වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සතුට වැඩිකමටයි තනි අතෙන් සම්මානය උඩට ඉස්සුවේ

සතුට වැඩිකමටයි තනි අතෙන් සම්මානය උඩට ඉස්සුවේ

‘සුමති’ සම්මාන උළෙලේ හොඳම නිළිය වූ පබෝධා ‘සරසවිය’ සමඟ...

මෙවර දහනව වැනි සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය බවට පත් වූයේ පබෝදා සන්දීපනී නම් දක්ෂතා රැසකින් පරිපූර්ණ වූ තරුණ රංගන ශිල්පිනියයි. පබෝධාට ලැබුණු මේ සම්මානය ගැන මොන වගේ හැඟීමක් ද තියෙන්නේ කියලා අහන්න ‘සරසවිය’ අප ඈ සොයා ගෙන ගියා. සම්මානය ලබලා සතියක් විතර ගෙවිලා ගිහින්. තවමත් ඒ සම්මානයෙන් එදා වගේම සතුටට පත් වී සිටින පබෝධා සිය හඬ අවදි කළේ මේ ආකාරයෙන්.

හොඳම නිළියට නාමයෝජනා වෙද්දී ඔබ සිතුවද ‘මම තමයි හොඳම නිළිය’ කියලා?

‘අනේ එහෙම නම් මම සිතුවේ නැහැ. ඊට යෝජනා වුණු මගේ නම වගේම අනෙක් නිළියන් දෙදෙනාත් බොහොම දක්ෂයෝ. ඒ නිසා මගේ නම නාමයෝජනාවට ඉදිරිපත් වීම පිළිබඳව මම සිටියේ බොහොම සතුටෙන්. සම්මානය මට ලැබුණත්, නොලැබුණත් නාමයෝජනා ලැයිස්තුවටම ඉදිරිපත් වීම ලොකු දෙයක් ලෙසයි මා සිතුවේ.

ඒ සම්මානය ලැබුණු අවස්ථාව ඔබට තවමත් මතකද?

ඒ වෙලාවේ මගේ සිතේ ඇතිවුණු සිතුවිල්ල ගැන කියන්නට මට වචන නැහැ. ඒ අවස්ථාවේ මගේ නම කියන කොට සිතට ආවේ අමුතු ශක්තියක්. ඒ ආව ශක්තිය නිසාද කොහෙද මම එක පාරටම සම්මානය තනි අතෙන් උඩට උස්සලා ආචාර කළා. නිකම් තියෙන වෙලාවට තනි අතෙන් උස්සන්න බැරි සම්මානයයි ඒ වෙලාවේ මම තනි අතෙන් ඉස්සුවේ. එහෙම කළේ ඒ වෙලාවේ කළ ඇගයීමට, සිතට දැනුණ සතුටට, ශක්තියට කියලා මට සිතෙනවා.

මේ සුමති සම්මාන උළෙලකදී ඔබට ලැබුණු පළමු සම්මානය නේද?

‘ඇත්තටම ඔව්. කුඩා කාලයේ ඉඳලාම මගේ නම නාමයෝජනාවලට කිහිප වාරයක්ම ඉදිරිපත් වුණා. වරක් නැඟී එන නිළියටත් මා නාමයෝජනා වුණා. එවරත් මට සම්මානය ලැබුණේ නැහැ. ඒත් මට මේ සම්මාන උළෙලේදී සම්මානයක් ලැබුණු පළමු වතාවයි. ඒක මගේ ජීවිතයේම රැඳිලා තිබෙන එක් සතුටක්.

පවුලේ අයත් සමඟ ඔබ ඒ සතුට බෙදා ගත්තේ කොහොමද?

අම්මිට ගොඩක්ම සතුටුයි. මගේ මහත්තය මා ලැබූ ජයග්‍රහණය ගැන කොයි තරම් මවිත වී සිටියා ද කිව්වොත් නිවෙසට යනතුරුත් හිටියේ කිසි කතාබහක් නැතිවමයි. ඒ එයාට ඇතිවුණු සතුටටයි එහෙම වුණේ. ඒ නිසා එයා මට සුබ පැතුවේත් ගොඩක් වෙලා ගියාට පස්සෙයි. ඒ සතුට ඔහුට දරාගන්න බැරි වුණ නිසා. මහත්තයාගේ අම්මා ඇතුළු පවුලේ හැමෝම වගේම යහළු යෙහෙළියන් බොහොම සතුටු වුණා.

ඔබට මේ සම්මානය ලැබෙන්නේ ‘බොරළු පාර’ ටෙලි නාට්‍යයේ කළ රංගනය වෙනුවෙන්. ඒ නිර්මාණයට ඔබ සහභාගි වුණු අයුරු මතකද?

මේ නිර්මාණය මගේ නිර්මාණ ජීවිතයේ සුවිශේෂී බවක් හිමි කර ගත්ත ටෙලි නාට්‍යයක් කියලා මා කියනවා. ඒකට හේතු වෙන්නේ සම්මානය ලැබීමම නෙවෙයි. ‘බොරළු පාර’ රංගනයට ජනක අයියා මට කතා කරන්නේ මගේ වෙඩින් එකට ආසන්න කාලයේදියි. ඒ ගැන මම ජනක අයියට කිව්වා. ඒ වුණත් හොඳ නිර්මාණයක් නිසා ඒ වැඩ කටයුතු අතර කොහොම හරි මේ චරිතය කරමුයි කියලත් මම ඔහුට කිව්වා. ඇත්තටම මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කෙරෙන අතරතුරයි මගේ කසාදෙත් සිද්ධ වුණේ.

මේ කාරණා නිසා ‘බොරළු පාර’ මගේ ජීවිතය වුණා වගේම මට පුතා ලැබෙන්න සිටියේත් ‘බොරළු පාර’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසාන වන කාලයේදියි. ඒ නිසා විඳින්න වී තිබුණු විවිධ පීඩා නිසා මා වැඩිපුරම සිටියේ ඇඳට වෙලා. මේ නිසා මම අන්තිම රූගත කිරීම් කළේ වමනය දම දමා. අනිත් එක රූගත කිරීම් කෙරුණේ නුවර ප්‍රදේශයේ නිසා මට උපරිම පහසුකම් ඔවුන් සලසලා තිබුණා. මා ගැන සිතලා ඔවුන් මට අවශ්‍යම අවස්ථාවලට පමණක් රංගනයෙන් සහභාගි වෙන්න අවස්ථාව හදලා දුන්නා. මේ සියලු සිදුවීම්වලට පස්සේ, පුතා ලැබිලා වසර එකහමාරක් ගියාටත් පස්සේ ඒ ටෙලි නාට්‍යයටම මට හොඳම නිළිය සම්මානය ලැබෙනවා. ඉතිං මගේ ජීවිතයට ‘බොරළු පාර’ ටෙලි නාට්‍යය ආශිර්වාදයක්.

ඒ ටෙලි නාට්‍යයේ ප්‍රින්කිගේ චරිතයෙන් ඔබ ටෙලි නාට්‍ය රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා?

ඒ සතුට විඳින්න නොලැබුණේ මට පුතා ලැබෙන්න සිටිය නිසා. මම කාලයක් හිටියේ මගේ රටෙත් නොවෙයි. ඒත් ‘බොරළු පාර’ ටෙලි නාට්‍යයට හොඳ කමින්ට් ලැබුණා. කාලයකට පස්සේ හොඳ නාට්‍යයක් නරඹන බවත් බොහෝ ටෙලි නාට්‍ය රසිකයෝ පැවසුවා. සම්මානය ගත්තට පස්සෙත් ඒ වග බොහෝ දෙනෙක් මට කිව්වා.

මේ ටෙලි නාට්‍යය වෙනුවෙන් වින්ඳ දුක් වේදනා සියල්ල සම්මානය ලැබීමෙන් පස්සේ ඈත් වුණාද?

ඇත්තටම ඔව්. ඕනෑම නාට්‍යයකට මගේ කැප කිරීම උපරිමයෙන් කරනවා. ඒක මම හැමදාම කරන දෙයක්. මේ නාට්‍යය සුවිශේෂී වන්නේ මගේ ජීවිතයටම වැදගත් සංසිද්ථානයක් වීම නිසයි. ‘බොරළු පාර’ මගේ ජීවිතයේ මතක සටහනක්. ඒ මතක සටහන ලබා ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ජනක අයියාට ස්තුතිය පළ කරනවා.

ඔබ ලැබුව හොඳම නිළිය සම්මානය ගැන අධ්‍යක්ෂවරයා පළ කළේ කුමන අදහසක්ද?

ජනක සුරංජිත් කියන්නේ බොහොම සරල මනුස්සයෙක්. ඒ වගේම ඔහු වැඩිපුරම කතාබහ කරන කෙනෙකුත් නොවෙයි. සම්මානය ලැබුණු වෙලාවේ ඔහු ‘මේ ඇති මේ ඇති’ කියලා කිව්වා. ඒ සම්මානය ලැබුණු එකේ සතුට ඔහුගේ ඇස් දෙකේ තිබුණා. ‘බොරළු පාර’ ටෙලි නාට්‍යයට සම්මාන කිහිපයක් ලැබුණා. ඒ සියල්ල ඔහු සතුටෙන් බාර ගත්තා.

මේ ටෙලි නාට්‍යයේදී ඔබගේ සැමියා ලෙස රඟපෑ ජගත් මනුවර්ණගෙන් ඔබට ලැබුණු සහයෝගය කොහොමද?

ජගත් මනුවර්ණ කියන්නේ දක්ෂ නළුවෙක්. ඔහුත් සමඟ පළමුවෙන්ම මා රඟපෑවේ මේ ටෙලි නාට්‍යයේදී තමයි. ඔහුගෙන් හොඳ සහයෝගයක් මට ලැබුණා. මොකද ඔහු හොඳට රඟපෑවේ නැත්නම් මගේ රඟපෑමත් හොඳට එන එකක් නෑ. රඟපෑම කියන්නේ ඇක්ෂන් ඇන්ඩ් රියැක්ෂන්නේ. ඒ නිසා ඔහුගෙන් ලැබුණු සහයෝගය අපමණයි.

ඔබත් සමඟ නිර්දේශ වුණු නිළියන් දෙදෙනාගේ රංගනය ගැන මොකද සිතන්නේ?

මමත් සමඟ තරග කළ මුතු හා හිමාලි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ වගේ දක්ෂතා තිබෙන සහෝදර රංගන ශිල්පිනියන් දෙදෙනෙක් සමඟ තරග කරලා ජයග්‍රහණය ලැබීම මට සතුටක්. ඒ දක්ෂ නොවන අයත් සමඟ තරග කරලා ලබන ජයග්‍රහණයකට වඩා මේ ජයග්‍රහණය මට වටින්නේ ඔවුන් දක්ෂ අය නිසයි.

අවසාන වශයෙන් ඔබගේ රසික – රසිකාවන්ට මොනවාද කියන්නේ?

හැමෝටම ස්තුතිය පළ කළ යුතුයි. විශේෂයෙන්ම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා, පිටපත ලියූ රසික අයියා, කාර්මික සහයෝගය දුන්න සියලු දෙනාට, මගේ මහත්තයට, පවුලේ සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙනවා. මේ සම්මානය මා ලබා ගත්තේ ඔවුන් සියලු දෙනාගේ සහයෝගයෙන්. මගේ රසික – රසිකාවන්ට කියන්න ඕනෑ ඉදිරියටත් මා තෝරා බේරාගෙන හොඳ ටෙලි නාට්‍යවල රඟපාන්න බලාපොරොත්තු වෙනවා කියලා.

පුතා ලැබුණට පස්සේ ඔබ රංගනයෙන් සහභාගි වුණ නිර්මාණ මොනවාද?

උදය කාන්ත වර්ණසූරියගේ ‘ගින්දරී’ කියන චිත්‍රපටයේ මා රඟපෑවා. ඉදිරියේදී ‘ගින්දරී’ වගේම ‘ආදර පූජාසනයක්’ කියන චිත්‍රපටයත් තිරගතවීමට නියමිතයි. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වේවි.