වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




පරසතු මලට පනහයි මං තවම තරුණයි

පරසතු මලට පනහයි මං තවම තරුණයි

චිත්‍ර බාලසූරිය

චිත්‍ර බාලසූරිය සිංහල සිනමාවේ වාර්තාගත අයුරින් තම නාමය සනිටුහන් කළ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මේ දක්වා මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා නිර්මාණ දහය අතරේ වූ චිත්‍රපට දෙකකම නිෂ්පාදකවරයා වන්නේ ඔහුයි.

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පරසතු මල් සහ මහගමසේකර අධ්‍යක්ෂණය කළ තුංමං හන්දිය චිත්‍රපට ද්විත්වය මෙලෙස හොඳම චිත්‍රපට අතරට එක් විය. ඔහු අද පුදුම හතට පැමිණෙන්නේ සිංහල සිනමාවේ ඔහුගේ සිත ගත් චිත්‍රපට හත ගැන ඔබට කියන්නයි.

පරසතු මල්

පරසතු මල් චිත්‍රපටය මගේ හිත ගන්නේ එහි වූ කලාත්මක ගුණය නිසයි. මගේ ජීවිතයේ මං කළ හැම දේම කළෙත්, චිත්‍ර බාලසූරිය කියන තත්ත්වයට ආවෙත් සිනමාව නිසයි.

පරසතු මල් තිර රචනය කළේ කොළඹ යුගයේ කවියෙක් වූ පී. කේ. ඩී. සෙනෙවිරත්න. මම ඔහු හමුවෙලා පිටපත ගැන කිව්වාම සති දෙකෙන් මට එය ලියා දෙන්න ඔහු පෙරොන්දු වුණා. පරසතු මල් තිර පිටපත මා අතට පත් වුණේ පෙම්වතුන්ගේ ලෝකය නමින්. ඊට පසුව පරසතු මල් කියන නම යෝජනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්.

පරසතු මල් අධ්‍යක්ෂණයට මා මුලින්ම කතා කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හටයි. ඔහු ඒ වෙන කොට ගම්පෙරළිය සමඟ කාර්යබහුල වෙලා සිටි නිසා ගාමිණී ෆොන්සේකා එයට යෝජනා කළා.

සහාය අධ්‍යක්ෂවරිය වුණේ සුමිත්‍රා පීරිස්. ඒ වෙනකොට ගාමිණීට වයස අවුරුදු 29 ක්. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වුණෙත් පරසතු මල්. එහි සියලුම නළු නිළියන් තෝරා ගත්තෙත් මම. ඒ වෙනුවෙන් හොඳම රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් තෝරා ගන්න ලැබීම ගැන සතුටුයි.

පරසතු මල් ටෙලි ඩ්‍රාමා එකක් කරන්න අහගෙන බොහෝ අය මා සොයා ගෙන ආවත් මම ඔවුන්ට කිව්වේ බොනී මහත්තයාගේ චරිතයට කෙනෙක් හොයාගෙන එන්න කියලයි. පරසතු මල් චිත්‍රපටයට දැන් අවුරුදු පනහක්. පරසතු මල් අවුරුදු පනහක් වයසට ගියත් මම වයසට ගිහින් නැහැ.

ගම්පෙරළිය

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ඇන්ටන් වික්‍රමසිංහ නිෂ්පාදනය කළ ගම්පෙරළිය චිත්‍රපටයත් අපේ සිනමාව වෙනස් මගකට යොමු කළ චිත්‍රපටයක්.

1963 වසරේ තිරගත වූ එය එකල පොදුවේ අනෙක් සිනමා නිර්මාණ සමඟ සැසඳීමේදී ගීත, නැටුම්, සටන් ආදියෙන් තොර වූ කලාත්මක චිත්‍රපටයක්.

ඒකාකාරී වූ සිංහල සිනමාවට වෙනස් මගක් කියා දුන්නේ ගම්පෙරළිය චිත්‍රපටයයි. එදා ගම්පෙරළිය නවදිල්ලියේ තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ රජත මයුර සම්මානයත්, විචාරක සම්මානයත් දිනාගන්න සමත් වුණා.

ඇත්ත වශයෙන්ම එහි සාර්ථකත්වය සිංහල සිනමාවටත් බලපෑවා. බාහිර දර්ශන ඇතුළත් චිත්‍රපට නිෂ්පාදනයට බොහෝ දෙනා උනන්දු වූයේත් ගම්පෙරළියෙන් පසුව වීම විශේෂයි.

නිධානය

පරසතු මල් චිත්‍රපටයෙන් පසුව ගාමිණී ෆොන්සේකා නම් වූ රංගධරයාගේ හොඳම චරිත නිරූපණය දුටුවේ නිධානය චිත්‍රපටයේදීයි. එහිදී ඔහු විලී අබේනායක ලෙසින් කළ රංගනය විශිෂ්ට එකක්.

නිධානය චිත්‍රපටයත් වැනිස් උළෙලේදී වසරේ දෙවැනි විශිෂ්ටතම සිනමා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

1970 වසරේදී තිරගත වූ නිධානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිර්මාණ අතරින් සුවිශේෂ ලෙසින් මා දකිනවා.

ගාමිණී, මාලිනී ප්‍රධාන චරත රඟපෑ එහි සංගීතය මෙහෙය වූයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. එම සංගීතයත් යුග යුග ගණන් රැව් පිළිරැව් දෙන සංගීතයක්. මා ද එය බෙහෙවින් ප්‍රිය කරනවා.

සත් සමුදුර

මෙරට අග්‍රගණ්‍ය කවියකු නවකතාකරුවකු මෙන්ම කලා විචාරකයකු වූ සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ සත් සමුදුර චිත්‍රපටය සිංහල සිනමාවේ සුවිශේෂ චිත්‍රපටයක්. ඒ වගේම සත් සමුදුර කාරණා කිහිපයක්ම නිසා විශේෂ වුවක්.

මෙරට නිර්මාණය වූ විශිෂ්ට චිත්‍රපට අතරේ සිටින සත් සමුදුර චිත්‍රපටය සිරි ගුණසිංහයන්ගේ ප්‍රථම සහ එකම සිනමා කෘතිය මෙන්ම සිරිල් වික්‍රමගේ නම් වූ රංගන ශිල්පියාගේ සිනමා ගමනයේ ආරම්භය ද සනිටුහන් කරනවා.

ඒ වගේම එහි වූ ස්වර්ණා මල්ලවාරච්චි, දෙනවක හාමිනේ වැනි රංගන ශිල්පිනියන්ගේ රංගනයත් මෙම අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. සත් සමුදුර චිත්‍රපටය මෙරට සිනමාවට දායාද වූ කලාත්මක චිත්‍රපටයක් ලෙසින් මගේ හිතේ විශේෂ මතකයක්ව තැම්පත්ව තියෙනවා.

වැලිකතර

1971 වසරේ තිරගත වූ වැලිකතර චිත්‍රපටය මෙරට හොඳම චිත්‍රපට අතරේ සිටින චිත්‍රපටයක්. එය ඩී. බී. නිහාල්සිංහ අතින් නිමවුණු විශිෂ්ට සිංහල චිත්‍රපටයක් ලෙසින් මා දකිනවා. ඒ වගේම තිස්ස අබේසේකර රචනා කළ විශිෂ්ට තිර පිටපතක් ලෙසත් එය සඳහන් කළ යුතුයි.

වැලිකතර සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක බිහි වූ වටිනා නිර්මාණයක්.

එහි ගෝරිං මුදලාලි ලෙස ජෝ අබේවික්‍රමත්, සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස ගාමිණී ෆොන්සේකාත් කළ රඟපෑම් විශිෂ්ටයි. ජෝ සහ ගාමිණීගේ එම තියුණු රඟපෑම අපේ සිනමාවට විශාල වූ වටිනාකමක් එක් කළා.

මේ සෑම දෙයක්ම නිසා වැලිකතර සුවිශේෂ අයුරින් මා සිත් ගත් චිත්‍රපට අතරට එක් වෙනවා.

විරාගය

විරාගය තිස්ස අබේසේකරයන් තම නම ඉතිහාසගත කරමින් අධ්‍යක්ෂණය කළ විශිෂ්ට නිර්මාණයක් ලෙස මා දකිනවා. 1956 වසරේදී මාර්ටින් වික්‍රමසිංහයන් අතින් ලියැවුණු විරාගය සිනමාවට නැඟුණේ 1989 වසරේදියි.

සිනමාවේදී තිස්ස අබේසේකරයන් එදා සිනමාවට කැඳ වූ විරාගයේ අරවින්ද, බතී, සරෝජනී සිනමා ප්‍රේක්ෂක සිත් තුළ අදටත් ජීවමානයි.

විරාගය චිත්‍රපටයත් මා කැමැතිම චිත්‍රපට අතරේ සුවිශේෂ චිත්‍රපටයක්. විරාගය කෘතිය අපේ සිංහල සාහිත්‍යයේ සළකුණක් තැබූ කෘතියක් සේම විරාගය චිත්‍රපටයත් බොහෝ කතාබහට විවේචනයට ලක් වූ සිනමා නිර්මාණයක් බව කිව යුතුයි.

තුන්මං හංදිය

මහගමසේකර නම් මහා ගීත රචකයා අද ජීවමානව නැතත් ඔහු අපට දායාද කළ නිර්මාණ අතර තුංමං හංදිය සිනමාවට අගනා නිර්මාණයක් වුණා.

එවැනි වූ නිර්මාණයකට නිෂ්පාදන දායකත්වය ලබා දෙන්න මටත් අවස්ථාව ලැබීම ගැන තියෙන්නේ විශාල සතුටක්.

ඒ වගේම තුංමං හංදිය මෙතෙක් බිහි වූ හොඳම සිනමා නිර්මාණයක් හැටියට පිළිගත් චිත්‍රපටයක් බවට පත් කිරිම පිළිබඳ මා මහගමසේකරයන් හට පින් අනුමෝදන් කිරිමෙන් අනුස්මරණය කරනවා.

ඒ වගේම එහිදී ජෝ අබේවික්‍රම, කුමාර බාලසූරිය, කරුණාරත්න රණසිංහ, ශාන්ති ලේඛා, ධර්දාස කුරුප්පු, දෙනවක හාමිනේ, ඩී. ඒ. බාලසූරිය, ගැමුණු විජේරත්න, සෝමසිරි දෙහිපිටිය වැනි වූ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ අපූරු රංගනයත් විශේෂයෙන් සිහිපත් කරන්න කැමැතියි.