වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඇසල මහ නිකින්න 25 දා දකින්න

ඇසල මහ නිකින්න 25 දා දකින්න

එය වැහි මෝරාවට පිටාර හැලෙන වැවකින් හෙබි සිංහල ගමකි. හේන, ගමේ උන්ගේ බඩවියත රැකදෙන එකම වෘත්තියයි. මෙහි ඉතිහාසය ශත වර්ෂ ගණනාවක් ඔඩු දුවා ඇත. එහෙයින් ගැමියන්ගේ ජනප්‍රවාදය ඉතා පරණය, ගැඹුරුය. එනමුත් නාකපන වැස්සට නාඬන ඔවුන් මැට්ට පැලෙන පෑවිල්ලටත් ඔරොත්තු දෙයි.

ගමට, හොඳට, නරකට, කඳුලට, සොම්නසට ඇති පන්සල ද ඓතිහාසිකය. ගම රැක ගන්නට පන්සලේ විසූ හිමිවරුන්ගේ පරපුර ද ඉහළ දායකත්වයක් සැපයූ බව දන්නෝ දනිති. පන්සල වෙත ගම්මු නිතර නාවත් ගමේ බොහෝ දේ සිදු වන්නේ පන්සල දැනුවත්වය.

එහි වැඩ වාසය කරන වයෝවෘද්ධ ලොකු හාමුදුරුවෝ ගමේ කාගේත් ගෞරවය ලැබූ හිමි නමකි. උන්වහන්සේගේ ගෝල හිමිනමක් වෙයි. එම ගෝල හිමි නම ලොකු හාමදුරුවෝ මෙන් ගම්මුන් සමඟ වැඩි භජනෙට නොයයි. ගෝල හිමියන් ගුප්තය.

මේ අතර ගම වෙත විටින් විට ආගන්තුකයන් පැමිණෙයි. ඉන් බහුතරයක් යහපත් අරමුණින් මෙහි ආවෝ නොවෙති. කෙසේ නමුත් වනවියනින් දඬුවම් ලැබුවෝ ද ඔවුන් අතර සිටියි.

මේ කටයුතු මෙසේ සිදුවෙද්දී ගමේ වයෝවෘද්ධ නා හිමි අපවත් වේ. වසර ගණනාවකට පසු නිහඬව පැවති ගම මහා කාලගෝට්ටියක් බවට පත් වේ.

තවත් අමුත්තන් ගමට එන්න පටන් ගැනේ. පන්සලේ නායකකම ගෝල හිමිට පැවරේ. එහෙත් බලාපොරොත්තු නොවූ මොහොතක ලද මේ තනතුර උන්වහන්සේට දරාගත නොහැකි වේ.

එහෙයින් හිමි නම සිත සන්සුන් කර ගැනීමට වනගත වේ. එහිදී උන්වහන්සේට අපූරු සහ අද්භූත අත්දකීම් රැසකට මුහුණදීමට සිදු වේ. මේ ඇසළ මහ නිකින්නයි.

තව ඉදිරියට කුතුහලය රඳවන සිදුවීම බොහොමයක් සිදුවීමට නියමිතය. මෙම මස 25 එනම් එන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට ටී. එන්. එල්. නාලිකාව ඔස්සේ ඇසළ මහ නිකින්න දිග හැරීමට නියමිතය. මෙය සමීර හසුන්ගේ අධ්‍යක්ෂණයකි.

ඔහු අපට පළමුව මුණ ගැසෙන්නේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසිනි. එලෙස සමීර ටෙලි සිතුවම් පහළොවකට ආසන්න ප්‍රමාණයක සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ලදී. අනතුරුව අධ්‍යක්ෂණයට පිවිසෙන ඔහු සේලා නම් වූ අංගම්පොර සටන් ශිල්පය උගත් තරුණියක පිළිබඳ කතා පුවතක් රැගත් ටෙලි සිතුවමක් අධ්‍යක්ෂණය කරයි.

නිබිබිදාව සහ ස්නේහ අවකාශය දෙවැනි සහ තෙවැන්න විය. ඇහැළ මහ නිකින්න සමීරගේ සිව්වැනි ටෙලි සිතුවමයි. මෙය සමඟින් ඉතා දිගු කාලයකට පසු රටක් ආදරය කළ රංගන ශිල්පියකු අපට දැකගන්න ලැබෙයි.

ඔහු ඉන්ද්‍රජිත් නාවින්නයි. මේ දිනවල තරමක් රෝගාතුරව සිටියත් ඒ බව යටපත් කොට ඔහු අප වෙනුවෙන් ඇහැළ මහ නිකින්නේ රංගනයේ යෙදෙයි. එමෙන්ම ගාමනී සිනමා සිත්තම අංගම්පොර සටන් ශිල්ප ක්‍රමවලින් හැඩ ගැන් වූ රිටිගල සුමේධ මෙහි ප්‍රධාන චරිතයක් මවමින් පුංචි තිරයට අවතීර්ණ වෙයි.

ඇහැළ මහ නිකින්නහි ප්‍රධාන නළු නිළියන් මෙසේය.
 

පොඩි හාමුදුරුවෝ - අතුල ජයසිංහ

සුමේධ – රිටිගල සුමේධ

ඉස්කෝලේ මහත්තයා - අශේන් මංජුල

වාසි අක්කා - දුලීකා මාරපන

හෝමි – අශිකා මතසිංහ

හීන්රාල – රිචඩ් වීරක්කොඩි

තම්බි මුදලාලි - දිමුතු චින්තක

සිරියා - නයනා හෙට්ටිආරච්චි

අන්වර් - ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි

ජීවාගේ මව - නිල්මිණි කෝට්ටේගොඩ

වාසිගේ ස්වාමියා - ඉන්ද්‍රජිත් නාවින්න

ග්‍රාම සේවක – ආනන්ද කුමාරුන්නැහෙ

අගුතා - සෝමසිරි කොළඹගේ

අප්පුහාමි – දයා වයමන්

නිෂ්පාදන කණ්ඩායම -

නිෂ්පාදනය – තරංග රාජකරුණා රාජපක්ෂ

රචනය - සශ්‍රික වීරක්කොඩි

කැමරාකරණය - පැතුම් ධනංජන

කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර

අංග රචනය – වසන්ත පූර්ණවංශ

සංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුබසිංහ

සටන් අධ්‍යක්ෂණය - රිටිගල සුමේධ

සංස්කරණය - වාසුර එදිරිසූරිය / මධුවන්ත

නිෂ්පාදන කළමනාකරණය - මංජුල ගුණවර්ධන

සහාය අධ්‍යක්ෂණය - උදය ප්‍රසන්න

ගායනය – දුමාල් වර්ණකුලසූරිය

තාක්ෂණික උපකරණ සැපයීම - ස්ටුඩියෝ ආර්ට්බීට්