|
ගෙදර වැඩ මට දීලා රඟපාන එක එයා අරන්
ප්‍රියන්ත සෙනෙවිරත්න කලකට පසු
‘ඈත මෑත සුවඳ දී සැලී ඈතෙන් ඇසෙන්නේ කුඩා දරුවෙක් සර්පිනාවේ තාලයට ගයන ගීතයක්. ඒත් සමඟම ඇසෙන ගිටාරයේ ස්වරය ගීතයට අරගෙන ආවේ නැවුම් අලෝකයක්. තාලයට වැයෙන අත්පුඩියේ හඬ අපට කිව්වේ සාජ්ජයක වගතුග. ඒ සොඳුරු සාජ්ජයට සවන් යොමු කරමින්ම අප ප්‍රියන්ත සෙනෙවිරත්නගේ කැදැල්ලට ගොඩ වැදුණා ඒ සාජ්ජයට බාධා නොකරමින්ම. ‘එන්න එන්න අපට මේ කාලයකට පස්සේ ලැබුණ විවේකයේ පුංචි සාජ්ජයක් දැම්මා’ අපව දුටු විගසම ප්‍රියන්ත සෙනෙවිරත්න සාජ්ජය නවත්වලා ආරාධනා කලේ සුපුරුදු සිනහව මුවඟට නඟමින්. ඔහුගේ අත රැඳුණු ගිටාරය වරක් තාලයට වයමින් ගී පදයක් මිමිනූ ප්‍රියන්ත ගඟන පුතුට ගිටාරය දුන්නා. පුංචි හඟන තාත්තාගේ අතෙන් ගත්ත ගිටාරය වයන්න උත්සාස කරන අතරතුර ප්‍රියන්ත අප සමඟ කතාබහ ආරම්භ කළා. ‘බොහොම අවිවෙකී ජීවිතයක් වගේ ගත කරන්නේ? පුංචි තිරයේ නිතරම වගේ ඔහුගේ රඟපෑම දකින නිසා මා විමසුවා. ‘ඇත්තම කිව්වොත් මට නිවාඩුවක් නොමැති තරම්. ඔයාලා අද එනවා කියලා තිබුණ නිසා ඒ කාර්යබහුල බවට මා තරමක නිවාඩුවක් දුන්නා. නැත්නම් ඉතිං දිගටම වැඩ. මේ දවස්වල විකාශය වන ‘පොඩි මාමා’ වගේම ‘ආදර දෑසක්’ වගේ ටෙලි නාට්‍යවල රූගත කිරීම් තමයි දිගටම තිබෙන්නේ. ඒවා කෙරෙන අතර වේදිකා නාට්‍ය රංගනයටත් සහභාගි වෙන්න මා අමතක කරන්නේ නැහැ.’ ප්‍රියන්ත උගන්වන්නේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ. නිර්මාණකරණය හා තාක්ෂණවේදය කියන විෂය උගන්වන ඔහු සහකාර විදුහල්පතිවරයෙක්. පාසල් කටයුතුත් සමඟ කොහොමද රූගත කිරීම්වලට සහභාගි වෙන්නේ? ‘මම කරන රඟපෑම් කටයුතුවලට පාසලේ සියලු දෙනාගෙන්ම ලැබෙන්නේ ලොකු සහයක්. ඔවුන්ගේ ඒ උදව් නැත්නම් මම කොහේ කියලා නිර්මාණ කටයුතු කරන්නද? ඔවුන්ට ඒ පිළිබඳ මා ස්තුතිය පළ කළ යුතුයි. දවස ආරම්භ වෙන්නේ උදේම අවදි වෙලා පුතාලා වගේම අපි දෙන්නත් පාසල් යෑමෙන්. බිරිය උගන්වන්නේ මරදානේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. ඈ නැවතත් සවස තුන හමාරට පමණ නිවෙසට එනවා. මමත් පාසල ඇරිලා රූගත කිරීම්වලට යනවා. නැවත ගෙදර එනකොට නම් හොඳටම රෑ වෙලා. ඒ අතරතුර ගෙදර සියලු කටයුතු බලා ගන්නේ බිරිය තමයි. ඇයට අදව් වෙන්න ඇගේ අම්මාත්, තාත්තාත් ඉන්න නිසා අපේ වැඩ කටයුතු තරමක් පහසුයි.’ ප්‍රියන්තට ඉන්නේ දුවෙක් වගේම පුතෙක්. දුව පූජානි මානික්යා. ඈ ඉගෙන ගන්නේ හතරේ පන්තියේ. පුතා විරාත් ගඟන. ඔහු ඉගෙන ගන්නේ දෙවැනි පන්තියේ. දෙන්නම යන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසලට.’ මේ අතර මා අසලට ළංවුණු දුවණිය පූජානි වගේම ගඟන පුතාත් සමඟත් කතාබහ කරන්න අමතක කළේ නැහැ. තාත්තා වගේ රංගන ශිල්පියෙක් වෙන්නද කැමැති? ‘මම කැමැතියි තාත්තා වගේ රඟපාන්න’ ගඟන පුතා කටහඬ අවදි කළා. ‘මම කැමැති සංගීතයට’ දුවණිය පූජානිත් හරි හරියට කතාවට එකතු වුණේ කිසිම සබකෝලයක් නැතිවම. ඒ අතර දෙන්නත් එක්කම ගීතයක් ගයලත් පෙන්වන්න අමතක කළේ නැහැ. ‘පුතාට වයලීනය ප්ලේ කරන්න පුළුවන්. දුවට සර්පිනාව වගේම මෙලෝඩිකාව ප්ලේ කරන්න පුළුවන්. දෙන්නම සංගීතයට ප්‍රියයි. මම කැමැතියි ඔවුන් දෙදෙනාම මා ගිය මඟ යනවා නම්. කොහොමත් නිතරම වගේ අපේ ගෙදර ඇහෙන්නේ සංගීත ශබ්ද තමයි. බිරිය සංගීත ගුරුවරියක් නිසා සංගීත පන්ති පැවැත්වෙන්නේ ගෙදරමයි. ඒ නිසා ඒ භාණ්ඩවල හඬ මෙයාලට අරුමයක් නොවෙයි. ඒ වගේ පරිසරයක් ඇති කරන්න මට මුල ඉඳලම උවමනා වුණා. මොකද ළමයින් හැදෙන්න ඕන ඒ වගේ පරිසරයක තමයි.’ තමන්ගේ දියණිය වගේම පුතාත් පිළිබඳ ප්‍රියන්ත බොහෝ දුර හිතුව තාත්තා කෙනෙක්. ඔහුට මුළු ලෝකයම වුණේ තමන්ගේ දරුවෝ දෙන්නා. ඒත් එක්කම බිරිය. ඒ අතරතුර කතාබහට එකතු කර ගන්න අවස්ථාව උදා කර ගත්තේ ප්‍රියන්තගේ බිරිය කාංචනා. ගෙදර සෑම වැඩක්ම කෙරෙන්නේ ඔබගේ සුරතෙන්? ‘ගොඩක් වෙලාවට ප්‍රියන්ත නිවෙසේ ඉන්නේ රාත්‍රියට පමණයි. ඒ නිසා ගෙදර හැම වැඩක්ම කෙරෙන්නේ මගේ අත් දෙකෙන්. මගේ රැකියාවේ කටයුතුත් සමඟ ඒ සියල්ලම පිළිවෙළකට සකසා ගන්න මට පුළුවන්. ප්‍රියන්ත ගෙදර ඉන්න වෙලාවට ගෙදර කටයුතුවලට උදව් වෙනවා. ඔහු වැඩිපුරම කන්න කැමැති රතු බතුයි කොළ වර්ගයි. ඒ නිසා කිරි අඟණ කොළ වැලක්, තෙබු, කතුරුමුරුංගා, කෝවක්කා, කංකුං, මුකුණුවැන්න, මිරිස් පැළ කිහිපයක් තවත් බොහෝ කොළ වර්ග එයා වත්තේම වවලා තියෙනවා. ඒක මට පහසුවක්’ කාංචනාගේ සංගීත පන්තිය වගේම හින්දි පන්තියත් කෙරෙන්නේ මේ වැඩ අතර. ඈ බොහොම දක්ෂ ගෘහණියක්, ගුරුතුමියක්, මවක්. ‘ඉඳල හිටලා දින කිහිපයක්ම ප්‍රියන්ත ගෙදර නැති වුණත් මට කිසිම කරදරයක් නෑ. බයක් නෑ. අපේ අවට ඉන්න අසල්වාසීන් වුණත් අපට නිතරම වගේ උදව් කරනවා. ඒ අය බොහොම හොඳයි.’ මේ සියලු කටයුතු අතර ගෙවන කාලය බොහොම සතුටෙන්, විහිළුවෙන් ගෙවෙන නිසා ප්‍රියන්තගේ කැදැල්ල සතුටෙන් පිරිලා. ටෙලි නාට්‍යවල වගේම විහිළුවෙන්, තහළුවෙන් ගත කරන ප්‍රියන්තගේ ජීවිතය සොඳුරු තෝතැන්නක්. එහි උන්නු පුංචි උන් දෙන්නා තාත්තාගේ සුරතලේට මැදි වෙලා. ඒගොල්ලෝ සුපුරුදු විදියට කරන අලියාගේ පිටේ යන සෙල්ලම පටන් අරගෙන. කාංචනාත් ඒ කණ්ඩායමටම එකතු වුණා. හැමෝගෙන්ම සිනහව එළියට පැන්නේ එකපාරටම. මුළු නිවෙසම සිනහ හඬවල්වලින් ගිගුම් දුන්නා. ඔවුන්ගේ මේ සොඳුරු සෙල්ලම විඳිිමින්ම අප ඔවුන්ට සමු දුන්නා.
|