වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මට දෙවියන් ලබාදුන් වටිනාම තෑග්ග ඉරංගිකායි

මට දෙවියන් ලබාදුන් වටිනාම තෑග්ග ඉරංගිකායි

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගගත වන තණ්හා රතී රඟා චිත්‍රපටයේ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු සිංහල සිනමාවට සුවිශේෂ වූ චරිතයක්.

චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසින් ඔහු සිනමාවේ අසීරු කාල පරාසයන්හිදී පවා සිනමාවට වූ දැඩි සෙනෙහසින් කළා වූ සේවය විශාලය.

චිත්‍රපට 61 ක් නිෂ්පාදනය කරමින් වාර්තාගත නිෂ්පාදනයකට හිමිකම් කියන සුනිල් ටී. අද පුදුම හතට පැමිණි වගයි. ඒ වුණත් ඔහු අද චිත්‍රපට ගැන නම් කතා නොකරාවි.

මන්ද යත් පුදුම හතට ඔහු පැවසූයේ තම සිත් ගත් කාන්තාවන් හත් දෙනා ගැන නිසාවෙන්. තම ජීවිතයේ හමු වූ පුද්ගලයන් අතරේ සාමාන්‍යයට වඩා විශේෂ වූ ඒ චරිත ගැන සුනිල් ටී. සඳහන් කළේ මේ අයුරින්.

‘සිනමාවේ වගේම පෞද්ගලික ජීවිතයේදී මට විවිධාකාර පුද්ගලයන් ඇසුරු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අතරේ ඇතැම් අය අපේ ජීවිතවලට සුවිශේෂ වෙනවා.

අද පුදුම හතට මම කියන්නේ මගේ ජීවිතයේදී ඒ ආකාරයෙන් හමු වූ කාන්තාවන් හත් දෙනෙක් ගැනයි. ඒ ඔවුන් අනිත් සාමාන්‍ය අයට වඩා වෙනස් නිසා. ඔවුන් සතු විශේෂත්වය නිසායි.

සෝනියා දිසා

සෝනියා දිසා මා කැමැතිම කාන්තා චරිත අතරේ සුවිශේෂ චරිතයක්. සිනමාවට පැමිණි මගේ ගමන වෙනස් කළ තැනැත්තිය ලෙසින් ද මම ඇය නම් කරන්න කැමැතියි. මට මතකයි මං චිත්‍රපට තුනක් නිෂ්පාදනය කරලා හතර වැනි චිත්‍රපටය නිෂ්පාදනය කරන විටදියි සෝනියා දිසා හමු වුණේ. ඇය එහි රංගනයට දායක වුණා. ඒ අවස්ථාවේදී ඇය මට චිත්‍රපට නිෂ්පාදනය කිරීම ගැන දුන් ඔවදන් මම අදටත් සිහිපත් කරනවා.

ඉන් පසුව අපි දෙන්නාම එකතුව ‘ජය අපටයි’ චිත්‍රපටය නිෂ්පාදනය කළා. එය අති සාර්ථක වුණා. එයින් ඇරැඹි ගමනේදි මට මෙරට ජනප්‍රිය සෑම නළුවෙක්ම නිළියක්ම හමු වුණා.

එය තමයි මේ සාර්ථක ගමනේ ආරම්භය වුණෙත්. අදටත් මම ඒ ගැන සිහිපත් කරන්නේ ගෞරවයෙන්. පසුව සෝනියා සමඟින් මට චිත්‍රපට දහතුනක් නිෂ්පාදනය කළා.

ආයෙමත් ඒ අතීතය දෙස හැරිලා බලන කොට දැනෙන්නේ සතුටක්. මේ සාර්ථකත්වය වෙනුවෙන් මම මගේ ගෞරවය සෝනියා දිසාට පුද කර සිටිනවා. ඒ වගේම ඇයගේ රංගනය ගැනත් මේ මොහොතේ පුංචි සටහනක් තබන්න මම කැමැතියි.

ඇය අපේ සිංහල සිනමාවේ දක්ෂ රංගන ශිල්පිනියක්. නපුරු, දුෂ්ඨ, සෙල්ලක්කාර චරිත වගේම අහිංසක චරිතයන් ද නිරූපණය කරමින් සම්මානයට පවා පාත්‍ර වූ ඇයගේ රංගනය සුවිශේෂ ලෙසින් මා දකිනවා.

ෂෙරීන් කුමාරතුංග

ෂෙරීන් කුමාරතුංග සිනමාවෙන් මට හමු වූ විශේෂ මිතුරියක්. ජීවන් කුමාරතුංග නළු මිතුරා නිසා තමයි ඇය මට හමු වුණේ. ජීවන් මගේ හොඳම මිතුරෙක්. ඔහු සිනමාවට පැමිණි මුල් කාලයේ පටන්ම ඒ මිතුරුකම තහවුරු වුණා.

ඉන් පසුව ඔහුගේ බිරිඳ ලෙසින් ෂෙරීනුත් මට හඳුනා ගන්න ලැබුණා. මම ෂෙරීන්ව දකින්නේ මිතුරු මිතුරියන්ට හොඳ මිතුරියක් ලෙසින්.

මම දැකපු දෙයක් තමයි යහළු යෙහෙළියන්ගේ ගැටළු, ප්‍රශ්නවලට ෂෙරීන් තමයි තීන්දු තීරණ දෙන්නේ.

සිය දෙනෙක් ඇය ළඟට ප්‍රශ්න කියාගෙන ආවත් ඒ කිසිම කෙනෙක් තරහ නොවෙන්න හැමෝටම උදව් කරන ගුණය ඇය ළඟ තියෙනවා.

ආදරණීය බිරිඳක් වගේම සෙනෙහෙබර මවක් විදියටත් ඇය සුවිශේෂයි. අතීතයේදී රංගනය නිසා වගේම වර්තමානයේදී දේශපාලනය නිසා ජීවන්ගේ කාර්යබහුලත්වය තේරුම් අරගෙන ඔහුට සහාය වෙමින් සිටින දිරිය බිරිඳක්.

ඉන්දියාවේ කළ සංචාරයකදී මගේ ජීවිතය නැතිවීමට ගිය මොහොතේදී ෂෙරීන්, නන්දනි අතපත්තු සහ තනුජා ෆොන්සේකා කළා වූ උපකාරය මට කවදාවත් අමතක කරන්න බැහැ.

ෂෙරීන්, නන්දනී සහ තනුජා සමඟින් එදා මගේ ජීවිතය බේරා නොගන්න අද මම ජීවතුන් අතර නැහැ.

නන්දනී අතපත්තු

මට මගේ ජීවිතයේදී හමු වූ සුවිශේෂ මිතුරියන් අතරේ නන්දනී අතපත්තු එක් අයෙක්. නන්දනී කියන්නේ මනුෂ්‍යත්වය අතින් ඉහළින්ම සිටින කාන්තාවක්.

අන් අයට උපකාර කිරීම මා දුටුවේ එදා ඉන්දියාවේදී මගේ ජීවිතය බේරා ගැනීමට කළ කැපවීමේදීයි.

නන්දනීත් අපේ රටෙන් සුරූපිනියන් අතරට එක් වුණා. ඇය තමයි 1986 වසරේදී මිස් ශ්‍රී ලංකා වුණේ.

ඒ වගේම ඇය ආදරණීය බිරිඳක්. නන්දනීගේ ආදරණීය සැමියා කෝලිත මගේ හොඳම මිතුරෙක්.

සැමියාග් ව්‍යාපාර කටයුතුත් බලාගෙන දියණියන් දෙදෙනෙකුගේ සෙනෙහසට මැදිව සාර්ථකව ජීවිතේ ගෙවන කාන්තාවක්. එවැනි වූ මිතුරියක් වීම ගැන මම ඇයට ස්තුතිවන්ත වෙනවා.

ඉරංගිකා ප්‍රනාන්දු

දෙවියන් වහන්සේ මට ලබා දුන් වටිනාම ත්‍යාගය ඇය තමයි. දුටු විගසම ඇය තමයි මා විවාහ විය යුතු කාන්තාව බව මට හැඟුණේ. එය තමයි මගේ ජීවිතයේ සිතූ සොඳුරුතම සිතිවිල්ල.

අපි විවාහ වෙනකොට ඇය චිත්‍රපට ගැන දැනීමක් තිබුණේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් මම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් කියලාවත් ඇය දැනගෙන තිබුණේ නැහැ. ආදරයට මම ඇයට කියන්නේ කිකී කියලයි.

ඇය ලැබුණේ මගේ වාසනාව නිසා. ඇය වගේ උගත් බුද්ධිමත් කාන්තාවක් මගේ බිරිඳ වුණු නිසා තවමත් මම දික්කසාද නොවී සිටිනවා.

කලා ක්ෂේත්‍රයේදී ඇති වන ප්‍රශ්න හමුවේ ඇයගේ බුද්ධිමත් ක්‍රියා පිළිවෙතයි එහි සවිමත් අඩිතාලම බවට පත් වුණේ.

කිකී මට මගේ ජීවිතයට වාසනාවක්.

තනූජා ෆොන්සේකා

එදා ඉන්දියාවේදී මගේ ජීවිතය බේරා ගැනීමේ ගෞරවය වෛද්‍ය තනූජාටත් හිමි වෙනවා. ඇය එදා මා අසනීප වූ අවස්ථාවේ ලංකාවට එන්න නොදී අවශ්‍ය පියවර ගනිමින් කඩිනමින් මා ප්‍රතිකාර සඳහා යොමු කළා.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ දෙවෙනි දියණිය ඇයයි. මම හැමදාම කියන්නේ ඇය හඳක් වගේ කියලයි. ගාමිණීගේ පවුල සමඟින් සමීපව ඇසුරු කළ මට බොහෝ කාලයක පටන් ඇය හඳුනාගන්න ලැබුණා.

හැම දෙයකම පිළිවෙල මා ඇයගෙන් දුටු සුවිශේෂ ගුණාංගයක්. ඇයගේ කතා බහ හරිම ප්‍රියමනාපයි. කතාබහ අඩුත් නැහැ. වැඩිත් නැහැ.

අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කතා කරන්න ප්‍රිමනාප කාන්තාවක්. ඒ මා ඇය තුළින් දකින කාන්තාවක් සතු විය යුතු වූ සුවිශේෂ ගුණාංගයක්.

නදීකා ගුණසේකර

නදීකාත් මගේ මිතුරු මිතුරියන් අතර සිටින හොඳම මිතුරියක්. ඉතාම නිහතමානි අවංක යෙහෙළියක්. කෙතරම් හිතවත් මිතුරු මිතුරියන් සිටියත් ඒ අතරේ සුවිශේෂ වන්නට නදීකා සතුව ගුණාංග බොහොමයක් තියෙනවා.

 උපකාරයක් අවශ්‍ය වූ විට නොපැකිලව එය ඉටු කර දීම, මග හැර නොයෑම ඒ අතර කැපී පෙනෙනවා. එය විශේෂයෙන් අගය කළ යුතු දෙයක්.

මිතුරියකගෙන් වෙන් වී රංගන ශිල්පිනියක ලෙස බැලුව ද ඇය සාර්ථක රංගන ශිල්පිනියක්. තනි තරුව, බැද්දේගම, යෙහෙළි, චංචල රේඛා චිත්‍රපටවල ඇයගේ රංගනය කතා කළ යුතුම දෙයක්.

එදා රංගන ශිල්පිනියක ලෙසින් කාර්යබහුල වුණත් විවාහයෙන් පසු සාර්ථක වූ බිරිඳක් මවක් ලෙසින් ඈ ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කරන කාන්තාවක්. එවැනි වූ මිතුරියක් ලැබීම ගැනත් මම බෙහෙවින් සතුටට පත් වෙනවා.

සංගීතා වීරරත්න

සිංහල සිනමාවේ දිදුලන තාරකාවක් වූ සංගීතා විරරත්නත් මා කැමැතිම කාන්තාවන් අතරේ සුවිශේෂ වෙනවා. ඇය සිනමාවට පිවිසි මුල් යුගයේදීම මට ඇයව හඳුනා ගන්න ලැබුණා.

එදා පටන් අද දක්වාම ඇය පවුලේ සාමාජිකයෙක් වගේ. ඇය පමණක් නොවෙයි මව, පියා ඇතුළුව ඇයගේ මුළු පවුලම අපට හිතවත් වීම දක්වා ඇයගේ මිතුරුකම ප්‍රබල වුණා.

අපේ සිනමාවේ සුන්දර රංගන ශිල්පිනියක් ලෙසින් ඇය මගේ සිනමා නිර්මාණ දහයකට රංගනයෙන් දායක වුණා. ඉන් පසුව ඇයයි මමයි සෙව්වන්දි චිත්‍රපටය නිෂ්පාදනය කළා.

චිත්‍රපටයක් තිරගත කිරීමෙන් පසු නිෂ්පාදකවරුන් අතරේ හිතවත්කම් පළුදු වෙන කාලයක සෙව්වන්දි චිත්‍රපටය අපේ මිතුරුකම වැඩි කළා. ඇය මගේ වගේම මගේ බිරිඳ කිකීගෙත් හොඳම යෙහෙළියක්. ඒ වගේම ජීවිතය සාර්ථක කරගත් රංගන ශිල්පිනියක්.

සේමිණි ඉද්දමල්ගොඩ

සංගීතා වගේම සේමිණි ඉද්දමල්ගොඩත් ක්ෂේත්‍රයේදී මට හමු වූ මිතුරියක්. සේමිණි කියන්නේ කියන්න තියෙන දේ මූණටම කියලා දාන, හරිම ඉක්මනින් කේන්ති යන, කෙලින් තීරණ ගන්නා කාන්තාවක්.

මම ඇයට කැමැති ඇයගේ ඒ ගති ලක්ෂණවලටයි. ඒ වුණත් සේමිණි හරිම සංවේදී චරිතයක්. ඇය මම නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන් රංගන ශිල්පිනියක්.

කෙනෙකුට කරදරයක් වුණොත් නොපැකිලව උදව් උපකාර කිරීමේ මානුෂික ගුණාංගය සේමිණි වෙතින් මා දකිනා සුවිශේෂීම ගුණාංගයක්. ඒ නිසා මා කැමැති කාන්තාවන් අතරට ඇයත් ඇතුළත් වෙනවා.