වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මවක් වෙන්න ආසයි - කලාව හින්දා පස්සට යනවා

මවක් වෙන්න ආසයි - කලාව හින්දා පස්සට යනවා

අප රටේ නව පරපුරේ නිළියන් අතර අභියෝගාත්මක චරිත බාරගන්නියෝ සිටීනම් ඒ ඉතා සීමිත ප්‍රමාණයකි. සුලෝචනා වීරසිංහ ද එම අතළොස්සට අයිති රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වා දුනහොත් මා නිවැරදිය.

නිකිණි වැස්ස සිනමාපටයේ ඇය කළ චරිතය ඊට හොඳම උදාහරණයයි. එමෙන්ම කෙටි චිත්‍රපට රැසකින්ම සුලෝචනා තම නිසඟ රංගන කුසලතාවය පිළිබිඹු කළේ රංගනය, රංගනයක් පමණකැයි සිතාය. මේ දිනවල තිරගතවන තන්හා රති රඟා සිනමාපටයේ ජසින්තා වෙමින් අප හමුවන ඇය හිරු දරුවෝ, හුස්ම සහ ඔක්සිජන් ටෙලි සිතුවම් හරහා ද අමුතුම චරිත දෙකකට පණ පොවමින් ප්‍රේකෂකයා පිනවයි. එමෙන්ම සුලෝචනා වේදිකාවට ද නැතිවම බැරි චරිතයක්ව හමාරය.

ආයුබෝවන් සුලෝචනා?

ඔබටත් ආයුබෝවන්.

ජීවිතයම රංගනයට කැපවෙලා වගෙයි?

කාලයක් එහෙම තිබුණා. නමුත් දැන් මං ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිලධාරිනියක් විදිහටත් වැඩ කරනවනේ. ඒ හින්දා රැකියාවටත් ඉඩ දෙමින් ඊට බාධාවක් නොවන පරිදි රඟපානවා.

ඔබ වැඩිපුර දකින්න ලැබෙන්නෙ ෙවිදිකාවේ. වේදිකා නාට්‍යයක රඟපානකොට පෙර පුහුණුවීම්වල යෙදීම අත්‍යවශ්‍යයි. රැකියාවේ නියැළෙන ගමන් ඊට සහභාගි වන්නේ කොහොමද?

ගොඩක් වෙලාවට මං රිහසල්ස් යන්නෙ හවස්වරුවේ. ඒ කියන්නෙ රැකියාව නිම වූ පසුව. කොහොමත් මං රංගන ශිල්පිනියක් වෙලා පසුව රැකියාවට ගිය නිසා පොඩි වාසියක් තියෙනවා. වේදිකා නාට්‍ය ෂෝස් තියෙන වෙලාවට ඒ නිසා ඉඩ පහසුකම් ලබාගත හැකියි.

මා දන්නා පරිදි ඔබ වෘත්තියක් විදිහට කළේ රංගනය පමණයි. ඇයි මෙවන් වූ රැකියාවකට යොමුවන්න තීරණය කළේ?

ඔබ කිව්වා වගේ මං කාලයක් තිස්සේ රඟපෑවා පමණයි. මගෙ උපාධිය මට ලැබුණෙත් දෙදහස් හත වසරෙදි. එතැන් පටන් අවුරුදු හයක් පමණ රංගනයේ යෙදුණා. උපාධිධාරිනියක් විදිහට උපාධියට සුදුසු රැකියාවක් කරන්නේ නැතුව සිටීම එක්තරා අයුරකින් නොමනා වැඩක්. ගෙදරිනුත් පොඩි පොඩි බලපෑම් ආවා. එහෙයින් කාලයක් තිස්සෙ රැකියාවන් හෙව්වා. නමුත් ඒක ලැබුණෙ ටිකක් පහුවෙලා.

කලාව ඇතුළේ ස්ථාවර වෙන්න අමාරු වුණාද ඔබට?

කලාව කියන ක්ෂේත්‍රය ස්ථිරයි. නමුත් අප රටතුළ තිබෙන කලා ලොව ඇතුළේ ස්ථාවර වෙන්න නම් අපහසුයි.

ඔබ ඔහොම කිව්වට අපේ කලා ශිල්පියෝ කී දෙනෙක් ඉන්නවාද කලාවෙන් පමණක් ස්ථාවර වුණු?

මං හිතන්නේ එයාලා බොහොමයකට වෙනත් ආදායම් මාර්ග තියෙනවා.

නැහැ, මං ඉන් අදහස් කළේ රංගනයෙන් පමණක් ආදායම් උපයන අය ගැන. විශේෂයෙන්ම මෙගා නාට්‍යවල ඉන්න නළු නිළියො?

එතනදි මෙහෙමයි. මෙගා කරන අය ස්ථිරයි ටික කාලෙකට. නාට්‍යය නැවතුනායින් පසුව ක්ෂණිකව අස්ථිර වෙනවා.

මම දැන් එන්නේ තන්හා රති රඟා ගාවට. නිකිණි වැස්ස සිනමාපටයේ ප්‍රධාන චරිතය මැව්වට මේක එහෙම නැහැ?

නිලේන්ද්‍ර අයියා මට තන්හා රති රඟා සඳහා කතා කළේ ද නිකිණි වැස්ස නරඹලා. ජසින්තා කියලා කියන්නේ එහි ප්‍රධාන කාන්තා චරිත දෙක තුනට පසුව තියෙන ඊළඟ උප ප්‍රධාන චරිතය. මට ඒ චරිතය ගැන තෘප්තිමත්. ඒකයි බාර ගත්තේ.

කොහොමද නිලේන්ද්‍ර දේශපි‍්‍රය සමඟ වැඩ කිරීම?

ඔහු ඉතාම හොඳ අධ්‍යක්‍ෂවරයෙක්. අපව තාක්ෂ-ණික පැත්තෙනුත් දැනුවත් කරන ගමනුයි ඔහු අපව හැසිරවූයේ. ගොඩක් දේ ඉගෙන ගත්තා මා දර්ශන තලයේදී.

සාමාන්‍යයෙන් ඔබට චරිතයක් ලැබුණාම මොනවද මුලින්ම කරන්නෙ?

මං එම චරිතයේ සුවිශේෂී ගුණාංග හඳුනා ගන්නවා.

බොහෝ දෙනකු නොකරන දෙයක් ඒක?

ඔව්, මං අද දකින ඇතැම් ටෙලි නාට්‍යවල ඉන්න නළු නිළියෝ තමන්ගේ චරිතයේ එම සුවිශේෂී ලක්‍ෂණ හඳුනා ගන්නේ නැතුවයි රංගනයේ යෙදෙන්නේ. එතකොට හරිම අතාත්විකයි. ඒ වගේම සමහර නළු නිළියො එක නාට්‍යයකට ඇඳපු ඇඳුම් තවත් නාට්‍යයකට අදිනවා. කොච්චර දුර්වල කමක් ද ඒක. ඒ අය හිතනවා ප්‍රේක්‍ෂකයෝ මෝඩයි කියලා. නමුත් අද ඉන්න රසික, රසිකාවන් ඉතාමත් බුද්ධිමත්. ඒක හින්දාමදෝ කොහෙද වේදිකා නාට්‍ය බලන්න එන පිරිස දැන් වැඩි වෙලා.

සුලෝචනා සෑහෙන්න කැමැත්තක් දක්වනවා අභියෝගාත්මක චරිත රඟපාන්න. විශේෂයෙන් කෙටි චිත්‍රපටවල?

නිකිණි වැස්සෙත් මං කළේ එවන් වූ චරිතයක්. එය නැරඹූ විචාරකයෝ දුන් ප්‍රතිචාරවලින් මා ප්‍රබෝධවත් වුණා. මං හිතන්නෙ නිර්මාණයට එම චරිතයෙන් කොතරම් සාධාරණයක් ඉටුවෙනවද කියලා. ඒවා කලාත්මක නිර්මාණ ලෙසිනුයි මං දකින්නේ.

බය නැද්ද ලංකාවේ සංස්කෘතියත් එක්ක එවැනි නිර්මාණවලට දායක වෙන්න?

ඔක්කොටම කලින් මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරන්න ඕන. මිනිස්සු හරිම අකැමැතියි තමන්ගේ චරිත නිර්මාණ තුළින් දකින්න. මා නිරූපණය කරන චරිතය තුළ තමා ඉන්නවා නම් මට ඒ අදාළ අය බැනවදිනවා. ඔන්න ඕකයි තත්ත්වය. නිර්මාණයක් නිර්මාණාත්මක ඇසකින් බලන්න පුරුදු වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ.

සුලෝචනා වීරසිංහට තනිතටුවෙන් පියාඹන්න සිනමාපටයේ අනෝමා ජනාදරී කළා වගේ චරිතයක් ලැබුණොත් මොකද කරන්නේ. ඊට හා කියනවද?

අනෝමා ජනාදරී කියන්නේ අපට සිටින දක්‍ෂතම නිළියක්. ඇය කළා වගේ චරිතයක් ලැබුණොත් ඒ මොහොතේ මා සිටින මානසික මට්ටමත් එක්ක තීරණය කරයි හා කියනවද බැහැ කියනවද කියලා. ඒ වෙලාවේ හිතුණොත් මං ඒ චරිතය බාරගනීවි.

මේවන විට ඔබ විවාහකයි?

ඔව්, කාටත් රහසින් තමයි විවාහ වුණේ. නමුත් දැන් නම් හැමෝම දන්නවා.

ලොව උතුම්ම පදවිය ලබන්න තවම හිතක් නැහැ වගෙයි?

අම්මා කෙනෙක් වෙන්න මං ආසයි. ඒ බලාපොරොත්තුව කල්දාලා ඉන්නේ කලාව හින්දම තමයි.

ඔබගේ ඡායාරූප ගනිද්දි අන් නිළියන් වගේ මේකප් පාවිච්චි කරන්නේ නැත්තෙ ඇයි?

මං ආසයි මගෙ ඇත්ත ස්වරූපෙන් පෙනී සිටින්න. ඒකයි එහෙම කරන්නෙ.

සුලෝචනා වීරසිංහ කියන්නෙ මොනවගේ කෙනෙක්ද?

මට මා ගැන කියනවට වඩා ඒක මිනිස්සු තීරණය කරයි. මම මොනවගේ කෙනෙක්ද කියලා. ඔබ ඔය ප්‍රශ්නෙම අනිත් නිළියන්ගෙන් අහලා තිබුණා. එතකොට ඒ අය විවිධ උත්තර දීලත් තිබුණා. මට එහෙම බෑ. මං ගැන මමම කරන වර්ණනාවලට මං කැමැති නෑ.

මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු කොහොමද?

සුමුදු වෙල්ලාලගේ ගෙ හුස්ම සහ ඔක්සිජන්, මොහන්ජි රංගනාථගේ හිරු දරුවෝ වැනි නාට්‍යවල පමණයි රංගනයෙන් දායක වෙලා ඉන්නේ. වේදිකාවේ නම් ගිහාන් ඇලෝසියස්ගේ රියැලිටි ෂෝ නම් වූ වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල නිරත වෙලා ඉන්නවා. ළඟදීම එහි මංගල දැක්ම පැවැත්වේවි.