වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ටයි එක දාගෙන බීම් එකට දිව්වා

ටයි එක දාගෙන බීම් එකට දිව්වා

නිවේදක නදීක කරුණානායක

හිරු සඳ පායන ලෝකයේ පියකුගේ ආදරය අහිමි වෙන මොහොතක මවකගේ සෙනෙහසේ ආදර උණුසුම දරුවකුට වඩාත් උණුසුම් ලෙසින් දැනෙනවා. මවකගේ උණුසුම නිසාම තම ආදරණිය දරුවා රටම ආදරය කරන නිවේදකයකු කරන්න සිහින දකින්නේ ඇයට නොහැකි වූ අපේක්ෂාව තම පුතාගෙන් හෝ දකින්නට බලා සිටිනවා.

අද අපේ ‘මියුරු සවනට’ එක්වන ඔහු ඒ ආදරණීය මවගේ සිහිනය සැබෑ කළ පුතෙක්.

නදීක කරුණානායක . . . ඔහු රටම හඳුණන දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙක්. නදීකගේ මවගේ සැබෑ නොවුණු ඒ කතාවෙන්ම අපේ පිළිසඳරට මුල පිරුවෙමු.

අපි ජීවත් වෙන්නේ පන්නල. මට මගේ පියා අහිමි වෙන්නේ මට අවුරුද්ක් තරම් කුඩා නොදන්නා වයසෙදි. ඔහු හෘදයාබාධයකින් මිය යන විට අපේ පවුලේ බර අම්මා කරට ගන්නවා. කුඩා කාලයේදී සිදු වූ මේ සිද්ධියත් සමඟයි මගේ ජීවිතය පටන් ගන්නේ. මගේ අම්මා කුඩා කාළේ පටන්ම සිහින මවලා තියෙනවා නිවේදිකාවක් වෙන්න. ගෙදර තිබුණු පොල් කටු අරගෙන පුංචි කාලේ අම්මා නිවේදිකාවක් වගේ කතා කරන කොට අපේ කිරි අම්මා කියනවලු මේ කෙල්ල රේඩියෝ සිලෝන් එකට තමා හොඳ කියා. නමුත් අම්මාගේ විවාහයත් සමඟ ඇයට ඒ සිහිනය සැබෑ කර ගන්න බැරි වුණා. නමුත් මම ඉපදුනාට පස්සේ අම්මාට බැරිවුණු දේ මගෙන් හරි කර ගන්න හිතලා කුඩා කාලේ පටන්ම කථික තරඟවලට, වැඩසටහන්වලට මාව වඩා උනන්දු කළේ මගේ අම්මා. ඒ උනන්දු කිරීමත් එක්ක මගේ තිබුණු හැකියාවට අවස්ථාව උදා වුණා.

එතකොට නදීක ඔයාගේ මාධ්‍ය ජීවිතය පටන් ගන්නේ කොහොමද?

හත වසරේදී සිංහල ගුරුතුමී කතාවක් කරන්න කියද්දී මුළු පන්තියේම ළමයි පස්සට හැරෙන කොට මම ඉදිරියට ගිහින් කතාවක් කළා. ඒ තමයි කථිකයෙක් ලෙස ආරම්භය. ඉන් පස්සේ පන්නල ජාතික පාසලේ උසස් පෙළ පන්තියේදී වානිජ දිනයේ නිවේදකයාවීමේ අවස්ථාව මට ලැබුණා. එදා මට මතකයි අපේ ගුරුතුමී කිව්වා කොයිම මොහොතකවත් වේදිකාව හිස් කරන්න එපා කියලා. වේදිකාවේ වැඩසටහනක් නැතුව යන කොට කියන්න වානිජ ප්‍රවෘත්ති කිහිපයක් මට දීලා තිබුණා. ඒ වැඩසටහන අවසන් වෙද්දී ප්‍රවෘත්ති කියවනවා අහගෙන හිටපු ගුරුවරු කිහිප දෙනෙක් ඇවිත් කිව්වා පුතා ඔයාට ප්‍රවෘත්ති කියන්න හැකියාවක් තියෙනවා.

ඔයා කවදා හරි දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙන් වෙන්න කියලා. ඒ කතාව මගේ හිතේ තිබුණා. ඉන් පසුව ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මාන තරඟයට අයදුම් කරනවා 1996 දී වගේ. ඒ කාලේම අරුන් ඩයස් බණ්ඩාරනායක, හේම නලීන් කරුණාරත්න, එච්. එම් ගුණසේකර, අනෝමා වත්තලදෙනිය, සුජීව හරිස්චන්ද්‍ර, සීලරත්න සෙනරත්, තිස්ස ජයවර්ධන වගේ දැවැන්ත චරිත මට ඒ කාලේදී මුණ ගැසුණා. ඒ චරිත දිහා බලාගෙන මමත් පෙරම් පිරුවා කවදා හෝ නිවේදකයෙක් වෙන්න. ඒ අතරදී මම තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාවක් හැදෑරුවා.

උදේ පාන්දර දුරකතර ගෙවාගෙන ඇවිත් පුදුම කට්ටක් කාලා ඉගෙන ගත්තා. යෞවන සම්මාන දිස්ත්‍රික් තරඟ සැමදාම ජයග්‍රහණය කළා. දවසක් එච්. එම්. ගුණසේකර මහත්තයා මම ගැන අනාවැකියක් කිව්වා රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී. ඒ පාඨමාලාව අවසානයේදී පැවැත්වෙන පරීක්ෂණයේදී මට තිබුණේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟයක නිවේදන විස්තරයක් කිරීමට. ඒ පරීක්ෂණය අවසානයේදී එච්. එම්. ගුණසේකර මහත්තයා මට රූපවහිනී ප්‍රවෘත්ති නිෂ්පාදන ගැන පොතක් අත්සන් කරලා දීලා පුතා ඔයා දවසක හොඳ නිවේදකයෙක් වෙනවා. ඒ නිමිති මට පේනවා, ඔයා ඒ පාරේ යන්න කියලා. එදා මම හිතාගත්තා රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න.

ඒ ආකාරයෙන් මාධ්‍යයට ප්‍රවේශ වන ඔබ දැන් ස්වර්ණවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයා. එතෙක් ආපු ගමන් මඟ කොයි වගේද?

මට මුලින්ම ගුවන් විදුලි සංස්ථාවේ අවස්ථාවක් ලබා දුන්නේ ඇන්ටන් ජයමහ මහත්තයා. ඔහු මාව නිවේදකයෙක් ලෙස බඳවා ගත්තේ ගමේ තිබුණු වැඩසටහනකදී මාව හඳුනා ගැනීමෙන්. අලුතින් විසිර ගුවන් විදුලි සේවය පටන් ගනිද්දී ආරම්භක නිවේදකයකු ලෙස මාව බඳවා ගත්තා. ඒ ඉන්න කාලෙදි තමයි ලාල් හේමන්ත මාවලගේ මහත්තයා අහම්බෙන් මගේ අංකය සොයාගෙන කතා කළේ. කතා කරලා චැනල් අයි නාලිකාවේ සිංහල සේවය පටන් ගන්නවා. කැමැති නම් ඒකේ තිර පරීක්ෂණයට එන්න කියලා. පස්සේ මම ඇහැව්වා මගේ අංකය දුන්නේ කවුද කියලා. එච්. එම්. ගුණසේකර මහත්තයා තමයි අංකය දුන්නේ කියලා කිව්වා. එයින් මමයි ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදක චමින්ද ගුණරත්නයි, නිසංසලා විතාගේ, මධුෂිකා රත්නපාල යන අය තමයි බඳවා ගත්තේ. ඒ කාලේදී එහි සභාපති ශ්‍රීපති සූරියආරච්චි මහත්තයා. ඔය විදිහට තමයි රූපවාහිනියට ආවේ. එයින් අපව ජාතික රූපවාහිනියට දැම්මා.

පස්සේ විදෙස් පුවත් කිව්වා. ඊට පස්සේ මට පූර්ණකාලීනව නිවේදක කටයුතු කරන්න ආසාවක් ඇති වුණා. මම සිරස රූපවාහිනියේ අශෝක ඩයස් හා සංගීත් කලුබෝවිල මහත්වරු මට කතා කළා. මාව තිර පරීක්ෂණයක් නොතියාම ඔවුන් මාව සිරස නාලිකාවට බඳවා ගත්තේ මගේ හැකියාව දන්න නිසයි. ඇත්තට ඒ දෙදෙනා යටතේ තමයි ප්‍රවෘත්ති කලාව නියම ආකාරයට හැදෑරීමක් කරලා ඉගෙන ගත්තේ. එයින් හොඳ පුහුණුවක් ලැබුණා. සමහර දවස්වල මම උදේ 7.00 ට ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තාම සවස 7.00 දක්වා ප්‍රවෘත්ති කියනවා. එයින් හොඳ හුරුවක් අපට දුන්නා. 2002 දී නැවතත් ෂර්ලි අනිල් ද සිල්වා මහතා මට ආරාධනය කළා රූපවාහිනියට නිවේදකයන් බඳවා ගන්නවා එන්න කියලා.

ඒ අනුව නැවතත් රූපවාහිනියට එක් වුණා. එහි අවුරුදු කිහිපයක් වැඩ කරද්දී තමයි ස්වර්ණවාහිනියට යන්නේ. එහිදී රිෆාස් මොහොමඩ් සහ රොස්මන්ඩ් සේනාරත්න මහත්තයා මට එන්න කිව්වා. ඔවුන්ගේ අනුදැනුම මත එකතු වුණු මම දැන් අවුරුදු 11 ක් ස්වර්ණවාහිනියේ කටයුතු කරනවා. මම ඇත්තටම මගේ අවුරුදු 16 ක පළපුරුද්දට කරලා තියෙන්නේ ප්‍රවෘත්ති විතරයි. ඒ ඉලක්කය මට ලබා දුන්නේ සිරසේ අසෝක ඩයස් මහත්තයා. ඒ කාලයේ ප්‍රවෘත්ති නිවේදකයන්ට වෙනත් වැඩසටහන් කරන්න තහනම්. ඒ තරමට ප්‍රවෘත්ති නිවේදකයන් කියන විශ්වාසවන්ත බව අපට ඔහු ගොඩ නැඟුවා.

ඔබේ ඔය කාලයේදී මාධ්‍ය ජීවිතයේ සිදු වුණු අමතක නොවන සිදුවීම් ඇතිනේ?

මට අමතකම නොවන දවස තමයි සුනාමි දවස. මමයි මයුරි අබේසිංහයි ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තේ රාත්‍රී 8.00 ට. ඒ නිවුස් බුලටින් එක ඉවර වුණේ එක දිගට නිව්ස් කියලා රාත්‍රී 10.00 ත් පසු වෙලා. පැය දෙකකට ආසන්නන කාලයක් ප්‍රවෘත්ති කියපු මුල්ම අවස්ථාව. සමහර අවස්ථාවලදී ඇතැම් දර්ශන දකිද්දී අපි දෙන්නටම මැදිරිය තුළ මහා චකිතයක් දැනුණා. මල මිනී, සුන් වූ ගොඩනැගිලි ආදිය පැය දෙක තුළම ගලාගෙන එනවා. කිසිම පිටපතක් තිබුණේ නැතිව ලැබෙන ප්‍රවෘත්ති ඒ මොහොතේ පැය දෙකක් පමණ කිව්වා. මට අමතක නොවන තවත් සිදුවීමක් තමයි ප්‍රභාකරන්ගේ මරණය. එදත් මට කිසිම පිටපතක් තිබුණේ නැහැ. වෙල්ලමුල්ල වයික්කාල්හි ක්‍රිෂාන්ත ද සිල්වා හිටියා. පණිවුඩය ලැබුණු ගමන් මාව තිරයට ගත්තා. විනාඩි 20 ක් විතර කිසිම පිටපතක් නැතුව යුද්ධය ගැන කතා කළා. ඇත්තටම මුලින්ම ඒ ප්‍රවෘත්තිය කිව්වේ අපි.

ප්‍රවෘත්ති මැදිරියේදී වුණු සිදුවීමක් ගැන මතක් කළොත් එක දවසක් මම ප්‍රවෘත්ති කියන්න ආවේ පේදුරුතුඩුවේ සිට. ප්‍රවෘත්ති කිව්ව හරේන්ද්‍රත් එදා වෙනත් රාජකාරියකට දුර බැහැරක ගිහින්. ඒ වෙන කොට අපි දෙන්නා විතරයි පිරිමි අයගෙන් ප්‍රවෘත්ති කියන්නේ. කොහොම හරි වාහන තදබදයකට අහුවෙලා, වාහනය කැඩිලා ලොකු අකරතැබ්බවලට මුහුණ දීලා 7.45 වෙන කොටත් අපි කොළඹට ඇවිත් තිබුණේ නැහැ. මමයි දිනූෂි වෙත්තසිංහ වාහනයේ හිටියේ. ප්‍රවෘත්ති කියන්න හිටියේ රංශී රණසිංහ. නමුත් කොහොම හරි විනාඩි 3 – 4 තියලා ස්වර්ණවාහිනිය ගාවින් බැස්සා. පුදුම අවදානමක්. ආපු වාහනය කොහොම එතනට ආවද කියලා හිතා ගන්නත් බැහැ. එතකොට චමින්ද කරුණාරත්න මහත්තයා ප්‍රධානියා. ඔහු පාර අයිනේ මම එනකල් බලාගෙන ඉන්නවා. මම වාහනයෙන් බැස්සා. මේකප්වත් නැතුව ටයි එක දාගෙන බීම් එකට දිව්වා. එදා දවසේ වචනයක්වත් වරදින්නේ නැතුව ප්‍රවෘත්ති කිව්වේ කොහොමද කියලා මට අදටත් පුදුම හිතෙනවා. එය අත්දැකීමෙන් කරපු වැඩක්.

නදීක ඔබේ පෞද්ගලික ජීවිතේ කොහොමද?

මගේ අයියයි අපි දරුවෝ හතර දෙනයි. පියා මිය ගියාට පස්සේ බාප්පා අම්මාව විවාහ කර ගත්තා. ඔහුට දරුවන් දෙන්නෙක් ඉන්නවා.

එතකොට ඔබ තවමත් විවාහයක් ගැන සිතුවේ නැද්ද?

මම හරිම වෙනස් විදිහකට සිතන කෙනෙක්. ජීවිතයේ වගකීමවලට කැමැති නැති පුද්ගලයෙක්. රැකියාව වගකීමක් ඇති එකක් වුණත් ජීවිතයේ වගකීම්වලට පොඩි බයක් තියෙනවා. ඒක නිසා මම හුදකලාවෙ ජීවත් වෙන්න හරිම කැමැතියි. සමහර විට මම හැමදාම හුදකලාවෙම ජීවත් වෙයි. නැත්නම් පැවිදි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තරමට බුදු දහම මට සමීපයි.

ඔබ ආදරයකින් පැරදුන නිසා ඔය වගේ තීරණයක් ගත්තාද?

ම් . . . ඇත්තටම මම ආදරය කරලා තියෙනවා. ප්‍රේමවන්තයෙක් වෙලා ඉඳලත් තියනවා. නමුත් ආදරය තාවකාලිකයි. අවබෝධ හා නොගැළපීම නිසා ඒවා අතහරින්න සිදු වුණා. මම විවාහය කියන එක දකින්නේ අවබෝධය මත සිදු විය යුතු දෙයක් ලෙසයි. එය ගනුදෙනුවක් කරනවා වගේ සරල කටයුත්තක් නෙවෙයි.

ඔබගේ මාධ්‍ය ජීවිතයේ ලැබූ ජයග්‍රහණ මොනවාද?

දැනට අවස්ථා හතකදී මම ජයග්‍රහණ ලබා තිබෙනවා. සුමති සම්මාන හතර වරක්, රාජ්‍ය සම්මාන තුන් වරක් හා මාස් ලංකා සම්මානය හිමි කර ගෙන තිබෙනවා.

ඔබේ දුරකතන අංකය මොකක්ද?

077-2703766