වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




පියෙකුගේ ඇස නැඟුණ දරු සෙනෙහසේ උණු කඳුළු

පියෙකුගේ ඇස නැඟුණ දරු සෙනෙහසේ උණු කඳුළු

ගායක විජිත් ද සිල්වාගේ දෙවැනි පුතු මෙලොව හැර යයි

ආදර ලෝකය අපගේ

ඇයි සිඳ බිඳ වැටුණේ

බැඳි අත් ගිළිහී නොදැනී

තනි වී ගං ඉවුරේ . . .

ගායන ශිල්පී විජිත් ද සිල්වාගේ හඬින් ඒ ගීතය ගැයුණේ කලකට පෙරාතුවය. නමුදු සැබැවින්ම ඔහුගේ ආදර ලෝකය නම් එසේ බිඳ වැටුණේ නැත.

සතුට, සෙනෙහස දෝරෙ ගැලූ පුංචි කැදැල්ලක තම දයාබර බිරිය රත්නා නිල්මිණි සමඟින් ඔහු ඒ සොඳුරු ආදර ලෝකය ගොඩ නගා ගත්තේ සංසාරයේ පතා ආ විලසිනි.

කාලයාගේ ඇවෑමෙන් ඒ ආදර ලෝකයට පුංචි අමුත්තන් දෙදනකුත්, අමුත්තියකුත් එක් වූයේ විජිත්ගේත් - රත්නාගේත් ජීවිතයට නැවුම් බලාපොරොත්තු හා ප්‍රාර්ථනා එක් කරමිනි.

වැඩිමලා රනුෂ වූ අතර මද්දුමයා වූයේ සචින්ය. නිරුෂි පවුලේ බඩපිස්සිය වූවාය. මවුපියන්ගේ හා නෑ හිතවතුන්ගේ ආදරයත්, රැකවරණයත් මැද ඔවුන් හැදී වැඩුණේ මල් ගොමුවක රිසි සේ සැරිසරන සමනළ පැටවුන් විලසිනි.

ඒ ජීවිතය එසේම තිබුණා නම් කෙතරම් හොඳදැයි බොහෝ කලකට පසුව විජිත්ට සිතිණ. පුංචි සුරතලකු ලෙස දන ගාගෙන විත් තමාගේ සුළැඟිල්ලේ එල්ලෙන මද්දුමයා, සචින් පුතුගේ කිරි දත් අතරින් නැඟි සිනහව ඔහු මනසේ ඇඳී එසැනින් මැකී ගියේ විදුලිය රේඛාවක් මෙනි.

‘අනේ මගෙ පුතේ උඹට මේ මොකද වුණේ, මගේ දෙයියෝ’

ඉහ අත් බදා හඬා නොවැටුන ද, ඔහුගේ දෑස් මතින් රූරා වැටෙනා කඳුළු බිඳු නිහඩව කියා පෑවේ එවන් වූ හදවතේ දෝංකාරයයි.

හුරතලේට කවි කියමින් එහේ, මෙහේ දුව ගිය සචින් පුතා කරදඬු උස් මහත්ව යොවුන් වියට එළඹියේ කඩවසම් රූපකායකට උරුමකම් කියමිනි. එහෙත් ඒ වයසේ පසුවන බොහෝ ගැටවුන්ට උරුම ‘ඉළංදාරිකම’ වෙනුවට ඔහුට තිබුණේ විනයගරුක බවකි. හික්මීමකි. පුංචි සන්ධියේ පටන් මවුපියන් කෙරෙහි දැක් වූ ‘ගෞරවනීය සෙනෙහස’ වයස අවුරුදු 21 ක් වූ පසුව ද මේ ඉළන්දාරියා වෙතින් ගිළිහී ගියේ නැත.

සිය සොයුරාට මෙන්ම සොයුරියට ද ඔහු පෑවේ අසීමිත සෙනෙහසකි. ඒ සෙනෙහස, ළෙන්ගතුකම මෙතරම් ඉක්මනින් තමන්ට අහිමි වේ යැයි සචින්ගේ මවුපියන් මෙන්ම සොයුරන් ද සිතන්නට නැත.

ඒත් ඒ සියල්ල දැන් අලුයම බොඳ වූ සිහිනයක් බවට පත් වී හමාරය. අකලට මිලින වූ සුවඳැති මලක සොඳුරු මතකය පමණක් ඉතිරි කර සචින් කාටත් නොකියාම යන්නට ගියේය. යන්නම ගියේය. යොවුන් වසන්තයේ සොඳුරු පැතුමන් හදවතේ පුරවාගෙන සිටි මේ අවිහිංසක මානවකයා රුදුරු මරුවා විසින් එක් නිමේෂයකදී සිය වසඟයට ගත්තේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි.

විජිත් තම ජීවිතයේ අවාසනාවන්තම, මූසලම දිනය ළඟ මතකය රඳවන්නේ අපේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසා වග අප දනිමු. කුරුලු හදවතකින් යුත් මේ සංවේදී මිනිසා අද අප ළඟ අසරණ දෑසින් බලා සිටින්නේ ජීවිතය නම් මේ යැයි අපට පසක් කරමිනි.

පුතා සචින් ඉපදුනේ 1993. 11. 29 වැනිදා. එයා ඉගෙන ගත්තේ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ. ඉගෙන ගන්න වගේම ක්‍රීඩාවටත් පුතා දක්ෂයි. කාගේත් හිත දිනාගෙන, කා එක්කත් සතුටෙන් පුතා කාලය ගත කලේ. එයා සේවය කළේ  Nation Trust Bank එකේ. බොරැල්ල ශාඛාවේ. දවස් තුනකට ඒ කියන්නේ පහුගිය 06, 07, 08 දවස්වල එයාව අලුතින් ආරම්භ කරන්නට නියමිතව තිබූ මිනුවන්ගොඩ බ්‍රාන්ච් එකේ සේවයට යොදවලා තිබ්බා. ඒක open කරන්න තිබුණේ 09 වැනිදා.

එසේ පැවසූ විජිත් මෙහොතක් නිසොල්මන්ව සිටියේ කිසිවක් කර කියා ගත නොහැකි කිරි දරුවකු විලසිනි. දෑස් කෙවෙනි මතින් එළියට පනින්නට තතනන කඳුළු බිඳු ආයාසයෙන් මැඩ පවත්වා ගත් ඔහු නැවතත් මෙලෙස සිය සෝබර හඬ අවදි කළේය.

එදා 08 වැනිදා පෝය දවස. මමයි, නෝනයි දෙන්නම රෑ 9.45 ට විතර call කරලා ඇහුවා පුතා කොහෙද ඉන්නේ කියලා. තවම වැඩ කියලා එයා කිව්වා. කොහොම හරි රෑ 12.05 ට විතර පුතා ගෙදර ආවා. රෑ කෑමත් කලා ආවේ කියලා නොකාම තමයි නින්දට ගියේ.

ඉන් පසු උදාවූයේ විජිත් සේම රත්නා ද සිහිනයෙන්වත් නොසිතූ, නොපැතූ අවාසනාවන්ත ඉරණමේ ආරම්භයයි.

පුතා සාමාන්‍යයෙන් නිදා ගන්නේ එයාගේ ආච්චි අම්මත් එක්ක. පාන්දර 2.00 ට විතර අම්මා ඇවිත් කිව්වා පුතා කෙඳිරි ගඟා ඇඳේ එහාට මෙහාට පෙරලෙනවා කියලා. නෝනයි, මායි ඉක්මනටම ගිහින් බැලුවා. පුතා වේදනාවෙන් වගේ ඇඹරෙනවා. දත, කට පූට්ටු වෙලා. පුතාට කිසිම රෝගාබාධයක් තිබුණෙ නෑ. පස්සේ අපි ඉක්මනට පුතාව ඒ ලඟම තියෙන පෞද්ගලික රෝහලකට එක්කරගෙන ගියා. ඒත් . . .

ඉන් පසු උදා වූයේ මෙලොව ජීවිතයත් එලොව ජීවිතයත් අතර දෝලනය වන අයිතිය දිනා ගැනීමේ මහා අරගලයේ තීරණාත්මක පළමු තත්පරයයි.

පාන්දර 3.00 ට විතර පුතා . . .

යළිත් නිහැඬියාව රජයයි. විජිත් නැවැත් වූ තැනින් යළි කතාව ඉදිරියට ගෙන යෑමේ අභියෝගය ඉදිරියේ ඔහු මෙවර ද පරාද වූයේ නිහඬ කඳුළට ඒ කතාව කියන්නට ඉඩ හරිමිනි.

කෙසේ හෝ සචින් ද සිල්වාගේ මරණයට නිශ්චිත හේතුවක් තවම සොයා ගෙන නැත. මේ වන විට මෘත දේහයේ කොටස් විශේෂ පරීක්ෂණයක් සඳහා ඉන්දියාවේ පරීක්ෂණාගාරයකට යවා තිබේ. මරණයට හේතුව කුමක් වුව ද නැවත විජිත්ට හා රත්නාට රටක් වටිනා ඒ සචින් පුතා නොලැබෙන වග ඉඳුරා විශ්වාසය.

පුතාගේ මරණය ආරංචි වුණාම අතිගරු ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා ශෝකය ප්‍රකාශ කළා. ශිරන්ති රාජපක්ෂ මැතිණිය හැමදේම සොයා බලලා ගොඩක් උදවු කළා. ‘කඩුවෙල කලා පවුර’ සංවිධානයේ සභාපති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන් මේ අවමංගල්‍ය කටයුතු ගැන ඉතා ඕනෑකමින් සොයා බැලුවා. මගේ අයියා සුදත් ද සිල්වාගේ හිතවතුන් සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවක පිරිස් මේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වුණා. ගායක, ගායිකා සංගමයේ මගේ සහෝදර කලා ශිල්පීන් හැමෝම වගේ මාත් එක්ක දුක බෙදා ගන්න එකතු වුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.

විජිත් මේ දුක්මුසු කතා පුවතට විරාමය තැබුවේ එලෙසිනි. එහෙත් නුදුරු දිනක තම පුතු වෙනුවෙන් ගැයෙන මේ අතිශය සංවේදී ගීතය විජිත්ගේ හඬින් ඔබේ දෙසවන් මත රැව් දෙන්නේ සදාතනික පිය සෙනෙහසක අරුමය පසක් කරමිනි.
 

සමනල අත්තටු සිඳී ගියේ ඇයි

ඉගිලෙන්නට කලියෙන්

අම්මා පෙවූ කිරි සුවඳත් තිබුණා

මිය යන මොහොතේදිත්

ඒ තරම්ම මට කිරි දරුවෙක් වී

සිටියේ ආදරයෙන්

බලාපොරොත්තුවෙ සිහින බොඳ වුණේ

නොසිතුව ලෙස මෙලෙසින්

මගෙ සුදු සචින් පුතේ – උපදින හැම භවයේ මගේම පුතකු ලෙසින් – අම්මට තුරුළු වෙයන්