වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




දිගු ගමනක් යන දිල්කි

දිගු ගමනක් යන දිල්කි

වැහිලිහිණි, වරාමලී, හුස්ම හා ඔක්සිජන්, සිත්තරාවී හා කෝපි කඩේ යන ටෙලි නාට්‍ය හරහා රංගනයට පැමිණි ඇය දිල්කි ලියනගේ. රංගන ශිල්පිනියක නිවේදිකාවක හා ලේඛිකාවක ලෙස කලා ලෝකයේ ඉදිරියට යන ඇය කොටහේන උසස් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි.

“මම පාසල් කාලයේ නර්තනයටත් ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂයි. පාසල් වේදිකාව මට රංගනයට එන්න මුල් අඩිතාලම දැමුවා. මම රංගන ශිල්පිනියක් වෙන්නේ අහම්බයකින්. ඒ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. මුලදි රංගනයට මගේ එතරම් කැමැත්තක් තිබුනේ නෑ. නමුත් දැන් ගොඩක් කැමතියි. මම කලක් නුගේගොඩ පෞද්ගලික පාසලක විශේෂ අධ්‍යාපන හා උපදේශන ගුරුවරියක් ලෙස වසර පහක් පමණ සේවය කළා. ඒ අවධියේදී තමයි මට කලා ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. ඒ වැහිලිහිණි ටෙලිනාට්‍යයයෙන්.

ඊට පසුව නාට්‍ය කිහිපයකත් වෙළඳ දැන්වීම්වලත් මම රංගනයෙන් එක් වුණා. මේ දිනවල මම රඟපාන සබඳ බබානිස් ටෙලි නාට්‍ය විකාශනය වෙනවා. ඉදිරියේ මම රංගනයෙන් දායක වූ කුමාරිහාමි ඇහැළේපොල ටෙලිනාට්‍යය විකාශය වෙන්න තියෙනවා. එහි මම රඟපාන්නේ හබුලිනා කියන තලතුනා කාන්තාවකගේ චරිතයක්. මීට අමතරව චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා.”

මොස්තර නිරූපිකාවක් ද වන දිල්කි නිවේදන ක්ෂේත්‍රයට මෙන්ම ලේඛන කලාවටද දස්කම්පායි. ඇගේ කුළුදුල් නවකතා පොත අනුත්තරා යි. පසුගිය සැප්තැම්බර් මාසයේදී එය එළි දැක්විණි.

“අනුත්තරා නවකතාව ලේඛිකාවක ලෙස දිගු ගමනක් යන්න මට විශාල පිටුබලයක් වුණා. තරු ඇස් හා නිල්දිය පවුර මම ලියලා ඉවර කළ අනික් පොත් දෙක ලබන අවුරුද්දේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. තීර්ථ හා අරුන්දති කුමාරිහාමි කියන නවකතා දෙක මම තවම ලියමින් සිටින්නේ.

875, ශාන්ත රීටා මාවත, වැලිගම්පිටිය, ජා ඇල දිල්කිගේ ලිපිනයයි. අම්මාත්, තාත්තාත් සොයුරියන් දෙදෙනාත් ඇතුලු පවුලේ සැම ඇගේ කලා ගමනට ශක්තියකි.

“මගේ පවුලේ සියලු දෙනාට වගේම මට මුලින්ම රංගන ජිවිතයට පැමිණීමට අවස්ථාව ලබාදුන් කිත්සිරි හේවගේ මහත්මයාටත්, හැරී විමලසේන හා නන්දලාල් යන මහත්වරුන්ටත් මගේ ස්තූතිය පිරිනමන්න ඕනේ. ඒ වගේම මගේ ලේඛන කටයුතුවලට උපකාරකරන අසංක විජේවර්ධන දිල්රුක්ෂි ගමගේ හා මට මාධ්‍යයේදි, ටෙලිනාට්‍යවලදී උපකාර කළ සැමටත් ස්තුතිය පුදකරනවා.“