වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

ගී පද රචක මාධව හේවාවසම්

මෙවර ‘මතක ගී පොත’ විශේෂාංගයට සහභාගි වන්නේ වර්තමාන අසන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් තරුණ නිර්මාණකරුවෙකි.

හේ මාධව හේවාවසම්ය. ‘ආලෙන් වෙලා ගන්න කෝලම් කළා’, ‘ඔයා හුඟක් වෙනස් වෙලා’ ආදී ඔහු ලියූ හා සංගීතය සැපයූ ගීත කිහිපයකි. ඔහුගේ නවතම ගීතය වන්නේ ගාමිණී සුසිරිවර්ධන ගයන ‘දන්නවද මං දුකින්’ ය. ඔහු සිය අතීතය හා බැඳුණු මතකය ගෙනහැර පෑවේ මෙසේය.

මමත්, මගේ බිරියත් විවාහ වූයේ වසර අටක් ප්‍රේම කිරීමෙන් පසුවය. ඉන් වසර කිහිපයකට පසුව බිරියට පළමු දරු ප්‍රසූතිය සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදු විය. ඒ නිසාම මා මිතුරකු වූ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂගේ සහය ඇතිව ඇයව අපි රාගම පෞද්ගලික රෝහලකට ඇතුළත් කළෙමු.

ඇයව සූතිකාගාරයට ගත් ඒ තත්ත්පර කිහිපය මට දැනුණේ කල්පයක් ලෙසය. වෙනදාට වේගයෙන් දුවන ඔරලෝසුවේ තත්ත්පර කටුව අද එකතැන කැරැකෙන සෙයකි. සූතිකාගාරය ඉදිරිපස කොරිඩෝවේ එහාටත්, මෙහාටත් දහස් වාරයක් ගමන් කළ මා සිටියේ දෙගිඩියාවෙනි. විලිරුදාව දැනෙනුයේ බිරියට වුව ද ඒ හා සමාන වේදනාවකින් මමද දැඩි සේ පෙලුණෙමි.

‘මාධව ඔයාට පුතෙක්’

මා මිතුරා ශල්‍යාගාරයෙන් ඔළුව දමා කී අයුරු මට අද මෙන් මතකය. ඒ වචනය ඇසුණු මොහොතේ, පුතේ මුහුණවත් නොපෙනුණු නුඹ වෙනුවෙන් මගේ හදවතේ උපන් සෙනෙහස ගැන කියන්නට වචන අපේ භාෂාවේ වෙත්දැයි අද ද මට තිබෙන්නේ සැකයකි. මගේ මතකයට පිවිසියේ සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ එන අපූරු කවි පදයකි.
 

‘පුතු සෙනේ මස් නහර හම සිඳ

ඇට සොයා ගොස් ඇට තුළට වැද

ඇට මිදුළු මත රඳා සිට දුක්

දෙයි නිබන්දා’

මගේ ලෙයින් ජනිත වූ නුඹව මගේ දෑතට ගත් මොහොතේ ඇති වූ ඒ සොඳුරු සෙනෙහසේ අරුමය සත්‍ය ලෙසම ඇට මිදුළු දක්වාම ගමන් කරන අයුරු මම සැබවින්ම අත් දිටිමි. නුඹගේ මව් මෙන් ලේ කිරි කර දෙන්නට නුඹට මට නොහැකි වග සැබෑය.

එනමුදු ඒ ස්නේහයේ අරුමයෙන් මගේ ලේ ද කිරට හැරුණු වගක් මට හැඟෙයි. මම නුඹව මගේ ළයට තුරුළු කර ගතිමි. ළයේ උණුසුමට ගුලි වී නිදන නුඹ දෙස මම ඇසිපිය නොසොල්වා බලා සිටින්නට ප්‍රිය කළෙමි.

නිදි දෙව් දුව වැළඳ ගත් නුඹ මොනවාදෝ තොල් මතුරමින් සිනහවක් මුවඟට නඟාගෙන සිහිනෙන් සිනහවන අයුරු මගේ සිතේ ඇති කළේ අපූර්ව හැඟීමකි. කාලය ගෙවී නුඹ ඇති දැඩිව දුව පැන ඇවිදින විටෙක ඒ අතීතය සොයා ඇදෙන සිතේ නැඟෙන සිතුවිලි සමඟ මම අතරමං වෙමි. එවිට මේ ගීතය නිතර මම මුමුනන්නට පුරුදු වී සිටිමි.


අම්මා සඳකි නුඹ ඒ ලොව හිරුය රිදී

ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණි

රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී

පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී
 

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ

කුසයේ නොදැරුවත් දිවිබර මට දැනුණේ

මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ

පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ
 

මවකට මුවා වී නුඹ හට දිවි දුන්නේ

මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ

පිය සෙනෙහස නැති ද දරුවනි හඳුනන්නේ

අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ

 

පද රචනය – මාලනී ජයරත්න

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය – ටී. එම්. ජයරත්න

 

 

මේ ගීතය ලියැවී තිබෙන්නේ මවකගේ දෑතකින් වීම ද අරුමයකි. පියකුගේ සුරතකින් ලිය විය යුතු ගීතය මවකගෙන් ලියැවුණ ද පියෙකුගේ සිතෙහි රජයන ඒ සිතුවිලි දාමය මනා අයුරෙන් පසක් කර ගැනීමට මාලනී ජයරත්නයන් පෑ සමත්කම අප අගය කළ යුතුය. ඒ පදවලට සරිලන අයුරෙන් තැනුනු සංගීතයත්, ඒ පද හා සංගීතයටම මනා අයුරෙන් සුසැඳෙන මියුරු ස්වරයත් නිසා ගීතයේ අර්ථය ඔස්සේ අප හදවතට රැගෙන පැමිණෙන්නේ අපූරු හැඟීමකි. ඒ හැඟීම මතම සැරිසරමින් තවත් බොහෝ දේ සොයා මේ ගීතයත් සමඟ සිත මගේ මතකයෙන් ඈතට ගමන් කරන්නේ නිතැතිනි.

ඒ මොහොතේ මගේ මතකයට නැඟෙන්නේ මගේ ළමා වියයි. ඒ සොඳුරු ළමාවියේ මගේ මව හා පියාගෙන් මා ලද අපූරු සෙනෙහසයි. හම්බන්තොට දිවි ගෙවූ අපට ඉන් කොළඹටත්, කොළඹින් කුණ්ඩසාලේ කාර්මික ජනපදයටත් එන්නට සිදු වන්නේ පියාගේ රැකියාව නිසාය. කාර්මික ජනපදයේ සුපිරින්ටන්ඩන්ට්වරයකු ලෙස සේවය කළ ඔහුට නිල නිවාස ලැබුණෙන් අපි එහි පදිංචි වීමු.

මිහිදුම් කුමරිය සිය සුදෝ සුදුවන් සේලය කඳු මුදුන් මත විහිදුවා හිරු නැගෙන අලුයමේ හිරුට බියෙන් මෙන් වසන් වෙයි. ඒ වසන් වෙන මොහොතේ ඇයට අමතකව ගිය සේලය තවමත් කඳු අතරය. විවර කර ඇති කවුළුවෙන් ගෙට ගෙවදින සිහිල් සුළඟේ සීතල මගේ ගත හිරිගඩු නංවයි. මා තව තවත් යහනාවේ පොරෝනයට ගුලි වන්නේ ඉන් වැළකෙනු පිණිසය.

‘පුතේ නැඟිටින්න දැන් ඉස්කෝලේ යන වෙලාව හරි’’

අම්මාගේ හඬ මට ඇසෙන්නේ සිහින ලොවකින් කොඳුරන සුරඟනකගේ කියුමක් ලෙසය. එකල පටන්ම දැඩි සේ මා ප්‍රිය වූයේ සංගීතයටය. මා අවට වූ මේ සොඳුරු පරිසරය ද ඒ මගේ සිතේ වූ හැඟීම තීව්‍ර කළේ යැයි අද මට සිතෙයි. අප ගමට පිවිසිය යුත්තේ වික්ටෝරියා ජලාශය මැදිනි. පායන කල මෙන් නොව වහින කලට වික්ටෝරියා ජලාශය පිරී ඉතිරෙන්නේ අප ගමන් කරන මාර්ගය දෙපස අසලටම පැමිණය.

ජලය පිරුණු ජලතලය මත තිබෙන මාර්ගය එවිට අපට පෙනෙන්නේ අපූරු සුන්දරත්වයක් ගත් මඟක් ලෙසය. පාසල් යන්නට ඒ මඟ දිගේ පිය නඟන මම ජල තලය කණ්ඩියේ වැදී නඟන ගීතවත් හඬට සවන් දෙන්නට ද අමතක නොකරමි.

සංගීතයට ඇති මගේ ළැදියාව මගේ නිවැසියන්ට ඇසේ කටු අනින්නා සේය. එය මා අධෛර්යමත් කිරීමට කාරණයක් නොවීය. නාහෙට නාහන කොලු ගැටයෙක් වූ මම එහි සිටි කලෙක කළ දඟකාරකමක් මගේ මතකයට නැඟේ.

කොළඹ සිටි කළ සංගීතයට තිබුණු මගේ ආශාව නිසාම මම සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් වී සිටියෙමි. ලීඩ් ගිටාරයක හිමිකාරයෙක් වූ මම එහි ලීඩ් ගිටාර් ශිල්පියෙක් වීමි. කුණ්ඩසාලයට ගිය ද ඔවුන් සමඟ මගේ මිතුරුකම අමතක නොකරන්නට මම වග බලා ගතිමි.

හදිසියේම දිනෙක ඒ සංගීත කණ්ඩායමේ මිතුරෝ කිහිප දෙනෙක් මා සොයා ආවේ ප්‍රසංගයක් සඳහා මා රැගෙන යෑමටය. එහෙත් තාත්තා ඔවුන් පන්නා ගත්තේ බැණ අඬ ගැසීමෙනි. ඊට පසු දින පෞද්ගලික පන්තියට යන අයුරෙන් මා කොළඹ පිවිසියේ මිතුරන්ගේ කටයුත්තට සම්මාදම් වීම උදෙසාය.

සවස් වන විට මා ගෙදර නොපැමිණියෙන් අම්මාත්, තාත්තාත් කොතරම් කලබල වීද යත් පොලිසියට දැන්වීමට තරම් කාරණය දුර දිග ගියේය. මා කොළඹ ගිය වග මල්ලීගෙන් අසා දැනගත් ඔවුන් පොලිස් මැසේජ් එවා කොළඹ සිටින වග තහවුරු කරගෙන තිබුණි.

පසුදින පෞද්ගලික පන්තියටද සහභාගි වූ මා නිවෙසට ගියේ කලින් දිනයේ කිසිවක් සිදු නොවුණු අයුරෙනි. එහෙත් ඒ සියල්ල අම්මාත්, තාත්තාත් දන්නා බවත්, මා නැති නිසා සිදු වූ ඇබැද්දියත් මට කිව්වේ මල්ලී ය. එවැනි දඟකාරකම් කළ මා අද සංගීත ශිල්පියෙක් ලෙස කිරුළ පලඳින්නට හේතු වන්නට ඇත්තේ ඒ අතීතයේ වූ සිදුවීම් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මර්වින් පෙරේරා ගයන, ප්‍රේමකීර්ති ද අල්විස් නම් සොඳුරු ගේය පද රචකයා පද බඳිනා ලද මේ ගීතය මා රැගෙන යන්නේ අතීතයේ එක් දවසක් වෙත ය.
 

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රැළි පෙර සේම බිඳෙනවා

නුග ගස් පෙළ අප නැතිවත් තව දළුලනවා
 

සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න සිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

සිඟිති පුතා ඇතැඟිල්ලක එල්ලී එනවා
 

ඒ කාලේ පෑතූ පැතුම් යළි සිහි වෙනවා

ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා
 

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය – මර්වින් පෙරේරා

ගායනය – මර්වින් පෙරේරා

 

 

මේ ගීතය මට සිහිපත් කරන්නේ මගේ යොවුන් අවධියයි. මගේ සිත ගත් ඈ ඉරෝෂා ය. ඇයව මට මුණ ගැසෙන්නේ හම්බන්තොටදී වුවත් අප දෙදෙනාගේ සොඳුරු ප්‍රේමය ආරම්භ වන්නේ කුණ්ඩසාලේදි ය. කුඩාකල පටන්ම අප එකිනෙකාට ආගන්තුක නොවූව ද, අප ඇති දැඩි වූ අයුරෙන්ම දෙදෙනාගේ සිත්වල රැඳි ප්‍රේමය ද යෞවන වියට පා තබනවාත් සමඟ දලු ලා වැඩුණා යැයි මට සිතෙයි.

එය වැඩිහිටියන්ට හෙළි වූදා දෙපාර්ශවයෙන්ම යුද්ධ ප්‍රකාශ කළ අයුරු මගේ සිහියට නැඟෙයි. අධ්‍යාපනයට වැඩි කැමැත්තක් නොදැක්වීමත්, සංගීතයට දැඩි කැමැත්තක් දැක්වීමත් නිසා මා පිළිබඳ ඔවුන්ගේ සිත්වල තිබුණේ වැඩි පැහැදීමක් නොවේ. මගේ නිවැසියන් මෙන්ම ඔවුන් ද මාව පිටු දැක්කේ නොසිතූ විරූ ලෙසිනි. එනමුදු අපේ සිත්වල නැඟුණු ප්‍රේමය අපි එලෙසම රැක ගත්තෙමු. ඔවුන්ට හොරෙන් අපි අපේ ප්‍රේම ලෝකයේ සැරිසැරීමු.

බොහෝ දිනවල අපි හමු වූයේ නුවර වැව රවුමේය. අත්වැල් බැඳගත් අපි නුවර වැව රවුමේ ඇවිද යමින් පෙම්බස් මිමිනුවෙමු. නෙසැලෙන ඉන්ද්‍රඛීලයක් සේ හන්තාන කඳු පෙළ අපගේ පෙම්බස් අසා සිටියේ ගොළුවෙකු සේය.

පේරාදෙණිය සරසවිය දෙපස වූ තුරුලතාවෝ අපගේ ප්‍රේමයට පවන් සලන්නාක් මෙන් සෙමෙන් සෙල වෙයි. මැයි තුරු පෙළේ මල් බිම වැටී තිබෙන්නේ අපට පාවඩ දමන්නාක් සේය. ඒ මැදින් අපි සෙමෙන් පා තබා ඇවිද ගියෙමු. අපි අවට වූ ඒ සොඳුරු චමත්කාරය විඳ ගතිමු.

පාසල් අවධියෙන් පසු ඈ කොළම්පුරවරයට සෙන්දු වූයේ රැකියාවක් සඳහාය. ඒ අතර මට ද කොළොම්පුරවරයට පිවිසෙන්නට ඉඩහසර පෑදෙන්නේ අහම්බයෙනි. ඒ අහඹුව අපගේ ප්‍රේමයට සොඳුරු තෝතැන්නක් නිම වූයේ අප දෙදෙනාම නොසිතූ අයුරෙනි. කාලය ගත වී ගියේ ඉබේමය. වැඩිහිටියන්ගේ ආශිර්වාදය මැද අපි විවාහ ගිවිස ගතිමු.

පසුගිය දිනෙක මා, බිරිය හා පුතු සමඟ දළදා මාලිගාව වඳින්නට ගියේ මව්පියන් බලා එන ගමනේදීය. නිතර ආ ගිය දළදා මාලිගාවත්, නුවර වැවත්, ඒ අවටත් තරමක් වෙනස් වී ඇති බව සැබෑවකි.

එහෙත් අප හමු වූ ඒ නුවර වැව අසල වූ විසල් රුක එලෙස අතුපතර විහිදා නුවර වැව දෙසම බලා සිටී. වෙනෙසකට ඇත්තේ එය තරමක් වැඩී ඇති බවකි. හරියටම අප විවාහපත්ව වැඩිහිටියන් බවට පත්ව ඇතිවා මෙනි.