වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මට සිදු වුණ අවනඩු දන්න අය දන්නවා

මට සිදු වුණ අවනඩු දන්න අය දන්නවා

සිහින ටවුම නිෂ්පාදිකා විනෝජා නිලන්ති

විනෝජා නිලන්තිව ඔබ වඩාත් හඳුනන්නේ රංගන ශිල්පිණියක් හැටියට. ඒ වගේම ඇය නිෂ්පාදිකාවක් ද ලෙසින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට දායක වුණා. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන සිහින ටවුම ඇයගේ නිෂ්පාදනයක්. එහි දුලීකා මාරපනගේ මවගේ භූමිකාව නිරූපණය කරන්නේ ද විනෝජායි. ටෙලි නාට්‍ය දහයක් නිෂ්පාදනය කළ ඇයගේ පළමු හාස්‍යෝත්පාදක ටෙලි නිෂ්පාදනය වන්නේ සිහින ටවුම බව කියමින් විනෝජා සිය කතාව මෙසේ ඇරැඹුවා.

මං නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය බොහොමයකට සම්මාන හිමි කරගෙන තියෙනවා. ඒවා ඔක්කොම සීරියස් කතා. නමුත් සිහින ටවුම කොමඩියක්. මට දෙවතාවක් හිතන්න වුණා මේක නිෂ්පාදනය කරන්න කලින්. හේතුව සිහින ටවුම නාට්‍යයේ පිටපත මට නිසියාකාරව අධ්‍යයනය කරගන්න නොහැකිවීම. මේක කොමඩියක්නෙ. මට එහෙම නාට්‍ය කරලා අත්දැකීම් නැහැ. මං අනෙක් අයගෙන් උදව් මත ආර්ටිස්ලා තේරුවා.

* නුහුරු නම් ඇයි ඔබ මේ වගේ ටෙලියක් නිෂ්පාදනය කළේ?

මේක ජාතික රූපවාහිනියේ ඉල්ලීමකට අනුව නිර්මාණය කරන ලද්දක්. මට අකැමැති වෙන්නත් හේතුවක් තිබුණේ නැහැ මෙයට මුදල් යොදවන්න. අනික සිහින ටවුම නිකම්ම නිකම් කොමඩියක් නෙවෙයි. මෙහි මුල මැද අග සහිත කතාවකුත් තියෙනවා.

* මෙහි ඔබ චරිතයක් රඟපානවා. නමුත් එය කොමඩි නැහැ?

:මට විකට චරිත රඟපාන්න බැහැ කියලා මං දන්නවා. ඒකයි සීරියස් චරිතයක් කළේ. නාට්‍යයේ මෙවැනි චරිතයක් නොතිබුණා නම් මම එහි රඟපාන එකකුත් නැහැ.

* ඒ කියන්නේ ඔබ ටෙලි නාටෟ්‍ය නිෂ්පාදනය කරන්නේ රඟපාන්න බලාගෙන නොවෙයිද?

කොහෙත්ම නැහැ. මට රංගනයට ආරාධනා ලැබෙනවා. ඒවටත් සහභාගි වෙනවා. නමුත් මං නිෂ්පාදනය කරන නාට්‍යයක මං රඟපාන්නේ නැහැ මට ගැලපෙන චරිතයක් නැතිනම්. මම නිෂ්පාදනය කරපු එක්තරා ටෙලි නාට්‍යයක අධ්‍යක්ෂවරයා දැඩිව පෙරැත්ත කළා චරිතයක් කරන්න කියලා. නමුත් මට ඒ චරිතය හරි ගියේ නැහැ. ඒ නිසා රඟපෑවේ නැහැ.

* ටෙලි නාට්‍ය නිෂ්පාදනයේදී පාඩු ලබා නැතිද?

අපොයි තියෙනවා. මගේ සම්මාන දිනපු නාට්‍යයත් අතිශය පාඩු වුණා.

* ටෙලි නාට්‍ය කිරීම එපා වෙන්න ඇති?

කොහෙත්ම නැහැ. එක ටෙලියක්නෙ පාඩු වුණේ. අර කතාවකුත් තියෙන්නේ එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ කියලා. එකකින්නේ පාඩු වුණේ. අනිත් නාට්‍ය ඔක්කොම ලාභ ලැබුවා.

* ටෙලි නාට්‍ය විකාශය කිරීමේදී යම් යම් ප්‍රශ්න එනවා. නිෂ්පාදිකාවක විදිහට ඒවාට මුහුණ දුන්නේ කෙසේද?

ආව ගැටළු නම් බොහොමයි. නමුත් හොඳ නාට්‍යකට අනිවාර්යයෙන්ම ගුවන් කාලය තියෙනවා. මටත් එහෙමයි වුණේ.

* මොන දේ වුණත් ඔබ ආයේ කොමඩි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ නැති කතාවක් මට ආරංචි වුණා?

ඒ කතාව නම් ඇත්ත. මං ආයෙත් කරන්නේ සීරියස් ඩ්‍රාමා පමණයි.

* ඇයි ඒ?

මේක මාර අභියෝගයක්.

කොමඩිවලදී හරිම පරිස්සම් විය යුතුයි. හරි නළු නිළියන් තෝර ගත් නිසයි මට සිහින ටවුම සාර්ථක කරගන්න පුළුවන් වුණේ. නැතිනම් මමත් ෆේල්.

* සිහින ටවුම නරඹපු කෙනෙක් ඔබට පවසපු හොඳම අදහස මොකක්ද?

ඒ කෙනා තමයි සංගීතවේදී නවරත්න ගමගේ. ඔහුට මම මේ නාට්‍ය ගැන කිව්වාම මියුසික් ටිකක් හිතේ මවාගෙන ඉඳලා තියෙනවා මෙයට යොදන්න. නමුත් නාට්‍ය බලපු ගමන් ඔහු ටිකක් අප්සට් ගිහිල්ලා. මට කිව්වා විනෝජා, මං හිතුවෙ මේක තවත් එක කොමඩි නාට්‍යක් කියලා. ඒත් මේක මරුනෙ, මටත් හොඳ වැඩක් කරන්න පුළුවන්නේ යනුවෙන්. ඔහුගේ ඒ වචන ටිකම මට ඇති.

* නාට්‍යයට කවුරුවත් බැනලා එහෙම නැතිද?

තවම නැහැ. ඉදිරියේදී බනියි ද දන්නේ නැහැ.

* සිහින ටවුමෙ ඔබ රඟපාන්නේ දුලීකත් එක්ක. ඇය විහිළු කරනවා, අපූරු සිදුවීම් මතක් කර කර හිනා වෙනවා දර්ශන තලයේදී. ඔබට ඇය එක්ක රඟපාන කොට සොඳුරු අපහසුතාවයන්ට පත්වන්නට සිදු නොවුණා නම් තමයි පුදුමේ?

ඇයයි මමයි මුලින්ම රඟපෑවේ හුම්මානෙ නාට්‍යයේ. ඉන් පසුව වසර එකොළහකට පමණ පසුවයි මේ රඟපාන්නේ. දුලීකා මගෙත් එක්ක හොඳටම හිතවත්නෙ. වැඩේදි වැඩේ විතරයි. හරිම සුන්දරයි එයත් එක්ක රඟපාන එක.

* සිහින ටවුම කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවාද?

මෙහි රේටින්ග්ස් හොඳයි කියලා මට දැනගන්නට ලැබුණා. ඒ වාර්තා අනුව පුවත්පත් ලිපි පවා පළවුණා. එහෙම නාට්‍යක් විකාශය වෙනකොට ආව කැපිලි ගැන මට ප්‍රසිද්ධියේ කියන්න අමාරුවි. මට මෙච්චරයි කෙටියෙක් පවසන්න තියෙන්නේ. නාට්‍යක් විකාශය වෙන කොට නිසි තැන දෙන්න කියන එක. නැතිනම් නිෂ්පාදක අමාරුවේ වැටෙනවා. රේටින්ග්ස් බහිනවා.

* ඔබ පවසන්නේ නාට්‍යවල මැද විකාශය වන ඇඩ් ප්‍රමාණය වැඩියි කියන කාරණයද?

නැහැ. නැහැ. ටී. වී. චැනලයක් පවත්වන්න ඇඩ් තියෙන්න ඕනෑ. අපේ ප්‍රේක්ෂකයොත් දැන් ඒකට හුරු වෙලා. මට සිදු වුණු අවනඩු දන්න අය දන්නවා.

* සිහින ටවුමේ නළු නිළි පිරිවර මතක් කරමු?

ජයසේකර අපොන්සු, ආනන්ද වික්‍රමගේ, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගාමිණී හෙට්ටිආරච්චි, උදයන්ති කුලතුංග, උමයංගනා වික්‍රමසිංහ, නන්දන හෙට්ටිආරච්චි, සජීව මල්මාලආරච්චි, චතුර පෙරේරා, චාන්දනී පෙරේරා, සඳුන් විජේසිරි, සංජුලා දිවාරත්න, මහේෂ් උයන්වත්ත, ශෂිකා විජේසිංහ. පිටපත රුවන් මදනායක.

* මොනවද ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු?

ජනවාර්ගික අර්බුදය ගැන ටෙලි නාට්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක ටිකක් දැවැන්ත වැඩක්.