වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




බස රැක ගැනීම අපේ නාලිකාවේ ප්‍රධාන ගුණාංගයක්

බස රැක ගැනීම අපේ නාලිකාවේ ප්‍රධාන ගුණාංගයක්

ටී. ඩී. කේ. ඒ. ජයන්ත
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩ සටහන්)

F. M.  ගුවන් විදුලි කලාව ආරම්භ කළ City F. M. සේවයට වසර විසි පහක් පිරේ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 1925 වසරේදී දකුණු ආසියාවේම පෙර ගමන් තබමින් අපේ රටේ ගුවන් විදුලි නාලිකා ආරම්භය සනිටුහන් කළා. මේ දක්වා වූ කාලය පුරා පැමිණි ගමනේ විශේෂ වූ සන්ධිස්ථානයක සැමරුම් සටහනක් තබන්නයි මේ සූදානම. මෙරට ප්‍රථම එෆ්. එම්. නාලිකාව ලෙසින් 1989 වසරේ නොවැම්බර් මස 03 වැනිදා ආරම්භ කළ සිටි එෆ්. එම්. නාලිකාව අද සිය විසි පස් වසරක අභිමානය අභියසට පැමිණ සිටින වගයි. අපි ඒ පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) ටී. ඩී. කේ. ජයන්ත සමඟින් කතා කරමු.

* සිටි එෆ්. එම්. නාලිකාව මෙරට බිහි වූ එෆ්. එම්. නාලිකා අතරේ පෙර ගමන්කරුවායි?

ඇත්තෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙසින් අපි එය මහත් අභිමානයකින් පවසන්න කැමැතියි. වසර විසි පහක් කියන්නේ දිගු ගමනක්. සිටි එෆ්. එම්. කියන්නේ හුදු රස වින්දනයට පමණක් සීමා නොවී මෙරට යොවුන් පරපුර වෙනුවෙන් ගොඩනැංවූ ගුවන් විදුලි නාලිකාවක්. ගත වූ විසි පස් වසර දෙස ආපසු හැරී බැලුවහොත් මෙරට එෆ්. එම්. නාලිකා ආරම්භය සනිටුහන් කරමින් අද දක්වා පැමිණි ගමන ඉතාම සාර්ථකයි. මෙරටට ගුවන් විදුලිය ගෙන ආවා සේම එෆ්. එම් ලෝකයත් ප්‍රථමව අසන්නන්ට සමීප කරවීමේ අභිමානය හැමදාම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුයි.

* එෆ්. එම්. නාලිකාවකින් සමාජයට ඇති කෙරෙන්නේ මොන වගේ බලපෑමක්ද?

එෆ්. එම්. නාලිකාවක් කියන්නේ සමාජයට අසන්නන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි මාධ්‍යයක්. ස්ටීරියෝ තාක්ෂණයෙන් ඉතාම පැහැදිලි සුසර කිරීම එය වඩාත් පහසු කරවනවා. එය වැඩි වශයෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ සංගීතය වෙනුවෙනුයි. ඒ වුණත් අද පෙනෙන හැටියට මෙරට බොහෝ එෆ්. එම්. නාලිකා බිහි වී තිබුණ ද ඔවුන් ඒ කාර්යය නිසියාකාරව ඉටු කරන බව නම් ගැටලුවක්.

අද බොහොමයක් නාලිකාවන් බලෙන් මිනිසුන්ට ඇසීමට සැළැස්වීමයි සිදු කරන්නේ. එය අද ලොතරැයි කූඩුවකට මිනිසුන් කැඳවා ගැනීමට කරනා උපක්‍රමයක් ලෙසිනුයි පෙනෙන්නේ. එෆ්. එම්. නාලිකා නිසා අද පවුලේ සංහිඳියාව පවා බිඳී ගිහින්. පවුලටම අහන්න පුළුවන් විදියට රස වින්දනය ලබා දෙන්න අද ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා. ගුවන් විදුලි නාලිකාවක් කියන්නේ ඕනෑම අයෙකුට ශ්‍රවණය කළ හැකි නාලිකාවක් විය යුතුයි. වැඩිහිටි, තරුණ, බාල, මහළු මේ හැමෝටම පොදුවේ එය විහිදිය යුතුයි.

* වර්තමානයේ එෆ්. එම්. නාලිකා අතරේ සිටි එෆ්. එම්. නාලිකාව සිටින තැන ගැන ඔබේ අදහස?

අපි ගොඩ නඟා ගත් අපටම අනන්‍ය වූ තැන සිට හොඳ ස්ථාවරයක් ගොඩ නඟා ගැනීමට අද සිටි එෆ්. එම්. නාලිකාවට හැකි වී තියෙනවා. එක් එක් අලෙවි ප්‍රවර්ධන සඳහා විවිධ ආයතන තීරණය කරන දර්ශක අපි පිළිගන්නේ නැහැ. එක් නියැදියක් ගෙන සමස්ත සමාජයම මනිනා මැනුම් පිළිගන්න බැහැනේ. මෙරට එෆ්. එම්. නාලිකා අතරේ ප්‍රමුඛයා වෙමින් අප අසන්නාට ලබා දෙන දේ සමඟ සිටි එෆ්. එම්. නාලිකාවට සමාජයේ යම් ස්ථානයක් තියෙනවා. ශ්‍රාවකයා බලෙන් ළඟා කර ගැනීමට අප කවදාවත් කටයුතු කරලා නැහැ. ඉදිරියටත් එවැනි උපක්‍රම අපට අවශ්‍ය නැහැ. හොඳ අසන්නන් පිරිසක් අප වටා එකතුව සිටිනවා. ඒ ගැන තෘප්තිමත්.

* සිටි එෆ්. එම්. නාලිකාවේ වැඩසටහන් පෙළ ගැසෙන්නේ කුමන ආකාරයෙන්ද?

සිටි එෆ්. එම්. නාලිකාව හරහා අපි කාලීන වැඩසටහන් වෙනුවෙන් වැඩි ගුවන් කාලයක් වෙන් කරලා තියෙනවා. දැනුමට තොරතුරු සහ ප්‍රධාන පුවත් විකාශයන් අතරේ ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධව දිනමිණ සිටි එෆ්. එම්. පැයේ පුවත් විකාශනයක් ක්‍රියාත්මකයි. රස වින්දන වැඩසටහන් වගේම සුභාවිත ගීතය වෙනුවෙන් ද ගුවන් කාලය විශේෂයෙන් වෙන් කෙරෙනවා. ඒ අතරේ මධ්‍යම රාත්‍රිය ධීවර ජනතාව වෙනුවෙන් සහ ඊට අමතරව මැද පෙරදිග අපේ සොයුරු සොයුරියන් වෙනුවෙන් ද අපේ වැඩසටහන් ක්‍රියාත්මකයි.

* මෙහිදී භාෂා භාවිතය ගැනත් සඳහන් කළොත්?

සුපැහැදිලි සිංහල භාෂාව පමණයි සිටි එෆ්. එම්. හි භාෂාව ලෙස යොදා ගැනෙන්නේ. සිංහල වාක්‍යයේ තැනින් තැනට ඉංග්‍රීසි වචන යෙදීම වගේම නුසුදුසු වචන යෙදීමත් කිසිසේත්ම අනුමත නැහැ. ව්‍යාකරණ රීතින්ට කොටු වෙලා නැතත් භාෂා භාවිතය ඉහළින්ම රැක ගන්නට අපේ නාළිකාව වග බලා ගන්නවා. එය අපේ අනන්‍යතාවයේ ප්‍රධාන ගුණාංගයක්.

* වර්තමානයේ නව ගීතවලට සිටි එෆ්. එම්. නාලිකාව තුළ මොන වගේ ස්ථානයක් ද තියෙන්නේ?

අද බිහිවෙන හැම ගීතයක්ම අපේ නාලිකාවෙන් අසන්න නම් ලැබෙන්නේ නැහැ. විද්වත් මණ්ඩලයක අනුමැතියකින් පසුවයි අපි නව ගීත විකාශය කරන්නේ. ඒ අනුව හරසුන් බාල බොළඳ ගීත සිටි එෆ්. එම්. නාලිකාවෙන් කවදාවත් අසන්නට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විශේෂ ගීත නිර්මාණය කෙරෙනවා. බාහිර නිර්මාණ සඳහා නම් ප්‍රමිතිකරණය අනිවාර්ය සාධකයක්.

* අද බොහොමයක් එෆ්. එම්. නාලිකා අසන්නන් වෙත විවිධාකාරයේ ත්‍යාගයන් පිරිනැමීමේ සටනක නිරතව සිටිනවා. එෆ්. එම්. නාලිකාවක් ලෙසින් සිටි එෆ්. එම්. ඒ ගැන දරන මතය මොන වගේ එකක් ද?

ජනතාවට තෑගි දීලා බලෙන් අපේ දේ අසන්නට සළස්වන්න අපට උවමනාවක් නැහැ. ඒ වුණත් ජනතාව ඉලක්ක කර ගත් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. පෞද්ගලික අංශයේ විවිධ ආයතන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අපි අපේ දායකත්වය ඒ වෙනුවෙන් ලබා දෙනවා. උදාහරණයක් විදියට ගොවි බිමයි ජය ටැඹයි වැඩසටහන හඳුන්වන්න පුළුවන්. එය තරුණ ගොවි සමාජ සම්බන්ධ කර ගත් සාර්ථක වැඩසටහනක්. ඒ හැර තරගයට කිසිවක් කරන්න සිටි එෆ්.එම්. නාලිකාවට අවශ්‍යතාවයක් නැහැ.

* සිටි එෆ්. එම්. තුළින් බිහි වූ නිවේදක නිවේදිකාවන් ගැනත් සිහිපත් කරමු?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ සිටි එෆ්. එම්. සේවයේ අනන්‍යතාවය තුළින් බිහි වූ දක්ෂ නිවේදක නිිවේදිකාවන් රැසක් අද අප සමඟ සිටිනවා. හිමානන්ද රාජපක්ෂ, ප්‍රසන්න චන්දන බණ්ඩාර, සංජය මධුසංඛ, වජිර ජයවර්ධන, ගයාන් කෞෂාල් ජයවීර, භද්‍රජිත් සෞම්‍ය, සමපත් හල්පිටිකෝරාළ, දිනේෂ් උපේන්ද්‍ර, අනුෂ්ක අනුරංග, දිමුතු ධම්මික, දිනූෂා වෙත්තසිංහ, සුගත් වීරසිංහ, චමිලා ජනන්දනී, පූජිත රෝහණ, විජය මාපා, අමිල එදිරිමාන්න, හර්ෂණ මායාදුන්න, අජිත් බීගල්ල, සේනානි වික්‍රමසිංහ, තේජානි විජේසිංහ වැනි මේ නිවේදක නිවේදිකාවන් සිටි එෆ්. එම්. සේවය තුළින්ම ගොඩ නැඟුණු අයයි. ගත වූ කාලය දෙස හැරී බැලුවොත් ඔවුන්ගේ දායකත්වය ගැන සතුටුයි.

* මෑතකදී ආරම්භ කළ සිටි එෆ්. එම්. ලේක්හවුස් දිනමිණ ඒකාබද්ධ සේවාව ගැන ඔබේ අදහස?

එය සාර්ථක වූ ක්‍රියාවලියක්. පුවත්පත් ආයතනයක් හා එෆ්. එම්. නාලිකාවක් සමඟින් ගෙන යන මේ ප්‍රවෘත්ති සේවාවට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. අපේ මැදිරියේ සිට ප්‍රධාන පුවත් විකාශයන් හතරක් ක්‍රියාක්මකයි. ඒ අතරේ පැයේ පුවත් විකාශය ලේක්හවුස් දිනමිණ ඒකාබද්ධ සේවය හරහා සිදු කෙරනවා. බාහිර සිට වෙනස් නිවේදක නිවේදිකාවන් පුවත් ඉදිරිපත් කිරීම මෙහි යම් වෙනසක් ඇති කරනවා. ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන මෙම පුවත් විකාශය ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මකයි.

* විසිපස් වසරක් ගත වෙන මොහොතේ නව ඉදිරි සැළැස්ම ගැනත් සටහනක් තබමු?

විසිපස් වැනි සැමරුම වෙනුවෙන් විශේෂ ප්‍රසංගයක් පැවැත්වූවා. ඒ වෙනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන් විසිපස් දෙනෙකු සහ සිටි එෆ්. එම්. නාලිකාවෙන් බිහි වූ නිවේදක නිවේදිකාවන් විසිපස්දෙනෙක් සහ ගායික ගායිකාවන් සහභාගි වුණා.

ඉදිරි වැඩසටහන් නව මුහුණුවරකින් ඉදිරිපත් කරන්නත් සිටි එෆ්. එම්. බලාපොරොත්තු වෙනවා. 2015 වසරේ සිට මේ අලුත් වෙනස ශ්‍රාවක ඔබට අත්විඳින්නට අවස්ථාව උදා වෙනවා. මේ වසරේ දෙසැම්බර් මාසයෙන් පසු එම කටයුතු ආරම්භ කරන්නයි සිටි එෆ්. එම්. හි සූදානම.