වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




Happy New Year ඉන්දීය මාධ්‍යවේදිහු ෂාරුක් ට පාඩමක් උගන්වති

Happy New Year ඉන්දීය මාධ්‍යවේදිහු ෂාරුක් ට පාඩමක් උගන්වති

බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් හෙවත් කිං ඛාන් බොලිවුඩයට පමණක් නොව ලොව පුරා ආකර්ශනය දිනා ගත් තරුවක්. කෙතරම් අලුත් නළුවන් පැමිණියද 48 වැනි වියේ පසුවන ඔහුහට තවමත් අංක එක හිමි වී ඇත. එපමණක් නොව කිං ඛාන් ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ පළමු නළුවාද වේ.

මේ දිනවල කිං ඛාන් ගැන කතාබහට ලක් වෙන මාතෘකාව වී ඇත්තේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය යි. ඒ ඔහු රංගන දායකත්වය ලබා දෙන Happy New Year චිත්‍රපටය යි. එය හෙට (24) සිට තිරගත වීම ආරම්භ කෙරෙන අතර එහි ෂාරුක් සමගින් දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, බෝමන් ඉරානි, විවාර් ඛාන්, සෝනු සෝද් සහ ජැකි ෂරොෆ් රංගන දායකත්වය ලබා දෙති. යෂ් රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කරන Happy New Year අධ්‍යක්ෂණය ෆාරා ඛාන් සහ නිෂ්පාදනය ගෞරි ඛාන් විසිනි. අමෙරිකානු ඩොලර් මිලියන 24ක පිරිවැයක් දරා නිපැයූ මෙම චිත්‍රපටය හින්දි, දෙමළ සහ තෙළිඟු බසින් තිරගත වීමට නියමිතව ඇත. ක්‍රියාදාම මෙන්ම හාස්‍යයද රැගෙන එන මෙම නවතම චිත්‍රපටයේ කිං ඛාන් ස්වරූප පහකින් චරිත මවන්නේය. ඒ අතරේ රන් පැහැ ගැන්වූ හිස කෙස් විලාසිතාව සහ නිල් පැහැ ඇස් ඔහුගේ ස්වරූපය වෙනස්ම ආකාරයේ එකක් බවට පත් කර තිබේ.

Happy New Year චිත්‍රපටය ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරේ ෂාරුක් දායක වන තෙවැන්නයි. ඔහු මීට පෙර ෆාරා ඛාන්ගේ Main Hoon Na, Om Shanthi Om චිත්‍රපට දෙකට රංගන දායකත්වය ලබා දුන් අතර දීපිකා සමගින් රංගනයේ යෙදෙන තෙවැනි අවස්ථාවද වේ. ඒ අතරේ වූ Chennai Express පසුගිය වසරේ අති සාර්ථක අයුරින් ලොව පුරා තිරගත විණි. පසුගිය කාලයම ෂාරුක්, දීපිකා ඇතුළු Happy New Year කණ්ඩායම වෙහෙසුනේ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙනි. ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනි වාඩසටහනක් වන Comedy Night With Kapil වැඩසටහනෙහි පසුගිය සති අන්තය වෙන් වූයේ Happy New Year චිත්‍රපටය වෙනුවෙනි. එදින ෂාරුක්, දීපිකා, අභිෂේක් ඇතුළු පිරිස ඒ සඳහා සහභාගි වූහ. එය දීපාවලි උත්සවය වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ලෙසින් ඉදිරිපත් කෙරිණි.

පසුගියදා Happy New Year චිත්‍රපටය වෙනුවෙන් වූ තවත් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පිරිසක් කිං ඛාන්හට අපූරු පාඩමක් ඉගැන්වූහ. එදින මාධ්‍ය හමුව පවත්වන්නට නියමිතව තිබූ වේලාව පස්වරු 4.30 වුවත් ෂාරුක් එම ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රි 8.00ට පමණය. ඒ වන තෙක් රැඳී සිටි මාධ්‍යවේදින් ෂාරුක් පැමිණි පසු පිටව ගොස් ඇත්තේ මෙය මෙසේ සිදු වූ ප්‍රථම අවස්ථාවද නොවන බව පෙන්වාදී ඔහුට බැණ වැදීමෙන්ද පසුවයි.

කිං ඛාන්ගේ රංගනය ඇතුළත් තවත් චිත්‍රපටයක් මේ වසරේ තිරගත වීමට නියමිතව තිබුණද Happy New Year චිත්‍රපටය හේතුවෙන් එය ලබන වසර දක්වා කල් දමා ඇත. ඒ අනුව මනේෂ් ෂර්මා අධ්‍යක්ෂණය කළ ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කළ Fan චිත්‍රපටය ලබන වසරේදී ඔබට නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.