වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ මිනිබිරිය හුරතල් කරනවා හැර වෙන වැඩක් නැහැ

මගේ මිනිබිරිය හුරතල් කරනවා හැර වෙන වැඩක් නැහැ

ගිරිරාජ්ගේ නිවෙසට නෑගම් යමු

කඩේ යන්නෙත් ගිරිරාජ්මලු

සිව් මසැති සෙනායා දෙනෙත්මි දෝණිගේ සුරතල් සිනා හඬෙන් මුළු නිවෙසම එළිය වැටිලා. මිනිබිරී සීයාගේ උණුසුමට තව තවත් ගුලි වුණා. මේ දවස්වල නිතරම වගේ ඇදගෙන වැටෙන හීන් පොද වැස්ස මදකට නැවතුණා. ඒ අතරතුර අප ගිරිරාජ් කෞෂල්‍යගේ නිවහනට ගොඩ වැදුණේ සීයාගෙයි මිනිපිරීගෙයි සුරතල් බල බලා.

“මට දැන් වෙන වැඩක් නෑ. මගේ මිනිබිරිය හුරතල් කරනවා හැර”

මිනිබිරියගේ උවන සිඹින ගමන් කවදත් ඔබගේ ආදරය දිනාගත් ගිරිරාජ් අපව පිළිගත්තේ එහෙම කියාගෙන.

“මිනිබිරියට මාස හතරක්. දැන් තමයි එයාගේ හුරතල් අපට පේන්න පටන් ගත්තේ. ඒ නිසා මිනිබිරිය දමලා මට කිසිම වැඩකට යන්න හිතෙන්නේ නැහැ. කොහොමත් ලොකු දුව ලබන මාසේ විතර වැඩට යනවා. එතකොට කොහොමත් අපි දෙන්නටයි දුව බලා ගන්න වෙන්නේ.”

සිය ආදරබර කැදැල්ලේ තතු පිළිබඳ මේ සොඳුරු මිනිසා පැවසුවේ කිසිම අකැමැත්තක් නැතිවම. ඔහුට ඉන්නේ දියණියන් දෙදෙනෙක්. ලොක්කි කාවින්ද්‍යා නිලුපුලී, පොඩ්ඩි අමන්ද්‍යා උත්පලී, ලොක්කිගේ අත ගත්ත පුතාත්, ලොක්කිත් ඉන්නේ ගිරිරාජ්ලත් එක්කමයි. ඒ කියන්නේ ගිරිරාජ්ලගේ කැදැල්ලේ ඉහළ මාලය වෙන්වෙලා තියෙන්නේ ඔවුන්ට.

“මම දුවව විවාහ කරලා කොහෙවත් යවන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා අපි ළඟම නතර කර ගත්තා. ලොක්කි රැකියාව කරන්නේ ඩී බග් ආයතනයේ. පුතා කල්පන අත්තනායක. ඔහුත් රැකියාවක් කරනවා. පොඩි දුව තවම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඈ රන්වල බලකායේ සාමාජිකාවක්. ඊට අමතරව මම වගේම ඇයත් බොහොම කලාවට සම්බන්ධයි. මගේ ‘සුහද කොකා’ චිත්‍රපටයේ තේමා ගීතය ගයන්නේ සමන් ලෙනින් සමඟ ඈ. ඒ වගේම සෝමරත්න දිසානායකගේ අලුත්ම ගීත පටයටත් ගී ගයනවා. ඈ කවදහරි රැකියාවක් කරන ගමන් කලාවටත් සහභාගී වේවි. ඇය කලාවේ නිරත වෙනවාට මගේ කිසිම අකැමැත්තක් නැහැ.”

ඔහු අතේ උන් මිනිබිරිය තමන්ගේ ආදරණීය බිරිය මංගලිකා ප්‍රනාන්දුට දුන් ඔහු යළිත් අසුනේ හරිබරි ගැසුණේ දිගු කතාබහකට මුල පුරන ගමන්.

“මම කොහොමත් නිවෙසේ වැඩකටයුතුයි, කලා කටයුතුයි මෙතෙක් සමබරවයි කරගෙන ගියේ. ඒක අදටත් එහෙමමයි. ඒක තරමක් හෝ වෙනසකට ලක් වුණොත් වෙන්නේ මිනිබිරිය නිසා තමයි. මොකද ලොකු දුව, මිනිබිරියගේ වැඩටික කරගන්න මම එනතුරු බලාගෙන ඉන්නවා. ඒ වගේම පොඩිදුවත් මම වගේ කාර්යබහුල නිසා එයාව ඒ ඒ තැන්වලට එක්කරගෙන යන එකත් එක්කරගෙන එන එකත් කරනවා. මට බැරි වුණොත් බිරියයි ඒ සියලු කටයුතු කරන්නේ.”

ගිරිරාජ්ගේ අසලින්ම අසුන් ගත්තේ ඔහුගේ දයාබර බිරිය මංගලිකා ප්‍රනාන්දු. තමන්ගේ සැමියා නිවෙසේ කටයුතුවලට දක්වන සහයෝගය ගැන කියන්නත් ඈ අමතක කළේ නැහැ.

“ මහත්තයා නිසා නිවසේ කටයුතුවලට ලැබෙන සහයෝගය නම් අපමණයි. නිතරම අපේ වැඩකටයුතු අපිම කරගෙන යන්නයි එදා ඉඳලාම පුරුදු පුහුණු වුණේ. ඒ නිසා එයාගේ රෙදි සෝදන කටයුතු වුණත් එයාම කර ගන්නවා. නිතරම වගේ කඩේට යන වැඩකටයුතු කරන්නෙත් ඔහුමයි. ඒකාලේ නම් අපි දෙන්නත් එක්කම උදෙන් නැඟිටලා උයනවා. ඒත් අද ගොඩාක් අය ඉන්න නිසා ඔහු දැන් ඒවාට උදව් වෙන්නේ නැහැ. ඒ අතරම විශේෂ අවස්ථාවලදී මට සයිඩ් සපෝට් ලබා දෙන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. එතකොට නම් පොල් ටිකක් ගාලා දෙන්න, ලූනු ටිකක් ශුද්ධ කරලා දෙන එක ඔහු කරන්නේ බොහොම කැමැත්තෙන්. ඒ වගේම ගිරිරාජ්ට නිවෙසත් ඒ අවටත් බොහොම පිරිසිදුව තියෙන්න ඕනෑ.”

ඒ නිසාම ගිරිරාජ් උදෙන්ම නැඟිටිනවා විතරක් නෙවෙයි, ඔහුගේ දෙඅතෙන් කෙරෙන කටයුතුත් බොහොමයි.

“ උදෙන්ම නැඟිටලා මම ව්‍යායාමයටත් එක්ක දුවන්න පුරුදු වෙලයි ඉන්නේ. දැන් බෙල්ලන්විල ප්‍රදේශයේ ඒකට සුදුසු අයුරෙන් සැකසිලා නිසා අපට තවත් ලේසියෙන් ව්‍යායාම කරන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මිදුල අමදින එකයි. ඒ කාර්යය මම කරන්නේ බොහොම කැමැත්තෙන්. හැමදාම වගේ අපේ නිවහනේ මිදුල ඇමදලා ලබන සතුට මට බොහොම වටිනවා. මොකද ලියන කියන දේවල් කරන්න අවට පරිසරය පිරිසිදුව තිබිය යුතුයි. ඒ හේතුව නිසා මම නිතරම පිරිසිදුකම ගැන හිතනවා.”

ගිරිරාජ් ආදරණීය පියාණන් කෙනෙක් වගේම ආදරබර සැමියෙක්. ඔහු පිළිබඳ තවත් යමක් පවසන්නට මංගලිකාට තිබෙන වගක් අපට හැඟුණා. ඈ යළිත් තමන්ගේ හඬ අවදි කළේ බොහොම විශ්වාසයෙන්.

“ගිරිරාජ්ගෙන් කෑමවලට වුණත් කිසිම කරදරයක් නැහැ. හදල දෙන ඕන දෙයක් කන්කෙඳිරි ගෑමකින් තොරව කන්න එයා පුරුදු වෙලා ඉන්නවා. ඒ අතර එයා වඩාත් කැමැති ඇඹැරැල්ල වගේම අඹ වෑංජනයත් අතරෙන් පතර හදන්න මා අමතක කරන්නේ නැහැ.”

ඒ අතරතුර ගිරිරාජ්ගේ ස්වරයත් මතු වුණේ ඉබේමයි.

“අපි වගේ සැමියෝ ඉන්න නිසා මෙයාලට බොහොම හොඳයි. මොකද ඉතිං ඔය මොනා හදලා දුන්නත් මම කනවා. රූගත කිරීම්වලට ගියත් ඉතිං දෙන ඕනෑම දෙයක් කන්නත් එපැයෑ. ඒක දැන් පුරුදු වෙලා.”

ගිරිරාජ්ගේ විහිළු ස්වරය පුරුද්දට වගේ මතු වුණා. ඔහු අපූරු හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක්.

“ඇත්තම කිව්වොත් නිවෙසේ කියලත් මට වෙනසක් නැහැ. විහිළුවෙන් තහළුවෙන් ගෙවන දවස බොහොම සුන්දරයි. ඒ අතරම අපි හැමෝටම නිවාඩුවක් ලැබෙනතුරු බලාගෙන ඉන්නේ කොහේ හරි යන්නයි. පන්සලට හරි, විනෝදගමනක් හරි යන්න යොදාගන්නේ ඒ අවස්ථාව තමයි. ඒ විදියටයි අපි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නේ. නැත්නම් මගේ ගම වුණු කොළොන්නාවට ගිහිං අම්මා, තාත්තා, සමඟ වගේම නෑදෑයන් සමඟත් කාලය ගත කරන්න අපි අමතක කරන්නේ නැහැ.”

බොහොම සුන්දරව ගෙවන ගිරිරාජ්ගේ සුන්දර කැදැල්ලේ සතුට පිරිලා ඉතිරිලා. හැමදාමත් ඒ විදියට ඒ කැදැල්ලේ සතුට පිරිලා ඉතිරෙන්න කියලා සමුගන්නට මොහොතකට පෙර අපි ප්‍ර‍්‍රාර්ථනා කළා. අපි යන තුරුම ගේට්ටුව ළඟ ඔහු ඉඳගෙන සිටියේ මිනිබිරිය ළයට තුරුළු කර ගෙනමයි.