වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




හැම තැනම කහමල් පෙති වියනක් දුටුවා

හැම තැනම කහමල් පෙති වියනක් දුටුවා

සුමනා අමරසිංහ මරණාසන්න මොහොතේ අත්දැකීම් විස්තර කරයි

මිදුලේ උන් වී කුරුලු ජෝඩුව ‘ක්‍රීස්............ ක්‍රීස් ...........’ යන හඬ නංවමින් ඉගිළ ගියේ මා දුටුවනම ය. හාන්සි පුටුවේ හාන්සි වී උන් දෙස බලාගෙන සිටි සුමනා අමරසිංහ වී කුරුල්ලන් ඉගිළ ගියේ මන්දැයි බලන්නට හාන්සි පුටුවෙන් නැගිට්ටාය. ඇගේ නෙතත් මගේ නෙතත් මුණ ගැසුණේ එක්වරම ය. ඇය සිනාසුනාය. ඒ ඇගේ සුපුරුදු සිනහව මුවට නංවමිනි.

“ඒ කියන්නේ සුමනා අක්කාට හොඳටම සනීපයි.”

මම ඈට පිළිතුරු සිනහවකින් පිළිතුරු දෙන අතරම පැවසීමි. ඈ අසලම සිටියේ රෝයි අයියා ය.

“දෙයියනේ කියලා දැන් සුමනාට හොඳටම සනීපයි.”

ඔහු පැවසුවේ සිය පෙම්බරියගේ සුවපත්වීම නිසා ඇතිවන සතුටත් තුරුළු කරගෙන ම ය.

“දැන් නම් මට හොඳටම සනීපයි. සෙන්ට්‍රල් හොස්පිටල් එකේ වෛද්‍ය හේමාල් ප්‍රනාන්දුගේ හා එහි කාර්ය මණ්ඩලයේ පිහිටෙන් යාන්තමට මගේ ජීවිතය බේරුණා.”

වෛද්‍ය හේමාල් ප්‍රනාන්දුට යළි යළිත් ඇය පින් දුන්නාය. සුමනා අමරසිංහ හදිසියේම මුහුණදුන් මේ විපත්තිය සිදුවූයේ ඉන්දියාවේදීය. ඔවුන් ඉන්දියාවට ගියේ වේලක්කන්නි පල්ලියට භාරයක් ඔප්පු කරනු පිණිසය. ඉන්පසු තිරුපති කෝවිල වැඳ පුදාගත් ඔවුන්ට විසිතුන් වැනිදා නැවත පැමිණීමට අවශ්‍ය වුවත් එසේ පැමිණීමට නොහැකි බැවින්, ඉන් පසුදා පැමිණීමට ඔවුහු තීරණය කළහ. සුමනා ඒ නිසා කවදත් කැමැති මොසැම්බ් එකක් බීමට තීරණය කළේ මේ අතර ය.

“ඒ බීමෙන් පස්සේ තමයි මේ සියලු කරදර පටන් ගත්තේ. පැය කීපයකට පස්සේ බඩ රිදෙනවා කියලා ඈ කිව්වා. මුලින්ම අපි හිතුවේ මේක පුංචි අජීරණයක් වෙන්න ඇති කියලයි. නමුත් දිගටම වගේ වමනයත්, අජීරණයත් තිබුණා. තිබුණු ගමන් මහන්සියට මම ඇඳට ගියේ අසනීපය වැඩිවුණොත් මාව ඇහැරවන්න කියලා චුට්ටක් විතර ඇහැ පියව ගන්නයි. ඒත් රෑ හොඳටම අසනීපය වැඩි වුණත් සුමනා මට කතා කළේ නැහැ. උදේ මම නැඟිටින විට ඇගේ පිළිවෙළ මට ඇල්ලුවේ නැහැ. හොඳටම අමාරුබවක් තමයි මම ඇගෙන් දැක්කේ. ඉක්මනටම ඇඳුම් ටික බෑග්වලට දැම්ම ඈ සූදානම් වුණේ ලංකාවට යන්න . කොහොම වුණත් ගුවන්යානයට නැග්ගට පස්සේ ‘සිහින ලොවක්’ චිත්‍රපටයේ නිෂ්පාදක වගේම කීත් රංගත් දුරකතන ඇමතුමක් දුන්නා. බොහොම අමාරුවෙන් ඒ දුරකථන ඇමතුමට උත්තර දුන්න සුමනා ලංකාවට ගිහින් ගන්නම් කියලත් ඔවුන්ට කිව්වා. රාත්‍රී 9.00ට විතර අපේ ගුවන්තොටුපළට ආව අපි ඉක්මනින්ම වාහනයක් ගෙන්නවා ගත්තේ සුමනාව රෝහලට අරගෙන යන්න. ඈ වාහනයට නැග්ගා විතරයි මගේ ඇඟට කඩාගෙන වැටුණා. සුමනා සුමනා කියලා මම තට්ටුවක් දාලා කතා කළත් සුමනා නොවෙයි කතා කළේ. පුළුවන්තරම් ඉක්මනට අපිව සෙන්ට්‍රල් එකට අරගෙන යන්න කියලා අපේ රථයේ රියැදුරාට මම කිව්වේ මේ අතරදි.”

මෙවැනි හදිසි අනතුරකට කිසිදා මුහුණ දී නොමැති රෝයි සුමනාව වත්තන් කර ගත්තේ ඔහුගේ හදවත සැලෙමින් තිබෙද්දීය. ඔහුගේ සිතට ඇතිවූ කනගාටුව කෙතරම් ද යත් ඔහු මෙලෙස කනගාටු වූයේ තම මව් මියගිය දිනයේ මෝචරියේදී ඇගේ රුව දුටු මොහොතේය. රියැදුරා කෙතරම් දක්ෂ වී ද යත් විනාඩි පහළොවක් ඇතුළත සුමනාව සෙන්ට්‍රල් රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළේය. වෛද්‍ය හේමාල් පැමිණීමෙන් පසු තිබුණු අනතුරෙහි ස්වභාවය මත සුමනාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. එහෙන් මෙහෙන් ගහන කටු හා වයර් දකින්නට නොකැමැති වූ රෝයි නිවෙසට ගොස් නතර වූයේ දේව මෑණියන් අසල ය.

“මම දේව මෑණියන්ට යාඥා කළේ මගේ සුමනාට වුණු දේ කියලයි. ඈ ඉක්මනින් සනීප කරලා දෙන්නත් කියලා මම දේව මෑණියන්ට කිව්වා. ඊට පසුදා මම යන විට සුමනා දෙනෙත් ඇරලා මම මේ කොහේද ඉන්නේ කියලා ඇහැව්වා. එතකොට දැනුණු සතුටට මගේ දෙනෙත්වල කඳුළු නැගුණා. ඒත් එදා රාත්‍රියේ නැවතත් ඇයට අමාරු වුණා. ඈ ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා වෛද්‍යවරු කිව්වාට පස්සේ මගේ හිතේ ඇතිවුණු වේදනාව කොයිතරම්ද කියලා මට කියන්න වචන නැහැ. නැවතත් මට මතක් වුණේ මගේ අම්මා මියගිය දවස . නැවතත් මම දේවමෑණියන්ට යාඥා කළේ මගේ සුමනාව රැක දෙන්න කියලා”

ගහට පොත්තවගේ හිටිය රෝයි - සුමනා යුවළගෙන් එක් අයකු අහිමි වේයැයි කීම කෙලෙස නම් රෝයි දරා ගන්නද? ඒත් ඔහුගේ ආදරයේ තරම සිහිපත් කරමින් වෛද්‍යවරයා පවසන්නේ සුමනා ගැන බලාපොරොත්තු තබා ගත හැකි බවත්, ඔහු වාසනාවන්ත සැමියකු බවත් ය. ඈ කතා බහ නොකළ ද යළිත් ඇගේ හදවත පණ ගැන්වී තිබුණේ රෝයි - සුමනා ආදරයේ අරුමය සිහිපත් කරමිනි.

“මේ සියලු කටයුතු සිදු වෙද්දී කලා ක්ෂේත්‍රයේ සියල්ලන්ම මට හයියක් වුණා. ඊට පිට අය වුණත් එහෙමමයි. සියල්ලන්ම මට පුදුම විදියට උදව් කළා.

සුමනා කතාබහ නොකළත් ඈව ලංකාවට අරගෙන ආදා පටන් හොස්පිට්ල් එකෙන් එනතුරුමත් අපි දෙන්නට ආදරය කළ හැමෝම අපි වටා එක් රොක් වුණේ පුදුම විදියට. ඒ විතරක් නොවෙයි මුදල්වලින් වගේම වචනවලින් මාව වඩාත් දිරිමත් කරන්නත් ඔවුන් අමතක කළේ නැහැ. එන්න බැරිවුණ අය ඒ අතරේ දුරකථන ඇමතුම් දුන්නා. සුමනට ආරක්ෂාව පිණිස බෝධිපූජා තියලා තිබ්බා. මුළු රට පුරාම ඒවා සංවිධානය වුණා. මාධ්‍ය මිතුරන් වුණත් අපට එකම විදියට උදව් කළා. ඒ හැමෝටමත් ස්තූතිවන්ත විය යුතුයි.”

උදව් කළ ඒ සියල්ලන්ටම ඔවුන් ස්තූතිය පළ කළේ හදවතෙන්ම ය . මේ සිදුවන කිසිවක් පිළිබඳ සුමනාට වගේ වගක් නැත.

“මම දින විසි එකක්ම රෝහලේ සිටියා. ඒත් ඒ තරම් දවස් ගණනක් ගත වුණාද කියලත් මට හිතා ගන්නට බැරි වුණා. මම මුලින්ම දැක්කේ රෝයිගේ මුහුණ. මේ වනවිට රෝහලේ සියලු දෙනාත්, ඒ අවට සිටිය ත්‍රීරෝද රථවල අය වගේම හැමෝම මාව බලන්න ඇවිත්, එහෙම බැරි වුණානම් අඩුම ගණනේ මගේ සැපදුක් විමසලා වත් තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තූතියි. ඒ වගේම සෙන්ට්‍රල් හොස්පිටල් එකේ මෙඩිකල් ඩිරෙක්ටර් ඩොක්ටර් හර්ෂ බරණගේටත්, ඩිරෙක්ටර් ඔපරේෂන් ඩොක්ටර් නිහාල් රත්නායකටත් විශේෂයෙන්ම ස්තූති කළ යුතුයි. ඒත් එක්කම සිහින ලොවක් චිත්‍රපටයට සම්බන්ධ සියලු දෙනා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්වල ඉඳගෙන මට බෝධි පූජා තියලා සෙත්පතලා තිබුණා. නිතරම කතා කරලා සුවදුක් විමසලා තිබුණා. ඒ සියලු දෙනාට මා ස්තූතිය පළ කරනවා.”

සුමනා සිය නීරෝගී බව පතා කටයුතු කළ සියල්ලන්ටම සුබ පතයි. ‘සිහින ලොවක්’ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ මස 25 වැනිදාය.

“ඒ චිත්‍රපටය තිරගත කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු කරට අරගෙන කළ ප්‍රවීන් ජයරත්නට අපි විශේෂයෙන්ම ස්තූති විය යුතුයි. මොකද මේ කරදර අස්සේ අපිට ඒ ගැන හොයන්න බැරි වුණා. ඒත් ඔහු චිත්‍රපටයේ සියලුම කටයුතු පිළිවෙළකට කරලා ඇමරිකාවට යවලා තිබුණේ අපට තිබුණු ලොකු බරක් සැහැල්ලු කරමින්. 25 වැනිදා සිදුවන කටයුත්තටත් අපි සුබ පතනවා.”

සුමනා බේරා ගැනීමේ වැඩපිළිවෙළ දියත් වෙද්දී ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක ය. ඒ අතරතුර ඇය දුටුවේ අපූරු දසුනකි.

“මම නිදාගෙන නේ හිටියේ. එකපාරටම මම ඇස් ඇරපු බව මට තවමත් මතකයි. මගේ ඇස් දෙකට පෙනෙන මානයේ හැමතැනම මල් පෙති පිරිලා තිබුණේ වියනක් වගේ. ඒ වියනේ තිබුණේ කහ පාට හා ඔරේන්ජ් පාට මල් පෙතියි. ඒ වියන දිහාම මම බලාගෙන ඉන්න අතරේ එකපාරටම ආවා උහුලන්න බැරි විදියේ ඇස් නිලංකාර කරන එළියක් ආවා. ඒ වෙලාවේ මම ඇස් පියා ගත්තා.”

ඊට පස්සේ ඇයට නැවතත් සිහිය ලැබුණි.

“මෙතෙක් කාලයකට මේ දේවල් මම විශ්වාස කළේ නැහැ. ඒත් මම දැන් ඒ දේවල් ගැන විශ්වාස කරනවා. ඒ අපට නොපෙනෙන බලයක් අප අවටම තිබෙනවා කියන හැඟීම මගේ සිතේ ඇති වුණා. විශ්වාසයක් ඇතිවුණා.”

රෝහලෙන් සුමනා පැමිණියේ ඇගේ කොට්ටාවේ පදිංචිව සිටින සොහොයුරියගේ නිවෙසටයි. යමුනා හා චාන්දනී යන දෙසොහොයුරියෝ තම සොයුරියව බලා ගත්තේ මවක පරිද්දෙනි.

“ ඩොක්ටර් කිව්වේ සති කිහිපයක් විවේක ගන්න කියලයි. ඊට පස්සේ ඒ කාලය අවසාන වුණාට පස්සේ මම මගේ ගෙදරට යනවා.”

සුමනා අමරසිංහ නම් අපේ නිරහංකාර රංගන ශිල්පිනිය පවසන්නේ පැමිණි දුක් පැණිරසයැයි යන පැරණි කියමන අපට සිහිපත් කරමිනි.

සුපුරුදු ලෙසම මෙතෙක් ගෙවා දැමූ වසර හතළිහක ප්‍රේමය යළිත් වරක් අලුත් කරමින් රෝයි සුමනාගේ ජීවිතයේ මේ පෙරළෙන්නේ නැවුම් පිටුවකි. රෝයි සුමනාව සිය හදවතට තුරුළු කරගත්තේ ආයෙත් කිසිම දිනක ඔබගෙන් වෙන් නොමවන්නෙ මැයි යන පැතුමත් සමඟිනි. ඒ සොඳුරු නවාතැනෙන් සමුගන්නට කාලය පැමිණ ඇත. ඒ මෙසේ කියමිනි.

සුමනා අක්කේ, ඔබට නිරෝගී සුව, ඔබ දෙපළටම නිරෝගී සුව ලැබේවා යන්නය. එසේ පතමින් සරසවිය අපි ඔබට සුබපැතුම් මෙසේ ගෙන එන්නෙමු.