වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

තන්හා රතී රඟාටයි

නිදහසින් පසු උතුරට යන යහළුවන් තිදෙනෙකුට අහම්බයකින් පිස්තෝලයක් උණ්ඩ සමඟ ලැබීම . . .

මේ සුළු සිද්ධියෙන් අපූරු ඉතාම ප්‍රභල කතාවක් විශ්වාසනීයත්වයෙන් යුතුව ගොඩ නැංවීමට අධ්‍යක්ෂ සමත් වේ. කුලුඳුල් චිත්‍රපටය වුව ද දක්ෂතා සපිරි සිනමාපටයකි. ප්‍රේමසිරි කේමදාස දියණියගේ සංගීතය අගෙයි. නිතරම පිස්තෝලය සමඟ නාගයාව පෙන්වීම තුළින් ඉතාම අර්ථවත් ප්‍රභල සංකේතයක් මතු කරයි. තන්හා රතී රඟා හොඳයි කීවොත් මදිකමකි. එම නිසා මෙය විශිෂ්ට ප්‍රභල නිර්මාණයක් බව නොබියව පවසමි.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

සුගතපාල සෙනරත් යාපාට නීරෝගී සුවය

සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයකු වන සුගතපාල සෙනරත් යාපා කලක සිට රෝගාතුරව සිටියි. ජාත්‍යන්තර සම්මානලාභියකු වන ඔහු විජය කුමාරණතුංගයන් ඇතුළු කලා ශිල්පීන් රැසක් කලා ලොවට හඳුන්වා දෙන ලදී. ඔහුට නීරෝගී සුව ප්‍රාර්ථනා කරමු.
 

එස්. රණසිංහ

රත්නපුර

මතකයෙන් ඈත් නොවන දෙනිපිටිය

පැට්‍රික් දෙනිපිටිය යනු සංගීතයේ මුල් බැස ගිය විශාල වෘක්ෂයකි. ඔහු තම දැනුම පුතු මහේෂ්ට පවරා නික්ම ගියේය. දෙනිපිටිය පරපුර සංගීතයටම උරුමකම් කියන බව හැඟෙන්නේ අදටත් ජාඇල දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම නියෝජනය කරන වැඩි දෙනෙක් දෙනිපිටියගෙන් පසු පරපුරයි. අපට වටිනා සංගීතඥයකු ඉතිරි කොට නික්ම ගිය ප්‍රැට්‍රික් දෙනිපිටිය කලාකරුවාණෙනි ඔබ නික්ම ගියත් ඔබ මතකය නම් අපෙන් ඈත් නොවෙනු ඇත.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

දයාබර ප්‍රින්ස් සනසන්න අපව

මනෝහර ප්‍රේමාන්විත ගීතයෙන් අපව උන්මාදයට පත් කළ දයාබර ප්‍රින්ස් උදය ප්‍රියන්ත තවත් ලස්සන ගී තැටියකින් අපව සනසන්න.


සුනිල් බී. වේහැල්ල

මොහාන් සංජය මාළින්ද

ශාන් සංගීත් දිදුලන්ත

ගෝනපොළ

කලා ලොවෙ රැජිණි, රුක්මණී

කඳුලත් සුසුමත් අතර පිපුණු නෙලුම ඔබ
සාලිස් වසක් අප වසඟ කළ ඔබ
සැවොම ආදරය කළ සැමට ආදරය කළ ඔබ
ඉපිද යළිත් රඟන්න රුක්මණී දේවි ඔබ
 

චාමර මංජුල

9 – බී ශ්‍රේණිය

ඌව මහ විදුහල

බදුල්ල

ග්‍රැමෆෝන් තැටි අදත් තියෙන එක සතුටුයි

තිහ හතළිහ දශකයේ නූර්ති සමඟ තවත් ජනප්‍රිය අංගයක් වූයේ ග්‍රැමෆෝන් තැටියයි. ප්‍රභල සමාගම් කිහිපයක් මේ ගි තැටි නිපද විය. ඉහළ හා මධ්‍යම පාන්තික නිවෙස්වල ගෙය ඉදිරිපසම කනප්පුවක් හෝ මේසයක් මත ග්‍රැමෆෝන් පෙට්ටිය තබා එහි මල සවි කර තැබීම එදා දක්නට ලැබුණු සුලබ දර්ශනයකි. ගී තැටි ග්‍රැමෆෝනයට යොදා පණ ගැන් වූ විට ගීත වාදනය විය.

දක්ෂ ප්‍රබන්ධකයින් ලවා හින්දු දමිළ තාලවලට අනුව ලියූ ගී පැරැණි ගායක ගායිකාවෝ මියුරු හඬින් ගායනා කළහ. එදා ගායකයින් වැඩිපුරම ජනප්‍රිය වූයේ ගී තැටිවලිනි. ඒ ගීවල බුදු ගුණ, ධර්ම කරුණු, අවවාද ඇතුළත් විය. අදත් පැරැණි නිවෙස්වල ග්‍රැමෆෝන් තැටි ආරක්ෂා වී තවමත් තිබෙනු දැකිය හැකිය


එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කලාප අධ්‍යක්ෂ

කාලෝචිත වැඩ පිළිවෙලට තුති

මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල ගාමිණී ෆොන්සේකා සමරු රඟහල ලෙස නම් කිරීම කාලෝචිත කාර්යයක් මෙන්ම එම සිනමා සක්විතිට කරන උපහාරයකි. මේ සඳහා මැදිහත් වූ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයාට අප සැමගේ ආශිර්වාදය පුදමු.
 

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

සේන ඉටු කළ මෙහෙය අපමණය

පසුගියදා අපෙන් සදහටම සමුගත් සොඳුරු සන්නිවේදන මාධ්‍යවේදී සේන වික්‍රමආරච්චි මහතා ජාතික ගුවන් විදුලිය තුළින් ඉටු කළ මෙහෙය අපමණයි.

ඔහු යාපනය ගුවන් විදුලි සේවයට ගිය අභිත මාධ්‍යවේදියා විය. රණබිමෙන් නිවසට වැඩ සටහන තුළින් රණවිරුවන්ගේ චින්තන ශක්තිය වැඩි කිරීමට සුවිශාල දායකත්වයක් ලබාදීමට ඔහු කටයුතු කළේය. ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදකයකු වූ සේන මහතා අපට යළි හමු නොවේ. ඔහුගේ අඩුව කිසිදා පිරවිය නොහැක.
 

කිත්සිරි ගුණසේන

රොෂාන් උදාර

උදේනි ඉන්ද්‍රා කුමාරි

කොලොන්නාවේ විජේසිරි

බදුල්ල

බැලුම්ගල ගෙනෙන නෙත් ගුවන් විදුලියට

දිනපතා උදෑසනනෙත් ගුවන් විදුලියෙන් විකාශය කරන බැලුන්ගල වැඩසටහන මහජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීමට හේතු වී ඇත්තේ ඇතැම් වංචාකාරී මායාකාරී කූට පුද්ගලයින් විසින් මහජනතාව රවටා මුදල් උපයා ගැනීමේ නොයෙකුත් කුට උපක්‍රම මැනවින් සොයා බලා ඔවුන් ඉතාමත් තීක්ෂණ අයුරින් එම රහස් වැඩ පිළිවෙල ඔවුනට නෙදැනෙන අයුරින් පටිගත කළ නෙත් ගුවන් විදුලිය මඟින් මහජනතාවට අසන්න අවස්ථාව සලසා දී ඔවුන් එයින් මුදවා ගැනීමට කටයුතු කිරීම නිසයි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

තටාකය පාර

සූරියභානු තවත් ඕනෑ

ජීවන් කුමාරණතුංගයන්ගේ උසස් රංගනය රැගත් සූරියභානු දෙවැන්න ඕනෑ. සූරියභානු මෙවර සුමති සම්මාන උළෙලේදී සම්මානයක් හිමි විය යුතුමයි.
 

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

කලා පවුල එකමුතු වෙමු

කලා ලොවේ කලාකරුවන් කලාකාරිණියන් අතර විවිධ මතභේද හටගෙන ඒවා නඩුහබ දක්වා දුරදිග යෑම ඉතා දුක්මුසු කරුණක්ය. සමගිය, එකමුතුකම, සුහදත්වය නොමැති සිනමාවේ ද දියුණුවක් නැත. ඒවා මාධ්‍ය මඟින් හෙළිදරව් වීම ඔවුනට ආඩම්බරයකි. එහෙත් සමාජය ඉදිරියේ එසේ වීම ලැජ්ජා සහගත කරුණක්. එදා සිනමාව ස්වර්ණමය යුගයක් බවට පත් වූයේ නළු නිළි කැල අතර තිබූ කැපවීම, බැඳීම, සුහදත්වය නිසාමය. ඔවුන් අදටත් අමරණීය වීම එයම හේතුවකි. එබැවින් වාද භේද මතිමතාන්තර දුරලා එක පවුලක් සේ ඉදිරියට ගොස් සිනමාව රැක ගන්න යැයි කලාකරුවන්ගෙන් අයැද සිටිමු.


රවින්ද්‍රලාල් අතුකෝරල

පිටකෝට්ටේ

S.M.S.

උදාරි වර්ණකුලසූරිය අක්කේ ඔයා ආදර දෑසක් නාට්‍යයේ රඟපානවා බලාගෙන ඉන්න ආසයි. ඒත් ආයෙත් පෙම්වතියගේ චරිතේ කරන්න එපා. වෙනස් වූ චරිතයන් හරහා අප හමුවන්න.
 

චමත්

දෙහිවල

උපන් දිනයට සුබ පත්නට එක්තරා කලාකරුවකුට කතා කළාම ඔහු කිව්වා පස්සේ ගන්න කියලා. පස්සේ කොල් කළාම බිසී කිව්වා. අනේ මන්දා අවුරුද්දකට සැරයයි උපන් දිනයක් එන්නේ. ඒකට සුබපතන්නවත් අපට අවස්ථා නැහැ. මාර කලාකරුවෝ තමයි අපට ඉන්නේ.
 

සුදත් විජිත

ග්‍රෑන්ඩ්පාස්

ගාමිණී ෆොන්සේකා නමින් මාවතක් නම් කිරීම සිදු වුණේ නැහැ. ඒක හරිම අසාධාරණයි. අප රටට විශිෂ්ට සේවාවක් කළ එවන් වූ කලාකරුවෙකුට සලකන හැටිද මේ.
 

ගෝවින්න

හලාවත

අමරසිරි පීරිස්ගේ රන් ස්වරයෙන් ගැයුන හන්තානෙට පායන සඳ ගීතය ඉතාමත් අලංකාරයි. එම ගීතයෙනි රූප රචනය ගීතය ඇහෙද්දී අපට මැවෙනවා.
 

ශාන්ත

අලුත්ගම

කියන තරම් අප රටේ චිත්‍රපට කලාව විනාශ වෙලා නැහැ. හදන අය චිත්‍රපට හදනවා. හොඳ නම් ඒවා ප්‍රේක්ෂකයා බලනවා. හරි නැති චිත්‍රපට පාඩු ලබනවා. අදත් එහෙමයි. ඉස්සරත් එහෙයි.
 

කපුගේ

මහරගම

ඉස්සර නම් අපි ටෙලි නාට්‍යවල පෙන්නපු දේවල් ගැන විශ්වාස කළ. නමුත් දැන් ටෙලි නාට්‍යවල තියෙන දේවල් විශ්වාස කළොත් අපට පිස්සු හැදේවි. තියෙන්නෙම පට්ටපල් බොරුනෙ.
 

ශ්‍රීකාන්ත

කෙරවළපිටිය

හරුන් ලන්ත්‍රාගේ ගෙදර තිබූ මුදල් සොරකම කරපු අයට නම් හොඳක් වෙන්න එපා.
 

සුරංගි

කැලණිය

අද වන විට හොඳ චිත්‍රපට පසුබිම් ගායකයන්ගේ හිඟතාවයක් තියෙනවා. ඔක්කොමලා හදන්නේ විරහ ගීත ගයන්න. චිත්‍රපට ගායනයට එන්නේ නැත්තේ ඇයි ද මන්දා.
 

වසන්ත

නුගේගොඩ

රුක්මණී දේවිය සිනමා අඹරේ දිදුලපු රන් තරුවයි. දිවි රඟ මඬල හැර ගොස් 36 වසරකි. මිහිමත පෑ රැඟුම් දෙවඟනකට සමානයි. සුමිහිරි ගැයුම රංගනයට නොදෙවනි වෙයි. හැම භවයකම අප අතරේ ඉපදෙන්නයි, ඉටි රුවක් වැනි ඔය රුව අප රටටම හිමි වෙන්නයි පතන්නේ.
 

නීටා මාසලින්

කැලණිය

වරාගොඩ

ටී. එන්. එල්. නාලිකාව මෑතකදී අලුත් ටෙලි නාට්‍ය විකාශය කිරීම ආරම්භ කළා. එහි ඉතාම ගුණාත්මක නාට්‍ය රැසක් විකාශය වෙනවා. තව තවත් එවැනිම වූ නාට්‍ය විකාශය කරන්න යැයි මා ඉල්ලීමක් කරනවා.
 

නාකුළුගම

රාගම

අප රටේ ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාව වැඩියි. එනමුත් නවකයකුගේ ගීතයක් ප්‍රචාරය කර ගන්න නම් පුදුමාකාර විදිහට මහන්සි වෙන්න ඕනෑ.
 

රොෂාන්

පැල්මඩුල්ල

මාධ්‍යයේ අවධානයට බඳුන් නොවූ කලාකරුවන් අනන්තවත් සිටිනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සැඳෑ සමය ගෙවී යන්නේ බොහොම දුක්මුසුවයි. එවන් වූ කලාකරුවෙකි මෑතකදී අප අතරින් වියෝ වූ කේ. ඩී. නිකලස්. ඔහු කොතරම් වැඩකරුවකු ද යන්න අප දැනගත්තේ ද මිය යාමෙන් අනතුරුවයි.
 

පැතුම්

කුරණ

නීල් වර්ණකුලසූරිය ප්‍රසංග වේදිකාවට එනකොට මහත් වූ ප්‍රතිරූපයක් ඔහුගෙන් දිස්වනවා. වසර ගණනාවක් අඛණ්ඩව ඔහු ඇතුළු සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ජනප්‍රියත්වයේ තියෙනවා. ඔවුන්ගේ ගීත විවිධාකාරයි. ඒකයි එහෙම වුණේ.
 

සීලවංශ

මාතලේ

බෝයිස් ඕවර් ෆ්ලවර් ටෙලි නාට්‍ය නිසා අපේ ගෙදර බොහෝ දෙනා රූපවාහිනිය වටා රොක් වුණා. ඇයි අපේ අධ්‍යක්ෂවරුන්ට බැරි ඒ වගේ නාට්‍යයක් කරන්න.
 

නිහාල්

තුඩුවෙගෙදර

පුවත්පත්වලට වඩා තොරතුරු වෙබ් සයිට්වල තියෙනවා. හැබැයි විශ්වාසවන්තභාවය පිළීබඳ ගැටලුවක්. වෙබ් සයිට්වල පුවත් ඇත්ත ද බොරු ද කියලා හිතාගන්න අමාරුයි. නමුත් පුවත්පත්වලට වඩා වෙබ් සයිට්වල පුවත් රසවත්.
 

ලක්ෂානි

කොළඹ 14

සුසිලා නැන්දේ, ඔයා ආටක නාටක ටෙලි නාට්‍යයේ රඟන අයුරු කවදාවත් අපට අමතක වෙන එකක් නැහැ. ඔබ නැති ආටක නාටකවලින් වැඩක් නැහැ.
 

නිමාෂා සත්සරණි

දෙහිවල

ෂා එෆ්. එම්. ඕ. ඩී. සී. වැඩසටහන කාලෝචිතයි.
 

සුදත්

බියගම

 

ප්‍රතිචාර කෙටියෙන්, ක්ෂණිකව එවනවා නම්, 0752805047 අංකයට

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10

යන ලිපිනය තැපැල්පත් හෝ සටහන් පත් වෙනුවෙනි. www.sarasaviya.lk  හරහා ද ප්‍රතිචාර දැක්විය හැකිය.