වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




වත්සලා - ප්‍රසංග නිවසට පැමිණි සිඟිති සුරතලිය හිතෛෂී

වත්සලා - ප්‍රසංග නිවසට පැමිණි සිඟිති සුරතලිය හිතෛෂී

දවස පුරා ඇඳ හැලෙන හීන් පොද වැස්ස නවතින පාටක් නැහැ වගේ. වත්සලා හිතෛෂී වෙනායා දුවත් වඩාගෙනම හිටියේ වැස්ස දෙසම බලාගෙන. ඈ දූට වැස්ස ගැන ලස්සන කතාවක් කියලා දුන්නා. හිතෛෂී දූත් අම්මාගේ උණුසුමට ගුලිවෙලා ඈ කියන කතාව අහගෙන උන්නේ බොහොම උනන්දුවෙන්. අම්මාගෙයි දූගෙයි ඒ කතාවට විරාමය තියන්නට සිද්ධ වුණේ අපේ පැමිණීමත් එක්ක.

“ඔන්න පුතේ පුතාව බලන්න නෑදෑයෝ ඇවිත්”

වත්සලා දියලගොඩ කියන දඟකාර,කටකාර නිළිය හිතෛෂී දුවට අපිව හඳුන්වලා දුන්නේ එහෙමයි. චූටි දූගේ මුහුණේ සිනහවක් නැඟුනේ අම්මා කිව්ව දේ තේරුම් ගත්තා වගේ. ඈ අප දෙස බලලා නැවතත් සිනහ වුණා.

“කොහොමද හිතෛෂී දුවත් එක්ක ගෙවන ජීවිතේ?”

“එයාගේ ගොඩක්ම ආස හිතෙන වයස එළැඹිලා තියෙන්නේ දැන් තමයි. එයා විවිධ ක්‍රියාකාරකම් කරන්න උත්සාහ කරන නිසා ඒව දිහා බලන් ඉන්න ලෝබයි. හෙමින් දණ ගගා මොනවදෝ කියන්න නිතරම එයා උත්සාහ ගන්නවා. ඒ නිසා එයාගේ ළඟටම වෙලා ඉන්න ඕන කාලයක් තමයි මේ.”

වත්සලා දියලගොඩ කියන ඔබ කාලයක් ආදරය කළ නිළිය දැන් අම්මා කෙනෙක්. එදා ඔබ ඇගෙන් දැක්ක කටකාර, දඟකාර බව ගිලිහී ගිහින් වගකීම් රැසකින් ඈ බැදිලා.

“අම්මා කෙනෙක්ගේ වගකීම නියම අයුරෙන් අවබෝධ කරගෙන ද තිබෙන්නේ ?”

“තරුණ කාලයේ නිවසට වී ඉන්නවා වගේම විවාහ වුණාට පස්සේ වුණත් ලොකු වගකීමක් මගේ ජීවිතයට දැනුණේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් තමයි කාලය ගත වුණේ. ඒත් දැන් එහෙම කරන්න බැහැ. දුව ඉපදුණාට පස්සේ වගකීම කියන එක මගේ ජීවිතයට ආවේ ඉබේම වගේ. දරුවෙක් ඉපදුණාට පස්සේ එයා ගැන බලන්න, එයාගේ අනාගතය ගැන හිතන්න, මේ වගේ වගකීම් රැසක් අප මත පැටවිලා. ජීවිතය කියන්නේ මොකක්ද කියලා දැනෙන්නේ දැන් තමයි.”

“සාමාන්‍යයෙන් දවසේ වැඩකටයුතු පටන් ගන්නේ කීයටද?”

“වෙනදා නම් එහෙම නැඟිටින්න වෙලාවක් තිබුණේ නැහැ. නමුත් දැන් එහෙම බැහැ. ගොඩක් වෙලාවට දුව පහ,හය වන විට නැඟිටිනවා. එතකොට අපිටත් එයත් එක්ක නැඟිටින්න සිද්ධ වෙනවා. සුපුරුදු විදියට දවල් වෙනතුරු නිදිය ගත්ත කාලයක් මතක නැහැ.”

වත්සලාගෙත් - ප්‍රසංගගෙත් කැදැල්ල ඉදිවුණේ අතුරුගිරියේ . බබා ලැබුණත් සමඟම වත්සලා ආවේ තමන්ගේම නිවහනටයි.

“සෑම වැඩක්ම තනියම කරගන්න හැකි වුණාද?”

“ඒ කටයුතු ගැන හුරු නොවුණත් මගේ අම්මා වගේම ප්‍රසංගගේ අම්මත් ඇවිත් අපට උදව් කළා. ඒ වගේම මම එදා ඉඳලාම බබෙක් ලැබෙන එකට හිටියේ බොහොම බයෙන්. ඒ බය නැති කළේ මාව බැලුව ඩොක්ටර්. ඔහු නිසා ඔහුගේ උපදෙස් නිසා බබා ලැබෙන එක මට ලෙහෙසි වුණා. සිසේරියන් එකකින් තමයි දුව ලැබුණේ. ඒ ලංකා හොස්පිටල් එකේදි. අම්මා කෙනෙක් වීම කියන ඒ උතුම් පදවිය පිළිබඳව කියන්න මගේ වචන කෝෂයේ වචන නැහැ. මට මතකයි බබා මුලින්ම ලැබුණ වෙලාවේ එයා ආවේ අඬාගෙන. ඩොක්ටර් බබාව ඒ වෙලාවේම මගේ අතට දුන්නා. මට හිතාගන්න බැරි හැඟීමක් ඒ වෙලාවේ ඇති වුණා. ඒත් සමඟම දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ. මාත් සමඟ ප්‍රසංගත් හිටියා. ඒ නිසා වැඩිපුර මට බයක් දැනුණේ නැහැ.”

ප්‍රසංග ගුණසිංහත් තමන්ගේ බිරිය ළඟින්ම වාඩිවෙලා හිටියේ දුව වඩාගෙන. වත්සලාගේ වැඩකටයුතුවලට පූර්ණ සහයෝගය ප්‍රසංගගෙන් ලැබෙන හැඩයි.

“තාත්තා කෙනෙක් වීම ඔබට දැනෙන්නේ කොහොමද?”

“ඒක ඇත්තටම අපූරු අත්දැකීමක්. වත්සලා කිව්ව වගේ වෙනදා නැති වගකීමක් ඇතිවෙලා. දුවගේ හුරතල් මැඳ ඉන්න විට කාලය ගෙවෙනවා දැනෙන්නේ නැහැ. වැඩට යන්න හිතෙන්නේ නැතිතරම් විදියට එයා අපේ හිත් බැඳ තබලා. වැඩට ගිහින් එන්නේ දුවගේ හුරතල් විඳින්න. එයාත් ඒ වගේමයි. නිතරම හවසට මඟ බලාගෙන ඉන්නේ මගේ අතට පනින්නයි. මේ සෑම කටයුතුත් සමඟම වත්සලාට බබාගේ වැඩකටයුතු තනියම කරගන්න බැහැ. ඒ නිසා ඒ සෑම දෙයකටම උදව් වෙන්නත් මා අමතක කරන්නේ නැහැ.”

ප්‍රසංගගෙන් ලැබෙන මේ උදව්වත් සමඟ වත්සලා දුවව බලා ගන්නවා විතරක් නෙවෙයි. බිරියකගෙන් විය යුතු වගකීම් රැසක් ඉටුකරන්නත් ඈ අමතක කරන්නේ නැහැ.

“මගේ අත් දෙකෙන්ම තමයි ප්‍රසංගට කෑම හදලා දෙන්නේ. ගෙදර වැඩකටයුතුවලට උදව්වෙන මානෙල්වත් මම ආදරයෙන් සිහිපත් කරන්න ඕනෑ. මොකද එයා තමයි නිවෙස අස්පස් කරන කටයුතු සියල්ල කරන්නේ.”

දුවට නම තිබ්බේ කවුද?

“මහේෂ් සත්සර මද්දුම ආරච්චි තමයි “හිතෛෂී” කියන කොටස තිබ්බේ. වෙනායා කියන කොටස තිබ්බේ රෙක්ස් හැමිල්ටන් . ඒ දෙන්නාගේ නම් දෙකේ එකතුවෙන් දුවට ලස්සන නමක් ලැබුණා. ඒකට අපි හැමෝම බොහොම කැමැති වුණා. දැන් දුවට මාස හතක්. ”

මාස හතක කාලයක් ගෙවුණු තැන දැනෙන දුවගේ සුරතල් මැද ගෙවන ජීවිතය නිසා හැමදාම වත්සලා දුව ළඟම ඉදීවිද කියලත් අපට ඇතිවුණේ සැකයක්.

“රඟපෑමෙන් ඈත් වෙන්නද සිතාගෙන ඉන්නේ?”

“ දැන්ම නම් දුවව තනියම දමලා නිර්මාණ කටයුතුවලට දායක වෙන්න මම කැමැති නැහැ. අඩුම ගාණනේ අවුරුද්දක්වත් වෙනකම් මම දුවත් සමඟ ඉන්නවා. ඊට පස්සේ තමයි නිර්මාණ කටයුතු ගැන සිතන්නේ. සෑම නිර්මාණයකටම නැතිවුණත් තෝරා බේරාගත් නිර්මාණ කිහිපයකට දායක වෙන්න හිතාගෙන තමයි මා ඉන්නේ.”

“ කවදාහරි දුව කවුරු වගේ කෙනෙක් වෙනවටද කැමැති?”

“ඒ ගැන නම් අපි තවම තීරණය කරලා නැහැ. දැන් වුණත් එයා මමත් සමඟ ගීත අහන්න, රූපවාහිනිය නරඹන්න බොහොම කැමැතියි. මගේ වැඩසටහන් රූපවාහිනියේ යනවිට ඇසිපිය නොහෙලා ඒ දෙසම බලාගෙන ඉන්න බවයි අම්මා නම් කියන්නේ.”

බොහොම සුන්දරව ගලාගෙන යන වත්සලා ප්‍රසංග කැදැල්ලේ අලුත් අමුත්තිය අම්මාව සොයනවා.

“දැන් දුවට බඩගිනි වෙලා.”

වත්සලා හිතෛෂී දුවව අතට ගත්තේ ඇගේ උවන සිඹලා සුරතල් කරන ගමන්.