|
මාස්ටර් සර් මා මුලින්ම ගැයුවේ 1973 වසරේ
නීලා වික්‍රමසිංහ
අපට තියෙන්නේ අමෙරිකාවෙන් අහක දාන දේවල්
ඔක්තෝබර් 26 දා ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවට ඔබත් එන්න
ජීවිතයම ගීතය කර ගනිමින් සුභාවිත ගීතයට නැවුම් මිහිරියාවක් එක් කළ ඈ සංගීත ක්ෂේත්‍රයට උරුමයක්. මිහිරි හඬින් රසික හදවත් සංවේදී ලෙසින් ඇමතූ ඇය විශාරද නීලා වික්‍රමසිංහ. අද ඇය සිය සංගීත ගමනේ සොඳුරු වූ අවස්ථාවක් සමඟින් සරසවියට පැමිණ සිටින්නීය. තවත් විශේෂ දවසක් නේද? ඇත්තටම විශේෂ දවසක්. ඔක්තෝබර් 26 වැනිදා. ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී ‘මාස්ටර් සර්’ ප්‍රසංගය පැවැත්වෙනවා. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සුබසාධක සංගමයට ආධාර පිණීසයි මෙවර ප්‍රසංගය පැවැත්වෙන්නේ. එහිදී කපිල හේරත් යුග ගායනයෙන් ද ජයන්ත කරුණාසේකර නර්තන වින්‍යාසයෙන්ද නාලක අංජන කුමර වාදනයෙන් ද සහාය වෙනවා. මෙහිදී ඔබගේ අලුත් නිර්මාණත් එළි දකින්න නියමිතව ඇති? මෙම ප්‍රසංගයට මගේ අලුත්ම ගීත කිහිපයක් ඇතුළත් වෙලා තියෙනවා. මට නම් ගීතයෙන් තොරව ජීවත් වෙන්න බැහැ. ගීතය අපේ ඇඟට කාවැදිලා ඉවරයි. මුදලක් ලැබුණු ගමන්ම කරන්නේ අලුත් ගීතයක් නිර්මාණය කරන එක තමයි. ඒ වුණත් වර්තමාන තත්ත්වය අනුව අපි ආසාවෙන් නිර්මාණය කරන ගීත ප්‍රචාරය කරන්නයි අමාරු. එය අද මුදලට සීමා වෙලා. එසේ වුවත් අපට ඒ පසුපස හඹා යන්න අවශ්‍යත් නැහැ. ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න අහස අල්ලන්න මට වුවමනා නැහැ. මම දැන් ක්ෂේත්‍රයේ යා යුතු තැනට ඇවිත් ඉන්නේ. මුදල් දීලා ගීත ප්‍රචාරය කර ගන්න ඕනෑකමක් නැහැ. එහෙම වුණා කියලා ගීත නිර්මාණය කරන එක නවත්වන්නේත් නැහැ. ඒ වගේම වර්තමානයේ නිර්මාණය වන ගීත ගැන ඔබේ අදහසත් දැනගන්න කැමැතියි? අද දවසේ බිහිවන නිර්මාණවල අර්ථාන්විත බවක් නම් දකින්න නැහැ. හැම දේම මුදලට විකිණෙන සමාජයේ වර්තමාන ගීතය තුළත් තියෙන්නේ අමෙරිකාවෙන් අහක දාන දේවල්. අද මොනවා හරි වචන ටිකක් එකතු කරලා සංගීතය මඟින් කියූ පමණින් එය ගීතයක් වෙන්නේ නැහැ. ඒ විදියට නිර්මාණය වන ගීත බොහොමයක් අද නිතරම අසන්න ලැබෙනවා. ගීතය කියන්නේ සමාජයට වටිනා පාඩම් කියා දිය හැකි මාධ්‍යයක්. එය අපි නිසි අයුරින් භාවිත කළ යුතුයි. අරුත් සුන් ගීතවලින් එය නිසියාකාරව කළ නොහැකියි. ගුණගරුක බව, කරුණාව, ළෙන්ගතුකම, මානව දයාව ආදී මේ හැම දෙයක්ම ගීතයකින් සමාජයට දෙන්න පුළුවන්. එය අද ගීත තුළ දකින්න නොලැබිම කනගාටුවට කරුණක්. මෙහිදී මාධ්‍ය සතුව විශාල වගකීමක් තියෙනවා. ඒ සමාජයට නිවැරදි දේ ලබාදීමයි. හොඳ ගීත නිර්මාණය නොවීම නෙවෙයි ප්‍රශ්නය. ඒවා ප්‍රචාරය නොවීමයි. ඉස්සර නම් එහෙම වුණේ නැහැ. යහපත් ගීතයට ඕනෑම තැනක ඉඩක් තිබුණා. එත් අද එහෙම නැහැ. අද වෙන කොට ගීතයට හිමිවෙලා තියෙන්නෙ වෛශ්‍යාවකගේ තැනයි. අද නවකයන් බොහොමයක් ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ගීත ගයනවා. ඒ වගේම එය ගැටලුකාරී වූ අවස්ථා ද එමටයි. ඔබත් ප්‍රවීණ ගායන ශිල්පිනියක් ලෙසින් මේ තත්ත්වය දකින්නේ කොහොමද? ඇත්තටම ඒක ලොකු විනාශයක්. ආධුනිකයෙක් හැටියට ප්‍රවීණ ශිල්පියෙකුගේ ගීතයක් ගැයුවට කමක් නැහැ. ඒකේ ඇති වැරැද්දකුත් නැහැ. ඒ වුණත් එහි සදාචාරයක් තිබිය යුතු වෙනවා. කොහොමත් ආධුනිකයෙකුට ජනප්‍රිය ගී නැහැනේ. ඒ වුණත් ඔවුන් ජනප්‍රිය වූ පසු තමන්ට අනන්‍යතාවක් ගොඩ නඟා ගෙන නව නිර්මාණ නොකිරීමයි මෙතැන බරපතළ වැරැද්ද වෙලා තියෙන්නේ. අද සමහර අය ගීත හොරකම් කරලා ගයලා ඇති තරම් මුදල් හම්බ කරනවා. මේ විදිහට අනුන්ගේ ගීත ගායනා කිරීම නිසා අලුත් ගීත බිහි නොවීම විශාල ගැටලුවක්. ඒ වගේමයි කවුරු කොහොම කිව්වත් කිසිම ගායකයෙකුගේ හෝ ගායිකාවකගේ මුල් ගායනයට කාටවත් කිට්ටු වෙන්න බැහැ. ඒක තමයි සත්‍යය. සංගීත ක්ෂේත්‍රය කියන්නේ හරිම ලස්සන සුවඳ පිරි මල් වලින් පිරි උද්‍යානයක්. එහි දවසින් දවස මල් පරවෙලා වැටෙනවා. ඒ වුණත් අලුත් පොහොට්ටු ඇති වෙනවා. තව තවත් අලුත් මල් පිපෙනවා. උද්‍යානය දවසින් දවස ලස්සනට තියෙන්න නම් එය එසේ සිදු විය යුතුයි. සංගීත ක්ෂේත්‍රයේත් එසේ විය යුතුයි. නවකයන් අලුත් නිර්මාණ තම අනන්‍යතාවයෙන් ඉදිරිපත් කළොත් ඔය චෝදනා මොකුත් නැති වෙයි. එවැනි ගීත නවකයන් අතින් බිහි වෙනවා නම් සතුටුයි. නැත්නම් සිදු වෙන්නේ පෝයදාට හඳ පායලා බැහැලා ගියා වගේ දෙයක්. එහෙම වුණොත් එහි දියුණුවක් ඇතිවෙන එකක් නැහැ. මාස්ටර් සර් ගීතය ගැනත් පසුගිය කාලයේ කතාබහට ලක් වුණා? මාස්ටර් සර් ගීතය ගැන කිසිම ගැටලුවක් නැහැ. එය මම මුලින්ම ගායනා කළේ 1973 වසරේදී. ඒ කළු දිය දහර චිත්‍රපටයේ තේමා ගීතය වෙනුවෙන්. 1973 ජූලි 25 වැනිදා ජීඑෆ්යූ චිත්‍රාගාරයේදීයි එය පටිගත කළේ. මම චිත්‍රපටයකට තනිව ගායනා කළ ප්‍රථම ගීතයත් එයයි. ඒ වගේම මාස්ටර් සර් ගීතය මගේ සංගීත දිවියේ විශේෂ කඩඉමක්. ඒ එය බටහිර ශෛලියට නිර්මාණය වූ ගීතයක් වීම මගේ සංගීත දිවියේ වෙනසක් වූ ගීතයක් වීමයි. ඒ වගේම මම මගේ ගීත අතරින් වැඩිම වාර ගණනක් ගැයූ ගීතයත් එයයි. දෙස් විදෙස් ප්‍රසංගවලදී ප්‍රේක්ෂකයන් ඉල්ලන්නෙත් මේ ගීතය. මගේ ඒක පුද්ගල ප්‍රසංගය පවා මාස්ටර් සර් ලෙසින් නම් කරන්න තරම් එය සුවිශේෂ වුණා. ඔබ මීට පෙර කුඩා දරුවන් පිරිවරා ගනිමින් බෝනික්කෝ ළමා ප්‍රසංගය පැවැත් වූවා. එහි ඉදිරි පියවර කොහොමද? බෝනික්කෝ ප්‍රසංගය අපේ රටේ දරුවන්ට ලබා දුන් වටිනා තෑග්ගක්. ඇත්තටම අද ළමුන්ට හිමි ළමා ලෝකය අහිමි වෙලා. ළදරු පාසලේ දරුවාගේ පටන් පාසල් කාලය නිම වන තෙක්ම ඔවුන්ට ඒ ළමා ලෝකයේ සැරිසරන්න ඉඩ ලැබෙන්නේ නැති තරම්. අද සමාජය විවිධ ඉලක්ක කරා දරුවන් යොමු කරලා තියෙනවා. දෙමාපියන් දරුවන් ඒ දෙසට තල්ලු කිරීමයි කරන්නේ. එවිට දරුවන්ට සෙල්ලමට, ළමා ගීතයකට සවන් දීමටවත් ඉඩක් නැති තත්ත්වයට පැමිණිලා. ළමුන් වෙනුවෙන් වූ රියැලිටි වැඩසටහන්වලදී පවා ඔවුන් ගයන ගී දුටුවාම ඇති වෙන්නේ විශාල දුකක්. එහිදී ඔවුන් ඇඳුමින් පැලඳුමින් පවා වැඩිහිටියන් බවට පත් කරනවා. ළමුන්ට ළමා කාලය කියලා දෙයක් තියෙනවා. අපි එය ඔවුන්ට විඳින්න අවස්ථාව සලසා දියයුතු වෙනවා. ගුරු මවක් විදියට මමත් ඒ වෙනුවෙන් උරදීමටයි බෝනික්කෝ ළමා ප්‍රසංගය ආරම්භ කළේ. කුඩා මල් වැනි අපේ පුංචි දරුවන් වෙනුවෙන් යළිත් බෝනික්කෝ ප්‍රසංගය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව The Mother සංවිධානය හරහා ඔබ තවත් විශාල වූ මෙහෙවරක නියැළිලා සිටිනවා නේද? මගේ රට මා ලද මේ මිනිස් ජීවිතයෙන් උපකාරයක් සේවයක් කරන්නයි The Mother සංවිධානය පිහිටුවා ගත්තේ. මේ වන විටත් ඒ හරහා බොහෝ දේ රට වෙනුවෙන් ඉටු කරලා තියෙනවා. බොහෝ විට ඒ සඳහා වැය කරන්නේ මගේ පෞද්ගලික මුදල්. ප්‍රසංගවලින් ලැබෙන මුදල් බොහොමයක් වැය වෙන්නේ ඒ වෙනුවෙන්. මට ගායන හැකියාව ස්වභාව ධර්මයෙන් ලැබිලා තියනවා. ඒ වගේම උපකාරයක් අවශ්‍ය අයෙකුට උපකාර කළ යුතුයි කියන හැඟීම මගේ හිතේ තියෙනවා. මට උවමනා හැමෝම හොඳින් ජීවත් වෙනවා දැකීමයි. ඒ වෙනුවෙන් The Mother සංවිධානය හරහා හැකි පමණින් උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා. වසර 47 ක් පුරා පැමිණි මේ සංගීත දිවිය දෙස ආපසු හැරී බැලුවොත්? මම පළමුවෙන් ගීතයක් ගායනා කළේ 1959 වසරේදී. ගුවන් විදුලියේ ආධුනික ගී හඬ වැඩ සටහනට
‘සමනලයෝ පුංචි හොරෝ සමනලයෝ . . .’ ගීතය ගායනා කළා. චිත්‍රපට පසුබිම් ගායනයට පැමිණියේ 1960 වසරේදියි. එදා සිට අද දක්වා කාලය තුළ මගේ ජීවිතය දෙස හැරී බැලුවොත් මට දැනෙන්නේ ලොකු සතුටක්. ජයග්‍රහණයක්. මම ආවේ මල් ඇතිරූ මාවතක නෙවෙයි. වැටීම් තැලීම් මැදින් මම ආවේ. ඒ වුණත් මම කවදාවත් නැවතුණේ නැහැ. ගායිකාවක් සංගීත අධ්‍යක්ෂවරියක් ලෙසින් සාර්ථක වුණේ මගේ උත්සාහයයි, ආත්ම ශක්තියයි. මම මගේ රසික රසිකාවන් වෙනුවෙන් ගැයුවා. මම ඔවුන්ට ගොඩක් ආදරෙයි. ඒ වගේම සියලුම දෙනාට මම මෛත්‍රී කරනවා. මම මට හැකි පමණ ඔවුන්ට රට වෙනුවෙන් සේවයක් කරන්න ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. The Mother හරහා මම ඒ පියවරත් තබා අවසන්. 0777345572 මගේ දුරකථන අංකය හරහා ඔබටත් මා සමඟින් ඒ සඳහා එක් වෙන්න පුළුවන්. මේ දක්වා පැමිණි ගමන සාර්ථකයි. ඒ ගැන ලොකු තෘප්තියක් තියෙනවා. ලබන 26 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඇය ගයන්නීය. ඒ ඔබ වෙනුවෙනි. ඔබේ පැමිණීම ඇයට සතුටකි. ඒ ඇයගේ බලාපොරොත්තුව වූ රටට දැයට කරන්නා වූ සේවය වෙනුවෙනි.
|