වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මම කළේ ළඟ සිටි නළුවා ඔප මට්ටම් කරන එක

මම කළේ ළඟ සිටි නළුවා ඔප මට්ටම් කරන එක

දන්නෝ දනිති මම කලාකරුවෙක් කියලා
වේදිකාවේ සැරිසැරීම මට තෘප්තියක්
අඩුවට රඟපානවට වඩා පොතක් පත්තරයක් බලන එක හොඳයි
මම අදටත් රංගනය ප්‍රගුණ කරනවා

නිතර රූපවාහිනියේ දක්නට නොලැබෙන නළුවන් අතර පෙරමුණේ සිටින ධර්මප්‍රිය ඩයස් ඉඳහිට රගපාන චරිත කාලාන්තරයක් මතකයේ පවතියි. තම වෘත්තීය ගරුත්වය මුදලට පාවා නොදී ස්වාධීන කලාකරුවකු ලෙස නිර්මාණකරණයේ යෙදෙන හෙතෙම වැඩි ළෙංගතුකමක් දක්වන්නේ වේදිකාවටය.

ධර්මප්‍රිය අපත් සමග අදහස් හුවමාරු කරගත්තේ ඔහුගේ නවතම වේදිකා නිරමාණ සාදය මාරයි සල්ලි හමාරයි හි මංගල දැක්ම පවත්වා උණුසුම වියැකීයන්නටත් මත්තෙනි.

සාදය මාරයි සල්ලි හමාරයි සඳහා ලැබුණු ප්‍රතිචාරත් කොහොමද?

හොඳයි.

මෙය ප්‍රසිද්ධ නාට්‍යකරුවකු වන රේකුනිගේ ෆනී මනී නාට්‍ය අනුවර්තනයක්. එය සිංහලට හරවලා දුන්නේ සමන් පුෂ්ප ලියනගේ. මෙහි ඉන්නවා එක්තරා යුවලක්. ඔවුනට හදිසියේම මුදල් කන්දරාවක් ලැබෙනවා. ඒ ජෝඩුවට හිතාගන්න බැහැ ඒ වස්තුවට මොනවද කරන්නේ කියලා. ඒ වස්තු බීජය ඔස්සේයි මෙය දිග හැරෙන්නේ.

මෙය ප්‍රහසන නාට්‍යයක්. ඇයි එවැන්නක් කරන්න හිතුවේ? රැල්ලටද?

ඔබ ඇසූ පැනයට මට පිළිතුරු දෙන්න අතීතයට යන්න වෙනවා. අනූ පහේ විතර මං සම්බන්ධ වෙලා හිටියා රෝමය ගිනි ගනියි කියලා නාට්‍යයකට. එයත් රේකුනීගේ නාට්‍යයක අනුවර්තනයක්. ඉතින් මං හිතා ගත්තා මමත් කවදා හරි ඔහුගේ නාට්‍යයක් කරනවා කියන එක. එහෙම බලද්දී සාදය මාරයි සල්ලි හමාරයි නිර්මාණය කිරීම පෞද්ගලික කාරණයක් වෙනවා.

මෙහිදී නාට්‍යයේ ප්‍රහසනය ගැන කතා කළ යුතුමයි. සාමාන්‍යයෙන් ගොත පුද්ගලයකු කතා කරන විදිහට දෙබස් කිව්වොත් එතැන සිනහව තියෙනවා. ඒ වගේම අබල දුබල අයකු විදිහෙ රංගනයේ යෙදීමෙන් ද එලෙසමයි. ඒ වගේ මිනිස්සුන්ගේ අඩුපාඩු යොදා ගනිමින් කරන ප්‍රහසන නාට්‍ය ඕනෑ තරම් තියෙනවා. ඒත් මං එහෙම කරන්නේ නැහැ. මෙතුළින් මෙහිදී ප්‍රේක්ෂකාගාරය තනිකරම සිනහ වෙන්නේ නාට්‍යයේ සිදුවීම් සහ දෙබස්වලට.

අද බිහි වන වේදිකා නාට්‍යවල නම් හරිම වෙනස්. එනමින් පමණක් පුළුවන් ප්‍රේක්ෂකයාව නාට්‍යාගාරවලට ගෙන්වන්න. මේ ඔබ කළෙත් එවන් වූ වෑයමක්ද?

නමට ප්‍රේක්ෂකයා ඇවිත් එහි හරයක් නැතිනම් වැඩක් නැහැනේ. මං මේ නම යෙදුවේ මුල් කෘතියේ නමත් එක්ක ගලපලා. ඒ වගේම නාට්‍යයේ අන්තර්ගතයට බොහොම සමීපයි ඒ නම.

මේ වන විට වේදිකා නාට්‍ය ක්ෂෙත්‍රයේ යම් පිබිදීමක් තිබෙනවා කියලා ඔබ විවශ්වාස කරනවාද?

ඔව්. හැබැයි ඒ පිබිදීම විය යුත්තේ දඩිබිඩියේ වේදිකා නිර්මාණ කිරීම නොවෙයි. අපි කළ යුත්තේ නාට්‍ය නරඹා ගෙදර යන ප්‍රේක්ෂකයා නැවත ගෙන්වා ගැනිමක්.

වේදිකා නාට්‍ය බලන්න තරම් ප්‍රබෝධයක් අද මිනිස්සු තුළ තියෙනවාද?

මොකද නැත්තේ, දැනෙන්න ඉන්නවා.

ඇයි ඔබ වේදිකාවට මෙතරම් ප්‍රේම කරන්නේ?

ධර්මප්‍රිය ඩයස් කියන නළුවා හැදුණෙත් වැඩුණෙත් වේදිකාවට පින් සිදුවන්නට.

ඒත් ඔබව වැඩි දෙනෙකු හඳුනා ගත්තේ ටෙලි නාට්‍යවලින් සහ විශේෂයෙන්ම මචං චිත්‍රපටයෙන්?

ඒක හරි මං ඒවාහි රඟපෑවේ වේදිකාවෙන් මා ලද අත්දැකීම් සහ ශිල්ප ක්‍රම එකතු කර ගනිමින්.

ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු නොවන්නේ ඇයි?

ටෙලි නාට්‍ය කරනවාට වඩා වේදිකා නාට්‍ය කිරීම මට පහසුයි.

ඔබ හරිම විරල ප්‍රකාශයක් කළේ. බොහෝ දෙනෙකු කියන්නේ ටෙලි නිර්මාණය කිරීම ලෙහෙසියි කියලා?

ටෙලි නාට්‍යවලට අකැමැතියි කියන කාරණේ නෙවෙයි ඉන් අදහස් කළේ. මං වඩාත් ප්‍රිය වේදිකාවට. වසර විස්සක අත්දැකීම් එක්ක මං දන්න හඳුනන ශිල්පින් යොදාගෙන වේදිකාවේ සැරිසැරීමෙන් මට මහත් තෘප්තියක් ලැබෙනවා.

ඒ කියන්නේ ඔබ කවදාවත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන එකක් නැහැ?

ඔව්, හැබැයි චිත්‍රපටයක් කිරීම තමයි ඊළඟ බලාපොරොත්තුව.

ආදායම් වාර්තා තබපු චිත්‍රපට අධ්‍යක්ෂවරු පිටපත් ගැටලුව මත චිත්‍රපට තැනීම නවත්වපු කාලේ ඔබ ඇයි එවන් වූ නිර්මාණයකට අත ගසන්න සූදානම් වන්නේ?

මට චිත්‍රපට කරන්න එපා කියලා ඇතැම් දෙනා කිව්වා. කසාද බැඳලා ජීවිතේ හොඳට විඳපු අවුරුදු හැටක විතර පුද්ගලයකු විස්සක තිහක කොල්ලෙකුට කිව්වොත් විවාහ වෙන්න එපා, විවාහ වීම හරිම මෝඩ වැඩක් කියලා ඒක මොන තරම් අසාධාරණද. මම මගේ චිත්‍රපටය කරනවා. මේ නාට්‍යයෙන් පසුව ඒ සඳහා සූදානම් වෙනවා.

ඇයි දැන් වැඩිපුර ටෙලිවල නැත්තේ?

මට ගැළපෙන සුදුසු සහ මගේ මුදලට එකඟ වන ඒවා විතරයි බාර ගන්නේ.

මුදලින් කීයක් හරි අඩු කරන්න කිව්වොත්?

අඩු කරලා රඟපාලා තේරුමක් නැහැනෙ. ඊට වඩා හොඳයි ඒ කාලයේදී ගෙදරට වෙලා පොතක් පත්තරයක් බලලා දැනුම වැඩි කර ගන්න එක.

ධර්මප්‍රියගෙන් අධ්‍යක්ෂවරයෙක් ටෙලි නාට්‍යයකට පිටපතක් ඉල්ලා නැද්ද?

තියෙනවා. නමුත් මට පිටපත් ලියන්න බැහැනෙ.

ඔබ දැන් සෑහෙන කල් ඉඳලා ක්ෂේත්‍රයේ ඉන්නවනෙ. පිටපතක් රචනා කරගන්න බැහැ කිව්වාම පුදුමයක්?

ඒ කාලය අතරතුර මං කළේ මා තුළ සිටින නළුවාව ඔප මට්ටම් කර ගැනිම පමණයි. උදාහරණයක් අරගෙනම මං මේ ගැන විස්තර කරන්නම්කො. චමින්ද වාස් අවුරුදු ගණනාවක් ක්‍රිකට් ගැහැව්වා. ඔහු අති දක්ෂ පන්දු යවන්නෙක්. චමින්දට ආස හිතෙන්න ඇති දක්ෂ පිතිකරුවෙක් ද වෙන්න. නමුත් ඔහු ඒ ගැන හිතන්නේ නැතුව දිගින් දිගටම පන්දු යැවීම දියුණු කර ගත්තා. මාත් ඒ වගේ තමයි. මං අදටත් රංගනය තමයි ප්‍රගුණ කර ගන්නේ.

සාදය මාරයි සල්ලි හමාරයි රට වටේ ගෙනියන්න ඔබ සූදානම්ද?

ඔව් දැනටමත් ඉදිරි දර්ශන වාර කිහිපයක්ම සඳහා ඇරියුම් ලැබී තිබෙනවා.

රට තුළ තිබෙන නාට්‍ය ශාලා නාට්‍යයක් පෙන්වන්න තරම් සුදුසු මට්ටමක තියෙනවද?

කොහෙත්ම නැහැ. මීට වසර ගණනාවකට ඉස්සර අපි නාට්‍ය පෙන්වන්න ගියාම තිබුණු ශාලා අද වන විටත් නොදියුණු වෙලා. ඒවා නාට්‍ය ශාලා නෙවෙයි රැස්වීම් ශාලා.

කොළඹින් පිටත වේදිකාවට පිළිගැනීමක් නැහැ?

පිළිගැනීමක් නැති එක නෙවෙයි මෙතන ගැටලුව. නාට්‍ය ශාලා විනාශ වීම.

වේදිකා නාට්‍යකරුවකුට වඩා ටෙලි නළුවකු වීමෙන් වරප්‍රසාද වැඩිපුර ලැබෙනවා නොවේද?

මේ දවස්වල මං ඉන්නේ හුස්ම සහ ඔක්සිජන් නාට්‍යයේ පමණයි. මට ඒ ඇති. මමත් දිනපතා යන මෙගා නාට්‍යයක හිටියා නම් මීට වඩා ජනප්‍රියයි. ක්ෂේත්‍රය ඇතුළේ මම නාට්‍යවේදියකු ලෙස කවුරුත් මාව දන්නවනෙ.

නමුත් සාමාන්‍ය ජනයා දන්නේ නැහැනෙ ඔබ නාට්‍යකරුවෙක් කියලා?

ඒක හරි. කෙසේ වෙතත් පාරට බැස්සම මට ලැබෙන ප්‍රතිචාර මට ප්‍රමාණවත්. මම හිතන විදිහට මම දන්නෝ දනිති කලාකරුවෙක්.