වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අසූව දශකයේ තිරයේ රෝහිණී යළිත් රංගනයට එයි

අසූව දශකයේ තිරයේ රෝහිණී යළිත් රංගනයට එයි

මගේ සහෝදරිය නිර්මාණ මට අහිමි කළා

ලත නොමවන් ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය තමයි මට ක්ෂේත්‍රයට එන්න පෙරමං තැනුවේ. ඒ අසූ ගණන්වල. ඒ කාලෙ මට වේදිකා නාට්‍ය රඟපාන්න පුදුම ආසාවක් තිබුණා. පොඩි කාලේ හැංගි හැංගි සින්දු කියපු මට ප්‍රසිද්ධ වේදිකාවට එන්න මගේ අම්මගෙන් මට ලැබුණේ ලොකු හයියක්. අම්ම දැනට ජීවතුන් අතර නැතත් ඇය මාව නිළියක් විදිහට දකින්න හීන මැව්වා. මගේ තනියට හිටියේ අම්මා. ඒත් මගේ විවාහයෙන් පස්සේ කලා ජීවිතේ පසුබෑමට ලක් වුණා. මම ආදරෙන් රැක ගත්ත කලා ජීවිතේ සිහිවටන මට නැති වුණා. ඒත් මගේ හිත ශක්තිමත්. ආයෙත් කවද හරි ක්ෂේත්‍රයට එනවා කියන තීරණේ මම හිටියා.

යළිත් කලා නිර්මාණවලට සම්බන්ධ වුණු මට මගේ සහෝදරිය නිසා සමහර අවස්ථාවන් අහිමි වුණා. මට කතා කරන නිර්මාණවලට ඇය සම්බන්ධ වෙන්නට පටන් අරන්. මා රංගනයෙන් ඉවත් වී සිටින බවක් පවසා ඇය මගේ නිර්මාණ මට අහිමි කළා. නමුත් මම රඟපෑම අත්හැරලා නැහැ. මට තවමත් එදා වගේම හොඳට වේදිකාවේ, පුංචි තිරයේ රඟපාන්න පුළුවන්.

ඇය රෝහිණී වික්‍රමාරච්චි. ඇය ආදරයෙන් වැළඳගත් කලා ලෝකේ දුර ගමනක් යන්න තිබුණත් බාධක වැටකඩොලු ඇයට හරස් වුණා. සිය ගමන් මඟ පිළිබඳවත් බාධක බිඳ යළිත් රංගනයට පිවිසෙන සුබ නිමිත්ත පසුගිය දිනක ඇය සරසවියට පැවසුවේ එලෙසිනි.

මම ක්ෂේ්ත්‍රයට ආවේ අසූව දශකයේ. ඒ ලත නොමවන් වේදිකා නාට්‍යයෙන්. ඒත් සමඟම ජෙරම් ද සිල්වාගේ ආයෙත් එන්නේ නෑ, වැල්ලේ මාලිගා, සැම්සන් කුමාරගේ විශේෂ කොමසාරිස්, පුෂ්පනාත් මල්ලිකාරච්චිගේ සාක්කි දේවි, ජයන්ත චන්ද්‍රසිරිගේ සරස්වතී, අන්කල් සිමියොං, ජයසේකර අපොන්සුගේ සීමා බන්ධන, යුගාන්තය, සිටුතුමා, වැව ගෙදර, බණ්ඩාරගේ ළඳක් ඉකි බිඳී, තුසිත ද සිල්වාගේ පාර වසා ඇත, විමලරත්න අධිකාරීගේ පරාස්ස නාට්‍යවල මම රංගනයෙන් දායක වුණා.

රෝහිණී වේදිකා නාට්‍ය විසිපහකට රංගනයෙන් දායක වූ අතර එහිදී වැල්ලේ මාලිගා නාට්‍යයේ හොඳම නිළිය, සිටුතුමා නාට්‍යයේ හොඳම නිළිය, නැගී එන නිළිය සම්මානයට පාත්‍ර වී තිබේ. පරාස්ස වේදිකා නාට්‍යයේ පුරන්සිනා ගම මහගේ චරිතයෙන් රට හඳුනාගත් රෝහිණී අග පිපි මල්, මධු, තරුවලල්ල, දූවිලි සුවඳ, සීතාම්බර සළු යන ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වී ඇත.

මම කැමති වෙදිකාවට. වේදිකාව තරම් හයියක් නළුවෙකුට හො නිළියකට නැති තරම්. ඔවුන්ගේ ශක්තිය වෙන්නේ වේදිකාව. නාට්‍යවලට සම්බන්ධ වෙන්න, රංගනයක් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම තෝතැන්න තමයි වේදිකාව කියන්නේ.

රෝහිණී නැවත රංගනයට පිවිසෙන්නයි බලාපොරොත්තුව. කඩා වැටුණු ජීවිතේ ආයෙත් ගොඩ ගන්නට ඇයට උදව්වක් වුණේ ඇයගේ පුතා ශාන්.

මම නිළියක් ලෙසින් යම් තරමක හෝ ජනප්‍රියත්වයක් තිබෙනවා නම් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ සුසිල් ගුණරත්න, මගේ අම්මා, විමලරත්න අධිකාරී සහ මාව නාට්‍යවලට තෝරාගත් හැමෝටම.

යළිත් රංගනයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඇයගෙ සියළු බලාපොරොත්තු සඵල වේවායි සරසවියේ සුබපැතුම් සමඟින් අයගේ දුරකථන අංකය සහ ලිපිනය මෙසේ සඳහන් කරමි.

ඇයගෙ දුරකථන අංකය 0729033754.

ලිපිනය – 65/3, වීරසිංහ මාවත, වරාගොඩ, කැළණිය.