින්ම හඳුනගන්න ලැබෙන්නේ කොහොමද?

එතුමන් මගේ ටියුෂන් ගුරුවරයා.

ටියුෂන් ගන්න ගිහින් ආදර සම්බන්ධයක් ඇති වෙනවා?

ඔව්. ඒක ටිකක් දිග කතාවක්. ඒ කාලේ මහත්තයා නැවතිලා හිටියේ මරදානේ කුලී කාමරයක. මම මාලිගාවත්තේ පන්සලකට ආවා සිංහල ඉගෙන ගන්න. ඒ ආපු මුල්ම දවසේ සර් ආවේ නෑ. කවුද ළමයෙක් කිව්වා අද සීලවිමල සර් එන්නේ නෑ කියලා. මේ නම මට හුරු නමක් වුණා. මොකද මම ඒ වෙන කොටත් ‘චලන චිත්‍ර’, ‘කලා’ පුවත්පත් සඟරාවල ඒ නමින් පළ වන ලිපි කියවලා තිබුණා. ඒ ලිපිවල මේ වගේ නමක් තිබුණා කියලා මට මතකයි. ඒත් මේ සර් ද කියන්න මම දැනන් හිටියේ නැහැ.

කොහොම හරි ඊළඟ සතියේ සර් පන්තියට ආවා. එදා තමයි මුලින්ම මම කවුද කියලත් දැක්කේ. මමත් පන්ති ඇවිත් සර්ගෙන් ඉගෙන ගෙන යනවා. ඔය එන අතරේ දවසක් පන්සලේ හාමුදුරුවෝ (වලල්ලාවිට සද්ධානන්ද හිමියන්) සර්ට කියලා තියෙනවා මහත්තයත් තවම අවිවාහකයිනේ ඔන්න ඔය ළමයා ගැන පොඩ්ඩක් උනන්දු වෙලා බලන්න කියලා. මේ වගේ දෙයක් මම දන්නේ නෑ. කාලය ගෙවෙන කොට මගේ අම්ම තීරණය කළා මේ උගන්වන සර් ගෙදරට ගෙනල්ල මට උගන්වන්න. කොහොම හරි දැන් මම පන්සලට යන්නේ නෑ. සර් ගෙදරට ඇවිත් මට උගන්වනවා. ඔය වගේ ටික කාලයක් යන කොට දවසක් සර් මට එයාගේ හිතේ තිබුණු අදහස 1959 දී කිව්වා. මමත් අයේ දෙපාරක් හිතුවේ නෑ, එක පයින් කැමැත්ත දුන්නා.

සර්ගේ අදහසට දෙමාවුපියන් කැමැති වුණාද?

අපෝ නෑ. මගේ තාත්තා කතෝලික, අම්මා බුද්ධාගමේ. සර් බෞද්ධ. මටත් ඔය කාලේ අවුරුදු දාසයක් දාහතක් විතර ඇති. අම්මා මේ සම්බන්ධයට දැඩි සේ විරෝධය එල්ල කළා. ඒ විරෝධය ජය ගන්නත් සර් අප්‍රසිද්ධව ගීත ලිව්වා. ඒ වෙනුවෙන් ලිව්ව ගීතයක් තමයි ‘ආදරේට ඇගේ . . . වේදනාව දෙන්නේ අනේ ඔහොම දුක් දෙන්න දුක නැද්ද අම්මේ’ ගීතය. ඔහොම ඉතිං අවුරුදු කීපයක් ප්‍රේමය වෙනුවෙන් ගීත ලියමින් කොහොම හරි සර් අම්මව කැමැති කරවගෙන මාව විවාහ කර ගත්තා 1963 මැයි 30 වැනිදා.

ඇත්තද බැන්දත් හරි නම කියලා කතා කළේ නෑ කියන්නේ?

එයා මගේ ස්වාමියා වුණත් මුලින් එයා මගේ ගුරුවරයා. එදා සර් කියපු මට කවදාවත් මහත්තයට නම කියලා කතා කරන්න හිත දුන්නේ නෑ. මම එහෙම නමින් කතා කරන්න හිතුවෙත් නැහැ. එයා මැරෙන තුරාවට මම කවදාවත් නමින් එයාට කතා කළේම නැහැ. වෙනකවුරු හරි සමඟ කතාබහ කරන කොට සීලවිමල හරි සිරිල් හරි කියලා කතා කළත් එතුමා කෙරෙහි මා තුළ තිබුණු ඒ ගෞරවය නිසා මම කවදාවත් නම කියලා කතා කළේම නැහැ. එයා මට අනුලා කියලා තමයි කතා කළේ.

සීලවිමල මහත්තයා හුඟක් ගීත ඔබ වෙනුවෙන් ලිව්වා කියන කතාව ඇත්තද?

ඔව්. එයාගේ ගොඩක් ගීතවල මම ඉන්නවා. මගේ හැම ඉරියව්වකටම බලපුවම මහත්තයා ගීත ලියලා තියෙනවා. මම ඇඬුවත්, ගමනක් ගියත්, ඇඳුමක් ඇන්දත්, හිනා වුණත් මේ හැම දේකටම ගීත ලියලා තියෙනවා.

වැඩියෙන්ම ඔබගේ මොන ලක්ෂණවලටද ඔහු අතින් ගීත ලියවුණේ?

මගේ හිනාවට.

මොරිස් දහනායක ගායනා කරන ‘සුදෝ පොඩ්ඩක් අඬන්න’ ගීතයත් ඔබ වෙනුවෙන් නිර්මාණය වූවක් නේද?

ඒ ගීතය මහත්තයා අතින් ලියවෙන්නත් හේතුවක් තිබුණා. ගීතය ලියපු දවස්වල අපි දෙන්නා පෙම්වතුන්. මට ගෙදරින් අම්ම විරුද්ධකම් පාන කාලේ. එයා දවසක් අපේ ගෙදර ආවා. ඒ ඇවිත් මට කිව්වා අනුලා අපි මේ සම්බන්ධෙ නතර කරමු. අම්මත් මේකට විරුද්ධයිනේ. අපි කොච්චර කැමැති වුණත් අපිට දෛවය එකතු වෙන්න දෙන්නේ නැත්නම් මොනව කරන්නද? මේ ‘විදියට හැඟිම්බරව මට කිව්වා. ඒ වෙලාවේ මට පුදුම දුකක් ඇති වුණා. මම ඉකිගහලා ඇඬුවා. මට මතකයි මම කිව්වා අනේ මට බෑ මේ සම්බන්ධෙ නතර කරන්න කියලා. මම තේ එකක් හදන් එන්න අඬ අඬා කුස්සියට ගියා. ඔය අතරේ ළඟ තිබුණු කොළ කෑල්ලක ඒ වෙලාවේ එයාගේ හිතේ ඇති වෙච්ච හැඟීම් ටික කොළයක සටහන් කරලා තිබුණා. ඒ සටහන තමයි ‘සුදෝ පොඩ්ඩක් අඬන්න’ කියන ගීතයේ පදවැල්.

ඇත්තටම මහත්තයා එදා ඇවිත් තියෙන්නේ සම්බන්ධය නතර කරන්නටද?

අනේ නෑ. එයා එදා මට කරලා තියෙන්නෙත් විහිළුවක්. ඒ කතාව පස්සේ මට කියන කොට තමයි මමත් දන්නේ. එයා කියවපු නවකතා පොතක තිබුණලු පෙම්වතියට ඉඳහිට විහිළුවක් කරලා ඇඬෙව්වාම හිතේ තියෙන ආදරේ තවත් වැඩි වෙනවා කියලා. ඉතිං එයාටත් හිතුණලු අපි දෙන්නත් ඒ දවස්වල පෙම්වතුන් වෙලා ඉන්න එකේ මේ කියන කතාව ඇත්තද කියලා බලන්න. මාව අර විදියට බොරුවක් කියලා අඬවන්න හිතේ තියන් තමයි අර වගේ කතාවක් කියලා තියෙන්නේ.

පුවත්පත් කතුවරයකු දක්වා පැමිණි ගමන් මඟේ ඔහු තුළ තිබූ සුවිශේෂ ලක්ෂණය මොකක්ද?

රැකියාව දේවකාරියක් සේ සලකපු කෙනෙක් තමයි මහත්තයා. පුදුම කැපකිරීමක් ඒ වෙනුවෙන් කළා. ‘දවස’, ‘රිවිරැස’ පත්තරවල ප්‍රධාන කර්තෘත්වය දරන කාලේ වුණත් ඒ කැපවීම අඩුවක් වුණේ නැහැ. උදේ ගෙදරින් යන මහත්තයා රෑ දෙගොඩ හරියේ ගෙදර ආවේ පත්තරේ වෙනුවෙන් කැප වෙලා කටයුතු කළ නිසයි. කොච්චර කැප කිරීමක් මහත්තයා කළා ද කියනවා නම් අපේ විවාහයටත් මහත්තයා ආවේ පත්තර කන්තෝරුවේ ඉඳලා.

එදත් හරි අපූරු සිද්ධියක් වුණාලු නේද?

මම එදා උදේ ඉඳල බලන් හිටියා එයා දැන් එයි දැන් එයි කියලා. මම මඟුල් සාරිය ඇදගෙන එයා කිව්ව විදියට තමයි එදා හිටියෙත්. මට කලින්ම කියලා තිබුණා තොල් නිය රතු කරගෙන මගෙත් එක්ක යන්න නම් එන්න එපා කියලා. මම ඒවා අකුරටම පිළිපැද්දා. දෙවැනි මනමාලයට ආවේ විජයරත්න වරකාගොඩ. මට මල් බොකේ එකත් කලින්ම ඇවිත් දීල තමයි ගියේ. නැකත ළං වෙමින් තිබුණා. දැන් මටත් බයයි. සිරිල් තාම නැහැ. ගෙදර අයත් කලබල වෙලා. නැකතට විනාඩියක් තියලා ඔන්න සිරිල් ආවා කඩිමුඩියේ. එතකොට තමයි මගේ ඇඟට ලේ ඉනුවේ.

මොකද දන්නවද එදා වෙලා තියෙන්නේ, එයා එදත් උදේ වැඩට ගිහින්. ඔය අතරේ ප්‍රධාන කර්තෘ ඩී. බී. ධනපාල මහත්තයා ඇහුවලු අද නේද සීලවිමල බඳිනවා කිව්වේ කියලා. ඒ පාර මහත්තයා කිව්වලු කච්චේරිය ළඟ නිසා කන්තෝරුවෙ ඉඳලම යනවා කියලා. ඒ වෙලාවේ ඔළුවේ අත ගහ ගත්ත ධනපාල මහත්තයා ඉක්මනට කාරෙකක් ලෑස්ති කරලා යන්න කියලා පිටත් කළා. කොහොම හරි පත්තරේ වැඩ නිසාම වෙලාව යනවා කියලා එයාට එදත් තේරිලා නැහැ.

මහත්තයා නැති වුණා කියලා ඒ තිබුණ ආදරය අදටත් එහෙමයි නේද?

අපි දෙන්නගෙ හමු වීම සසර පතාගෙන ආපු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. 2004 ඔක්තෝබර් 22 වැනිදා තමයි එයා අංශභාග රෝග තත්ත්වයට පත් වුණේ. එදා ඉඳලා මහත්තයා නැති වුණේ මම කවදාවත් එයාට තනිකමක් දැනෙන්න ඉඩ තිබ්බේ නෑ. මාධ්‍ය ක්ෂෙත්‍රයේ අයගෙන් වුණත් මට උපරිම සහායක් ඒ කාලේ ලැබුණා. මහත්තයා ගැන පත්තරවල ලිපි පළ වුණා. රූපවාහිනියේ පවා එදා ‘හද රැඳි ගී’, ‘මතකයේ රැඳුණු ගී’ ප්‍රචාරය වුණා. ඒවායේ බොහොමයක් ගී මහත්තයා රචනා කරපු ඒවා. මම ඒවා ප්‍රචාරය වෙන වෙලාවට එයාට ඒවා ඇහෙන්න සැලැස්සුවා. රෝගී තත්ත්වය තුළ ඉඳගෙනත් එයා ගීත රචනා කළා. එයා ලිව්ව ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන කොට මම ඒවා අහන්න සැලැස්සුවා. ඒ වගේ මානසික සුවයක් මට කළ හැකි උපරිමයෙන් එයාට කළා. ලෙඩ වෙලත් අවුරුදු හයක් මාත් එක්ක එකට ජීවන ගමන ගියා. අදටත් මම ජීවත් වෙනතුරු එයාව සිහිපත් කරලා එයාගේ ගුණ සුවඳ පතුරවන එක තමයි මගේ සන්තෝෂය.

මේ මෑත භාගයේ සීලවිමලයන් අතින් රචනා වූ ‘හිස් ටින්’ එකක් වාගෙයි – අපේ මේ ජීවිතේ මල්ලී’ ගීතය අතිශයින් ජනාදරයට පාත්‍ර වුණා නේද?

ඒක ඇත්ත. ‘දැන් මතකද’ චිත්‍රපටයට මිල්ටන් පෙරේරා, ජෝතිපාල, මොහිදීන් බෙග් තමයි මුලින්ම ගායනා කළේ. ඊට පස්සේ මේ ගීතය යළිත් මෑත කාලයේ වේදිකාවට ගෙනාවේ එම්. ජී. ධනුෂ්ක. ඒත් මේ ගීතය ලිව්ව මගේ මහත්තයා ගැන මේ දරුවා කොහේවත් සඳහන් කරන්නේ නැහැ. ඒ ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්.

පවුලේ දරුවන් ගැන තොරතුරු කොහොමද?

ලොකු පුතා නාලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. උදිත පුතා වෙළෙඳ කළමනාකරුවෙක් ලෙස කටයුතු කරනවා. අනූෂා හා හර්ෂා දුවලා දෙන්නම රැකියා කරන්නේ නැහැ. වැඩිපුරම මම දැන් කාලය ගත කරන්නේ ලොකු පුතාගේ අනුරාධපුරයේ ගෙදර.

ලිපිනය සඳහන් කළොත්?

නො 19 M පණ්ඩුලගම, අනුරාධපුරය.