වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ මතක සිහිවටන දෙදිනක් පුරා ප්‍රදර්ශනයට

සිනමාවේ මතක සිහිවටන දෙදිනක් පුරා ප්‍රදර්ශනයට

ඒ. පී. විජේරත්න සිංහල සිනමාවේ මතක සුරකින සංරක්ෂකයෙක්. පැරණි සිනමා සඟරා, ඡායාරූප, ග්‍රැමෆෝන් තැටි සහ ගීත කලාකරුවන් පිළිබඳ තොරතුරු රැසක් ඔහුගේ මේ මතක එකතුවට ඇතුළත්.

මේ සියල්ලෙහි වටිනාකම කලාවට ලැදි සැමදෙනා සමඟින් බෙදා හදා ගන්න ප්‍රදර්ශනයක් පැවැත්වීම ඔහු සිදු කරන්නේ වගකීමෙන්. මේ වසරේත් ඒ අපූරු සිනමා ප්‍රදර්ශනයට දින වකවානු වෙන් කරලා. ඒ ගැන අපි ඔහුගෙන් විමසමු.

* මෙවර ප්‍රදර්ශනයේ විස්තර පළමුවෙන් සඳහන් කරමු?

‘සොඳුරු අතීතයේ මතක සුවඳ’ මෙවර ප්‍රදර්ශනය සුවිශේෂ එකක්. එහිදී මම වසර පනහක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇගයීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණ මේ ප්‍රදර්ශනයට ඇතුළත් කරලා තියෙනවා.

ඒ අනුව හර්බට් එම්. සෙනෙවිරත්න, චිත්‍රානන්ද අබේසේකර, ආරියරත්න කහවිට, කරුණාරත්න අබේසේකර සහ සිරිල් ඒ. සීලවිමල යන මේ දැවැන්තයන්ගේ නිර්මාණ හා ජීවන තොරතුරු එයට ඇතුළත් වෙනවා.

ඊට අමතරව බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ජාතිය අවදි කළ නාට්‍යකරුවෝ, නූර්ති ගී ගායකයෝ, කලා සඟරා, පැරැණි ගී, ග්‍රැමෆෝන් තැටි හා යන්ත්‍ර, 50, 60, 70 දශකවල නිර්මාණය වූ චිත්‍රපටවල ඡායාරූප, එකල කොළඹ අවට පැරැණි ඡායාරූප, කොළඹ අවට සිනමා ශාලාවල ඡායාරූප, පටිගත කිරීමේ යන්ත්‍ර හා පැරැණි රේඩියෝ ආදිය ඇතුළුව පැරැණි මතක සටහන් රාශියක් එයට ඇතුළත්. මෙවර ප්‍රදර්ශනයේ විජය කුමාරණතුංගයන් වෙනුවෙන් විශේෂ ස්ථානයක් වෙන් කෙරෙනවා.

* මෙතරම් වටිනා මතක සටහන් එකතු කිරිම ආරම්භ කළ ඒ අවදිය පිළිබඳ සිහිපත් කළොත්?

පොත්, පත්තර බැලීම වගේම ඒවා පරිස්සමට එකතු කිරීමත් කුඩා කාලයේ පටන්ම මගේ විනෝදාංශයක් වෙලා තිබුණේ. සිනමාව කලාව පිළිබඳ මේ සොඳුරු මතක රැස් කිරීම ආරම්භ කළේ 1968 වසරේදී කොළඹ රැකියාවට පැමිණි පසුවයි. ඒ කාලයේ නිවාඩු ලැබෙන හැම වෙලාවකම මම චිත්‍රපට නරඹන්නත් සඟරා බලන්නත් පුරුදු වුණා. ඒ වගේම ඒවා පරෙස්සමට තියා ගන්නත් මට හිතුණා.

ඔය කාල වකවානුවේදී කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මට ව්‍යාපාරික ස්ථානයක් ලබා දුන්නා. ඒ අනුවයි මට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අලෙවි නියෝජිතයෙක් ලෙසින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ.

ඒ අනුව මට මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ චරිත හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ නිර්මාණ එක් රැස් කළා. එදා පළ වූ චිත්‍රවාහිනි, දීපශිඛා, ආරාධනා, කලා, සිත්සර, චින්තාමණි, සිනමාදීප, විජය ජෝති, විසිතුර, සුරතුර, සත්සර, නව රිදී තිරය වැනි බොහෝ සඟරා මම ඒ කාලයේදි එක් රැස් කළා. සරසවිය පුවත්පතේ 1963 මුල් යුගයේ මුල් පිටු තවමත් මා ළඟ සුරැකිව තියෙනවා. මේ කාලය පුරාවට ඡායාරූප විස්තර 1500 ටත් අධික ප්‍රමාණයක් මා සතුයි. මේ හැම දේම මා එක් රැස් කළේ ආසාවෙන්. ඒ ගැන තියෙන්නේ ලොකු තෘප්තියක්.

* ඔබ තනිවමයි මෙවැනි දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන්නේ?

ලබන 26, 27 දෙදින ඇල්විටිගල නිවාස සංකීර්ණයේ එච් 2 හි පිහිටි මගේ ව්‍යාපාරික ස්ථානයේදියි මෙම ප්‍රදර්ශනය පැවැත් වෙන්නේ.

ඒ වෙනුවෙන් දින දෙකක් පුරා මම මගේ පොත්හල වසා තබනවා. එතරම් කැප කිරීමක් මම කරන්නේ මේ සඳහා තියෙන දැඩි කැමැත්ත නිසයි. ඒක මට ලොකු සතුටක්.

මේ සියලුම දේ මම බොහොම පරිස්සමට තියාගෙන ඉන්නේ. ඒත් හැමෝම සමඟින් ඒ දැනුම මම බෙදා ගන්න කැමැතියි. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඒ වෙනුවෙන්.

මේ වෙනුවෙන් මතකයේ රැඳුන ගී සම නිෂ්පාදක තිලක් චන්ද්‍රසේන වැලිකල විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔහුත් සංරක්ෂකයෙක්. ඊට අමතරව රත්මලානේ නිහාල් විජේවර්ධන, එම්. ඒ. රවීන්ද්‍ර, චන්ද්‍රකාන්ති ධර්මවර්ධන, අජිත් ජෝතිය කරසිංහ, ගීත රචක බන්දුල ජයසිංහ, රොහාන් සෙනෙවිරත්න, කුමාරි හේවගේ මට උදව් උපකාර කළා.

කලා කිර්ති එඩ්වින් ආරියදාස, ගුවන් විදුලි නිවේදක ආරියදාස පීරිස්, ප්‍රවීණ ගායිකා මල්ලිකා කහවිට, අනුලා සීලවිමල යන මහත්ම මහත්මීන්ද මේ කාර්යය වෙනුවෙන් කළ උපකාරයත් මේ අවස්ථාවේ විශේෂයෙන් සිහිපත් කරනවා.

* මෙවැනි වූ කටයුත්තක් සිදු කිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ?

ඇත්තටම මෙය අධ්‍යාපනික ප්‍රදර්ශනයක්. සිංහල සිනමාව පැරැණි වූ දේ. දැනුම සියළුම දෙනා සමඟින් බෙදා හදා ගැනීමයි මගේ අරමුණ. අනෙකුත් හැම වර්ගයේම ප්‍රදර්ශන මෙරට පුරා පැවැත්වෙනවා. එහෙත් සිනමාව පිළිබඳ එවැනි වූ ප්‍රදර්ශන නැහැනේ. මම මේ ඉටු කරන්නේ එහි වගකීමයි.

සමාජය වෙනුවෙන් වූ යුතුකමයි. මම මේ කාර්යයට කැප වී සිටින්නේ බොහොම සතුටින්. ඉදිරියටත් එය සාර්ථකව කරගෙන යාම මගේ අරමුණයි. 0774803047 දුරකථන අංකයෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකියි.