|
රුක්මණී ගැන ඇත්ත කතාවක්
ඩේසි රාසම්මා ඩැනියල් හදිසි අනතුරකට ගොදුරුව මියගොස් මේ විසි අටවැනිදාට අවුරුදු තිස්හයකි. හල්පේ ලියනගේ මොරිස් ජෝසප් ද සිල්වා මියගොස් මේ විසිනව වනදාට අවුරුදු දහතුනකි. ඩේසි රාසම්මා ජීවත් වූයේ අවුරුදු පනස්පහකි. මොරිස් ජෝසප් ජීවත් වූයේ අවුරුදු හැට එකකි. මේ නම් යුගලම අපේ සිනමාවේ අතිශය කීර්තිමත් සිනමා තාරකාවන් යුගලකගේ සැබෑ නම්ය. ඩේසි රාසම්මා ට අපේ රසිකයන් ආදරය කළේ රුක්මණී දේවි යනුවෙනි. මොරිස් ජෝසප් රණබාහු යනුවෙන් හැඳීන්වූයේ ෆ්‍රෙඩී සිල්වාය . ලාංකික කතානාද සිනමාවේ මුල්ම නිළිය සහ ගායිකාව ලෙස කිසිවෙකුට බිඳ නොහෙලිය හැකි වාර්තාවක් රුක්මණී දේවි තැබුවාය. “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටයේ මුල්ම ජවනිකාවේ පෙනී සිටිනුයේ එහි නිෂ්පාදක එස්.එම්. නායගම්ය. අනතුරුව රිදී තිරය මත දිග හැරෙනුයේ රුක්මණී ගේ රූපයයි. එහි ‘රංජනී’ නම් ඇය සිය පියාගේ මිනී වළ මත වැතිර ශෝක ගීතයක් ගායනා කරනු ලැබේ. එබැවින් මුල්ම ජවනිකාවේම නිළිය,ගායිකාවක ද ලෙස වාර්තාවක් තබන්නට රුක්මණී සමත් වෙයි. මුල් යුගයේදී රුක්මණී දේවිය ලද අතිශය ජනප්‍රියත්වය හා සම කළ හැකි කිසිවෙක් නොවූවාය. ඒ අවධියේ ඈ ඉතා ඉහළ සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ බව පැරැන්නෝ පවසති. ඇය සහ ඇගේ ආදරණීය සැමියානන් වූ අපේ සිනමාවේ මුල්ම විකට නළු එඩී ජයමාන්න ජීවත් වූ මීගමුවේ ජයරුක් නිවස කාලයේ හැටියට මාලිගයක් ලෙස බොහෝ අය පවසති. ඔවුන්ගේ කීර්තිමත් අවධියේ මේ මන්දිරයේ නිතර ප්‍රිය සාද පැවතුන බව එකල එඩී රුක්මණී යුවළ සමීපව ඇසුරු කළ කිහිපදෙනෙක්ම මා සමඟ පැවසූහ. රුක්මණී ධනයෙන් සහ කීර්තියෙන් ආඪ්‍යව සිටි එම සමයේ ඇගේ නිවහන සහ ගෙවත්ත ඉතා විසිතුරු ලෙස රැකබලා ගත් සේවකයාට මොරිස් මයිනර් කාරයක් තෑගි දුන් වග මා අසා ඇති කරුණකි. ඒ අවධියේ මීගමුවේ අඟුරුකාරමුල්ල පන්සල වඳීන්නට යන සැදැහැවතුන් ඒ එන අතරමඟ ජයරුක් නිවහනට ගොඩවී රුක්මණී දැක බලා ගන්නටද අමතක නොකළ වග ප්‍රසිද්ධ කරුණකි. රුක්මණී ලද ජනප්‍රියත්වය අපේ කතානාද සිනමාව ආරම්භ වී දශකයක් පමණ වනතුරු රැදී පැවතිණි. එහෙත් කාලයත් සමඟ වෙනත් අතිදක්ෂ නිළියන් සිනමාවට පිවිසීමත්, චිත්‍රපට පසුබිම් ගායනය වෙනත් විෂයයක් බවට පරිවර්තනය වීමත් සමඟ රුක්මණීගේ ස්වර්ණමය යුගය අහිමි වූ වග නොරහසකි. වේදිකාවෙන් සිනමාවට පිවිසි රුක්මණීගේ යුගය වෙනුවට සිනමා තාරකාවන් ලෙස කිරුළු පලන් ෆ්ලෝරීඩා ජයලත් ද අනතුරුව තවත් සිනමා තාරකාවෝ ද රුක්මණී ලද ජනප්‍රියත්වය හෙමිහිට ඩැහැ ගත්හ. හැත්තෑව දශකය ආරම්භ වන විට චිත්‍රපට නිෂ්පාදකවරුන් රුක්මණීව යොදා ගත්තේ මව් හෝ අතුරු චරිතයන්ට ය. කලක් යත්ම ජයරුක් නිවහන ද ඔවුන්ට අහිමි විය. මේ සිදුවීම් ලියන්නේ රුක්මණී දේවි පිළිබඳ කිසිඳු ආකාරයක අපහාසයක් කරන්නට නොවේ. සැබෑ යථාර්ථය හෙළිදරව් කිරීමක් පමණි. රුක්මණීගේ මරණය මගේ මව්පියන් ඇතුළු රසිකයන් මහත් කම්පනයට පත් කළ සිදුවීමක් විය. එහෙත් ඒ වන විට රුක්මණී යනු ගැටවර වියේ පසු වූ මා වැන්නන්ගේ සිනමා තාරකාව නොවූවාය. කෙසේ වෙතත් මුල්ම සිනමා නිළිය හා ගායිකාව ලෙස මුළු සිනමා ක්ෂේත්‍රයම, සෑම කෙනෙක්ම අතිශය ගෞරව කළහ.එමෙන්ම ජනප්‍රියත්වය කොයිහැටි වෙතත් මුළු මහත් සිනමා ක්ෂේත්‍රයේ සෑම කෙනෙක්ම ගෞරවනීය කාන්තාවක් ලෙස ආදරය දිනා ගන්නට රුක්මණී ජීවත්ව සිටි සමයේම වාසනාවන්ත වූවාය. රුක්මණී පිළිබඳ තිබූ අප්‍රමාණ ගෞරවය කෙතරම්දැයි මට ඉතා හොඳීන් පැහැදිලි කර දුන්නේ සිනමා සක්විති ගාමීණී ෆොන්සේකාය ය. 1978 ඔක්තෝම්බර් 28 වෙනිදා උදෑසන මීගමු පාරේදී සිදුවූ මාරක රිය අනතුරකට ගොදුරුවූ රුක්මණී, ජීවත් වූ නිළියට වඩා එකවර ජනප්‍රිය විය. කෙමෙන් අමතකව ගිය රුක්මණී වඩා හොඳීන් ජීවත් වන්නට පටන් ගත්තේ එයින් පසුවය. මගේ ජීවිතයේ මා දුටු විශිෂ්ටතම වාර්තා චිත්‍රපටයක් වූයේ තිස්ස අබේසේකරයන් නිර්මාණය කළ “රූප චායා” චිත්‍රපටය ය. රුක්මණීගේ මරණය සිදුවූ සමයේ වෙනත් චිත්‍රපටයක් නරඹන අතරතුර අහම්බයෙන් දුටු රූප චායා රුක්මණී පිළිබඳ මසිත ඇති කරන ලද්දේ අප්‍රමාණ කම්පනයකි. නිළියක ගායිකාවක ලෙස රුක්මණී ලද අප්‍රමාණ ගෞරවය මේ වාර්තා චිත්‍රපටය හරහා ඉස්මතු කර තිබිණි. රුක්මණීගේ මරණයත් සමඟ ඒවන විටත් ඇය වටා සිටි රසිකයෝ ඇය යළි ජීවත් කරවන්නට උත්සාහ කළහ. ජීවත් වූ රුක්මණීට වඩා මියගිය රුක්මණී බලවත් වූ බැවින් දෝ එතෙක් අමතකව ගිය බොහෝ ගීත වෙනත් ගායක ගායිකාවන්ගේ හඬින් රුක්මණීට උපහාර ලෙස යැයි කියමින් ගායනා කෙරිණ. රුක්මණී සිහිකරන්නට විවිධ ආයතන, සංගම් පැටව් ගසන්නට විය. මේ ඇතැම් අය රුක්මණී දැක තිබුණාද යත් කියන්නට සැකය. කෙසේ හෝ වේවා තිස්අට වසරක් මුළුල්ලේ ඇය සිහිපත් කරන්නට මේ ඇතැම් සංගම් නිසා හැකිවිය. මෙරට බොහෝ කලාකරුවන් සිහිපත් කරන්නේ ඔවුන් ජීවත්ව සිටි සමයේ කළ විශිෂ්ට මෙහෙවර සලකා නොව ඔවුන්ගේ දූදරුවන්ට හා නෑදෑයන්ට ඇති පෞද්ගලික උනන්දුව හා කැපවීම මතය. එක් අතකින් එය පුදුමයට කාරණාවක්ද නොවේ. මව්පියන් පවා මියගිය පසු සිහිපත් කරන්නේ සාමාන්‍යයෙන් කීයෙන් කීදෙනාද?. ලෝකයේ වෙනත් රටවල් නම් මේ කාරණාව එතරම් සැලකිල්ලට ගන්නේ නැත. අප හැමවිටම කලාකරුවන්ට සලකනවා යැයි සිතා සිටින ඉන්දියාවේ තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. රාජ් කපූර් හෝ සත්‍යජිත් රායි වැන්නවුන් හෝ එලෙස වාර්ෂිකව සිහිපත් කරමින් පුවත්පතක හෝ ලිපියක් පළ වන්නේ නැත. ලොව හැමවිටම කෙනෙකුගෙන් ගිලිහෙන යතුර ලබාගන්නට තවකෙකු රැදී සිටින හෙයිනි. එසේ නොවන්නේ නම් මේ ලෝක චක්‍රය ඉදිරියට යන්නටද ක්‍රමයක් නැත. බොහෝ විට අතීතයේ ජීවත්ව සිටින කලාකරුවකු සිහිපත් කරන්නේ ඔහු හෝ ඇය පිළිබඳව ගෞරවයට වඩා එමගින් ලබාගත හැකි අතිරේක ජනප්‍රියත්වය සලකාගෙනය. මන්නාඩේ හෝ මොහොමඩ් රාෆිගේ හෝ උපහාර කරමින් ඉන්දියාවේ අලුත් පරම්පරාවේ ගායක ගායිකාවන් ගී ගයන්නේත් අපේ ජෝතිපාල හෝ රුක්මණී දේවි වෙනුවෙන් උපහාර කරන බහුතරයක් ඒ ගොන්නට දාන්නට මම මැළි නොවෙමි. එහෙත් ඔවුනට ඇත්තටම ආදරය කරන කිහිපදෙනාට මෙයින් හිත් වේදනාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව මම උදක්ම කනගාටු වෙමි. රුක්මණී දේවි නමැති නිළිය හෝ ගායිකාව පිළිබඳ සඳහන් විය යුතු වැදගත්ම කරුණ නම් ඇය විසින් කලා ලෝකයට පිවිසීමට ගන්නා ලද නිර්භීත තීරණය නොවන්නට අපේ නිළි පරම්පරාවේ ඉතිහාස කතාව වෙනස් වෙන්නට ඉඩ තිබිණ. රුක්මණී මෙන්ම එයට පෙර වේදිකාවට පිවිසි ඇනී බොතේජු , ලක්ෂ්මි බායි වැනි රංගන ශිල්පිනියන්ට ද මගේ ප්‍රණාමය හිමි වේ. එයටපෙර කාන්තාවන් රංගනය සඳහා පිවිසියේ නැත. බොහෝ විට කාන්තා චරිත රඟපාන ලද්දේ පිරිමින් විසිනි. මේ පිළිබඳ අපූරු කතාවක් ඉන්දියානු සිනමාවේ ආරම්භයේදී සඳහන් වෙයි. මුල්ම ඉන්දියානු චිත්‍රපටය වූ රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව සඳහා කාන්තාවක් සොයා ගැන්මට එහි නිර්මාතෘ වූ දාදා සහබ් පාල්කේ නොගත් වෙහෙසක් නැත. ඔහු බොම්බායේ ගණිකා මඩම් කරාගොස් එහි සිටි රූමත් ගණිකාවක හෝ චිත්‍රපට රංගනයට යොමු කිරීමට උත්සහා කළේය. එහෙත් නිළියක වීමේ අවමානය විඳීන්නට ඔවුන් හෝ කැමැති නොවීය. අවසානයේ මුල්ම චිත්‍රපටයේ නිළියගේ චරිතය රඟපාන ලද්දේ සලුන්කේ නැමැත්තෙකි. කඩයක තේ හදමින් සිටි සලුන්කේ පිරිමියෙක්ද ගැහැනියක්ද නොවන තැනැත්තෙකි. ඉන්දියානු සිනමාවට දායක වන මුල්ම කාන්තාව වන ‘කමලා බායි’ කමත් පාල්කේගේ දෙවන චිත්‍රපටය වන “භශ්මසූර් මෝහිනී” හරහා සිනමාවට දායක වේ. ඈ රඟපාන්නේ චිත්‍රපට දෙකක පමණි. මෙයට වසර ගණනාවකට පෙර ඇය මියගිය පුවත ඉන්දියා පුවත්පතක ඉතා කුඩා ප්‍රවෘත්තියක් ලෙස සඳහන් වී තිබිණි. ඉන්දියාවේ තොග ගණනේ පළවන කිසිදු සිනමා සඟරාවකට හෝ කමලා බායි කමත් වැදගත් වූ වගක් නොහැගවිණි. එමෙන්ම කේරළ සිනමාවේ මුල්ම නිළිය වූ “ප්‍රේමා” සිය ආත්මයෙන්ම වන්දි ගෙව්වාය. විගත කුමාරන් නමැති මුල්ම කේරළ චිත්‍රපටයේ රඟපෑමේ වරද දුටු කුලවතුන් චිත්‍රපටය තිරගත වූ දාම ඇඟේ කුඩා පැල්පත ගිනිතබා, පියා ඝාතනය කොට ඇය දරුණු අතවරයට ලක් කරන ලදී. මේ අසල්වැසි ඉන්දියාවේ එදා තත්ත්වයයි. මේ තරම් දරුණු ප්‍රවෘත්ති වාර්තා නොවුනද ලංකාවේ පවා රඟපෑමට පිවිසි මුල්ම කාන්තාවන් දෙස බොහෝ දෙනා බැලුවේ හොඳ ඇහැකින් නොවේ. රුක්මණී දේවි වැන්නියන්ට මුලින් ම වෙනස් කරන්නට සිදුවූයේ එකී සමාජ ආකල්පය. රඟපෑම යනු ඉතා ගැඹුරෙන් හැදෑරිය යුතු විෂයයක් හෝ මනා ශික්ෂණයකින් කළ යුතු කාර්යයක් යැයි බොහෝ දෙනා නොදත්හ. අද ද එහි යෙදෙන බොහෝමයක් එය එබදු විෂයයක් යැයි දන්නවාදැයි මා දන්නේ නැත. එය වෙනම කතාවකි. එහෙත් රුක්මණී දේවි තම විෂයය කෙරෙහි මනා කැපවීමකින් හා ශික්ෂණයකින් යුත් කාන්තාවක් බව ඇය ඉතා සමීපව ඇසුරු කළ බොහෝදෙනා පවසති. ඉතා මෑතක ඉන්දියානු සිනමාවෙන් ලාංකික සිනමාවට සිදු වූ බලපෑම කවරේදැයි විශ්වවිද්‍යාලයක ප්‍රශ්න පත්‍රයක අසා තිබිණ. සිසුවකු එයට දුන් පිළිතුරක සඳහන් වූයේ මෙබන්දකි. අපේ සිනමාවට ඉන්දියාවෙන් ලද බලපෑම කෙතරම්ද යත් ඉන්දියානු නිළියක වූ රුක්මණී දේවි සිංහල චිත්‍රපට සඳහා රංගනයෙන් හා ගායනයෙන් දායක වූ වග ඔහු සඳහන් කර තිබිණි. මේ උත්තරය දකින ඔබේ හැඟීම කවරෙක්දැයි මා දන්නේ නැත. මා නම් කළේ හිස අතගසා ගැනීම ය. වසර තිස් නවයක් මුළුල්ලේ අවම වශයෙන් ඔක්තෝම්බර් මාසයේවත් රුක්මණී පිළිබඳ සටහනක් නොලියන්නට තරම් මෙරට මාධ්‍ය අකෘතඥ වී නැත. කොටින්ම ඉන්දියානු මාධ්‍ය කමලා බායි කමත්ට සැලකූ ආකාරය අප කිසි සේත් ඉගෙනගත්තේ නැති නිසාය. |