|
සුදු සඳ රැස් එය නැග එයි ගීතය ගැයුවෙත් ඇයයි
ශිලා පීරිස් සමුගනී
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මිලි මිටර් 16 වර්ණයෙන් නිර්මාණය කළ වෘතාන්ත සිංහල චිත්‍රපටය ලෙස ගම්බද සුන්දරී සළකයි. එසේම චිත්‍රාගාර දර්ශන තලවලින් බැහැරව මුළුමනින්ම මෙරටේ එළිමහනේ රූප ගත කළ පළමු සිංහල චිත්‍රපටය වශයෙන් ද සැකයෙන් තොරව පිළිගත හැකි මෙහි ආ චමත්කාරජනක ජවනිකාවන් අතරේ මහියංගන සිද්ධස්ථානය, වන්නි වැදි ජීවිතය, අස්වැන්න නෙලීම ආදී ගොවි උත්සව, ගම්බද සිරිත් ආදී දර්ශන ප්‍රමුඛස්ථානයක් ගත්හ. මෙම ස්වභාවිකත්වය පසුබිම් කර ගනිමින් රචිත ගම්බද තරුණියක හා නගරබද තරුණයකු වටා ගෙතුණු ගම්බද සුන්දරී චිත්‍රපටයට රංගනයෙන් දායක වූවන් සියල්ලන්ම ආධුනිකයන් වුහ. ඔවුන්ගෙන් ප්‍රධාන නිළිය ඒ වන විටත් සිරිලක පුරා ජනප්‍රිය ගායිකාවකව සිටියාය. ග්‍රැමෆෝන් ගීතයේ ඉහළම හිණි පෙත්තට නැග සිටි නමින් ශීලා පීරිස් වූ ඇය 1928 සැප්තැම්බර් 25 වෙනි දින කොළඹ අටේ බොරැල්ලේ ඉපිද ඇත්තේ හබරළරාළලාගේ ශීලා ශ්‍රීමතී පීරිස් යන නාමයෙනි. බොරුල්ලේ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයේ අධ්‍යාපනය හදාරන කුඩා අවධියේම ශීලා පීරිස් රංගනයට කැමැත්තක් දැක් වූවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට පාසැල් නාට්‍ය වේදිකාවට ගොඩ වීමට ලැබුණාය. ගායනය කෙරෙහි තිබුණු හැකියාව දුටු ඇයගේ සංගීත ගුරුවරයා වන පැරැණි ගායන ශිල්පියකු වූ එම්. කේ. කාරියවසම් ඇගේ ගායනය ග්‍රැමෆෝන් තැටියට නැංවීමට බොහෝ සෙයින් උපකාරී විය. ඒ සාර කෙතේ හා මා වැඩු මාතා ගීතයත් සමඟ. මේ අනුව 40 දශකයේ ශ්‍රාවක රසවතුන් පින වූ ඇය පෙරදා ගැයූ ගීත රාශියක් තවමත් අප මතකයේ නිබඳව රැඳී පවතී. සුදු සඳ රැස්, මා වැදු මාතා, සාර කෙතේ ගොයම් පැසීලා, සිරි සිරි පිරි, රහසක් වේද බඹරෝ ඒ අතරින් කිහිපයකි. කොළොම්බියා තැටියෙන් වඩාත් ප්‍රසිද්ධියක් දිනූ ශීලා පීරිස්ගේ ඊළඟ කලා නවාතැන් පළ වූයේ ගුවන් විදුලියයි. එහි ගීත ගායනයට අමතරව ඇය ගුවන් විදුලි ශිල්පිනියක් හැටියට තමන් සතුව සැඟව තිබුණු තවත් කුසලතාවයක් එළි දැක්වූවාය. 1951 සිට 1972 දක්වා ගුවන් විදුලි රඟමඬලේ චරිත ඇගේ හඬින් ශ්‍රවණය වූයේ එබැවිනි. 1958 දෙබස් කවන ලද සෝභා චිත්‍රපටයේ පසුබිම් හඬ ශිල්පිනියක වීම එහි සංධිස්ථානයකි. 1950 තිරගත ගම්බද සුන්දරී චිත්‍රපටයට පෙර එස්. එම්. නායගම් නිපදවීමට ගිය චිත්‍රපටයක් සඳහා ශිලා පීරිස් තෝරා ගත් වග අතීතයෙන් අසන්නට ලැබේ. ඇය සමඟ සරසවිය පුවත්පත 2010 වසරේ කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳව අනාවරණය කරයි. කඩවුණ පොරොන්දුවෙන් පසු එය නිපද වූ නායගම් සහ නාට්‍ය කණ්ඩායම වන මිනර්වා කණ්ඩායම අතර මතභේදයක් ඇතිවිණ. එවර නායගම් සර්කස් ගර්ල් නමින් අලුත් චිත්‍රපටයක් නිපදවීමට සූදානම් විය. ලැඩී රණසිංහ, එඩී යාපා සමඟ ශීලා පීරිස් ද දෙමළ සිනමාවේ ජනප්‍රිය නිළියක වූ යාපනයේ උපන් තවමනි දේවිය ද එයට දායක විය. එහෙත් චිත්‍රපටය තනද්දී අදාළ චිත්‍රාගාරයට ගිනි තැබීමෙන් එය අතරමග ඇණ හිටිණි. දෙවැනුව තැනුණු අසෝකමාලා චිත්‍රපටයේ රඟපෑමට ලැබුණු අවස්ථාවත් ශීලාගෙන් ගිලිහී ගිය අතර ගම්බද සුන්දරී චිත්‍රපටයේ රූපා නම් ප්‍රධාන කාන්තා චරිතය ලැබුණේ එන්. කේ. කාරියවසම්ගේ යොමු කිරීමෙනි. මෙහි ඔහු පබඳා සංගීතවත් කළ මල් මාලා දාලා, ආලය වේග ඊ සැරයෙන් හා කිංස්ලි ජයසේකර සමඟ ගැයූ ප්‍රේම සාගරේ තරඟ, බොළඳ සිනාවත යන ගීත චිත්‍රපටයෙන් පරිබාහිරව නොඇසුණේ තැටියට නොනැඟුණු නිසාය. එම ගීත රූගත කරද්දීම රඟපෑම ද ගායනය ද එකවර රූප පටිගත කිරීම සිනමාව තුළ එදා මෙදාතුර සිදුව ඇති අසාමාන්‍ය සිදුවීමකි. ගම්බද සුන්දරී මිලි මීටර් 16 ප්‍රමාණයෙන් නිර්මාණය කරන ලදී. එය අධ්‍යක්ෂණය කළේ ජෝර්ජ් එස්. විජේගුණරත්නය. එමෙන්ම එය වර්ණයෙන් තැනුණකි. එය මරදාන ක්‍රවුන් සිනමාහලේ තිරගත විය. 1958 එස්. එම්. නායගම් නිපද වූ සොහොයුරෝ චිත්‍රපටයේ නපුරු කුඩම්මාගේ චරිතය රඟපෑ ශීලා පීරිස් 1960 පිරිමියෙක් නිසා චිත්‍රපටයේ හෙදියක වූවාය. අවසන් වරට වනමල (1960) හා සංසාරේ (1962) චිත්‍රපටවල සැලකිය යුතු චරිත නිරූපණය කළ ඇය වේදිකා නිළියක වශයෙන් නිරූපිත නාට්‍ය භූමිකා රාශියකි. ලැඩී රණසිංහගේ මඟ පෙන්වීම යටතේ සුන්දර බිරිඳ නාට්‍යයේ හාපුරා කියා රඟපෑ ඇය ඉක්බිති ශ්‍රී වික්‍රම රාජසිංහ, කුවේණි, වෙස්සන්තර, සංවත්සර, බකතපස්, දරු දුක, වැදගත්කම ඇතුළු තවත් නාට්‍ය රැසකම රඟපෑවාය. මෙරට මුල්ම ලක්ස් නිළියන් දෙදෙනා අතරින් (අනෙක් තැනැත්තිය රීටා රත්නායකයි) කෙනෙකු වූයේ ද ශීලා පීරිස්ය. ඒ වෙනුවෙන් වසර දෙකක කාලයකට ඇයට මාස තුනකට වරක් ලක්ස් සබන් කෑලි දොළහ බැගින් ලැබිණ. මේ ඔවුනට ලැබුණ ගෙවීමයි. හැරමිටිය නාට්‍යයේ අද සමඟ රංගනයේ යෙදුණ ඩග්ලස් පෙරේරාගේ ප්‍රිය බිරිඳ වී ඔහුට අත්වැලක් වූ ශීලා පීරිස් පසුගිය 19 වෙනි ඉරිදා හිමිදිරි උදයේ ජීවිත රඟ මඬලෙන් නික්ම ගියාය. මිය යන විට ඇය තම සැමියා සහ දරු මුනුබුරන් සමඟ සතුටින් කල් යැවුවාය. ඒ ඇගේ රුව හා හඬ පමණක් අප මතකයේ රඳවා තබාය. ඇයගේ අවසන් කටයුතු ඊයේ එනම් බදාදා සිදු කෙරිණ.
|