වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කට්ට කාල මෙතනට ආවත් නවකයන්ට කට්ට දෙන්නේ නෑ

කට්ට කාල මෙතනට ආවත් නවකයන්ට කට්ට දෙන්නේ නෑ

අනුර ජයමාන්නව වර්තමානයේදී අපට හමුවන්නේ ස්වර්ණවාහිනියේ දේශපාලන අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු හැටියටයි. ඊට අමතරව ඔහු ඉඩ ඇති පරිදි රංගන ශිල්පියකු හැටියට කටයුතු කරනු ලබයි.

දේශපාලනය හා ගවේෂණාත්මක වැඩ සටහන් හරිම සංයමයෙන් කරන්න ඕනෑ. පොඩ්ඩ මිස් වුණ ගමන් බැනුම් තමයි.

අනුර කතාව පටන් ගත්තේ අන්න එහෙමයි.

අනුර බැනුම් අහපු අවස්ථා අනන්තවත් ඇති?

බැනුම් අහලා නම් කමක් නැහැ, පාස්පෝට් කන්තෝරුවට අසල දි මට කෙනෙක් ඇවිත් පොල්ලකින් ගැහැව්වනේ. යන්තම් ඔලුව පලා ගන්නේ නැතුව බේරුණා. ඒ වගේම නිර්නාමික ලියුම් සෑහෙන්න එනවා. මුලදි ටිකක් බය හිතුණා. ඒත් දැන් එහෙම නැහැ.

අනුර කොයි කාලෙ වගේද ක්ෂේත්‍රයට එන්නේ?

අනූව දශකයේ මුල විතර. ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහත්මයාගේ යොමු කිරීම මත මම සිනෙලින්ක් ආයතනයට බැඳුණා. කැමරා අංශයේ සහායකයකු වශයෙන් එහෙම කාලයක් ඉන්න කොට තරුණී පුවත්පතේ කර්තෘ ඇන්ටන් සැම්සන් මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ ස්වාධීන රූපවාහිනියට එකතුවන්න වරම් ලැබුණා. ඒ සුමිත් ජයන්ත ඩයස් මහත්මයා යටතේ විමසුම වැඩසටහනේ සහාය අධ්‍යක්ෂවරයකු හැටියට. ඔය අතරතුරදියි කෝපි කඩේ රඟපාන්න ලැබුණේ. මුල් කලෙ මට නිශ්චිත පඩියක්වත් ලැබුණේ නැහැ. ගමේ අය මට විහිලු කළා පිනට රස්සාවල් කරනවා කියලා. ඒත් මම සැලුණේ නැහැ. මම හිතා ගත්තා කවදා හරි මම මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළටම යනවා කියලා.

ඒ කාලයේ ඉඳලම ගවේෂණාත්මක වැඩසටහන්වලට ද උනන්දුවක් දැක් වූයේ?

ඔව්. මම රටේ ලෝකේ වෙන අසාධාරණකම් සොයා බලන්න දැඩි කැමැත්තක් දැක්වූවා. පුංචි මිනිසකු නිසා මට ඒවාට එරෙහි වන්නට අපහසුයි. මම කවදා හරි හිතා ගත්තා හැකි පරිදි අසාධාරණකම්වලට එරෙහිව සටන් කරනවා කියලා.

පසුකාලීනව ඔබ ස්වර්ණවාහිනියට එනවා?

ස්වර්ණවාහිනියෙදි තමයි මට වඩාත් දස්කම්පාන්න ලැබෙන්නේ. වරෙන්තු, හෙළිදරව්ව, කිනිහිර, දේශපාලන සතිය වගේ වැඩසටහන් රැසක සහාය අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කළා. දැන් මහජන සේවය පිණිසයි වැඩසටහන කරගෙන යනවා. එහි නිෂ්පාදක මම.

ඉදිරියේදිත් ඔබ එවන් වූ වැඩසටහන් කරන්නද බලාපොරොත්තු වන්නේ?

ගෙදරින් වැඩි කැමැත්තක් නැහැ. වරෙන්තුව වගේ වැඩසටහන් කරද්දී පොලු පාරවල් කන්නත් වුණා. ඒත් මෙම සමාජ මෙහෙවර නවත් වන්නේ නැහැ. මගේ එකම අරමුණ ජනතාව දැනුවත් කිරීමයි.

මේ වසර ඔබට විශේෂයි?

මෙම වසරේ නොවැම්බර් 25 වැනිදාට මගේ මාධ්‍ය දිවියට අවුරුදු විසිපහක් සපිරුනා. මේ කාලය අතරතුර බොහෝ දුෂ්කරතා වින්ඳා. නමුත් හෙට දවස ගැන සතුටුවන්න හැකියි අතීතය දෙස බලලා.

පවුලේ විස්තරත් සඳහන් කරමු?

මගේ බිරිය ලක්මිණි. පුතා දෙනුවන්. අපි බොහොම සතුටින් ඉන්නවා.

කාවද ඔබට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ?

චන්දන සූරියබණ්ඩාර මහත්තයව විශේෂයෙන් මතක් කරනවා. එතුමා බනිනවා නොසෑහෙන්න. ඒ බැනුම් තුළින් තමයි අපි හැදුණේ. ඒ වගේ ශාන් විජේතුංග, බුද්ධික කුලසේකර, එච්. ඩී. ප්‍රේමරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ වගේ අයවත් මතක් කරන්න ඕනෑ.

මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ?

අපි සෑහෙන්න කට්ටක් කාලා මේ තැනට ආවෙ. නමුත් මා ඒ දුක නවකයින්ට දෙන්නේ නැහැ. ඔවුනට පුළුවන් තරම් උදව් කරනවා. ඒක අපටත් මහත් වූ පිනක්.