වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




උගතමනා ශිල්පයේ අගය කියාදෙන “දුවන මුවන්” ළඟදීම රිදී තිරයට

උගතමනා ශිල්පයේ අගය කියාදෙන “දුවන මුවන්” ළඟදීම රිදී තිරයට

පාරේ සිට ඈතට දිවයන වෙල්යාය නෙතට අපූරු දසුනකි. නිල්වන් කඳු පෙළ අතරෙන් එබී බලන හිරුගේ රශ්මිය වැඳී නිල්වන් ගොයම් අග රැඳි පිනි බින්දුව දිදුලන අයුරු කදිමය.

ඒ දිදුලන පිනි බින්දුව එක්වරම අතුරුදන් වන්නේ වරින්වර හමන මද නළ නිල්වන් ගොයමේ වැදීමත් හා හිරු රශ්මියත් නිසාය. වෙල්යාය මැදින් කිරි කොකුන් රෑනක් සේ අකුරු කරන්නට පාසලට ඇදෙන ළමුන්ගේ දර්ශනය බලන්නට සාමා ගුරුතුමිය කවදත් කැමැතිය.

වඩාත් ආකර්ෂණීය දර්ශනය ඇරැඹෙන්නේ පාසල ආරම්භ කිරීමේ සීනුව නාද කිරීමත් සමඟය. විසිර යන මී මැසි කැලක් එක්තැනකට එක් කරන්නට කරන්නාවූ නාදය ඇසී එක්රොක්වන මී මැසි කැලක් මෙන් ළමෝ එකම ස්ථානයකට රොක්වන අයුරු කදිමය.

සාමා සමවැඳී උන් දැහැන බිඳුණේ ශිෂ්‍යාවක නැඟූ ප්‍රශ්නයකිනි. ඈ සිය නෙත යොමු කළේ කළුලෑල්ලේ ඇය ලියූ වාක්‍යය දෙසටය.

“කවුද එතකොට මල් කඩන්නේ”

“රේණුකා.............”

“කාර්ය කරන කෙනාගෙන් පටන් ගන්න වාක්‍ය කර්තෘ කාරක. ඉංග්‍රිලිෂ් වලින් මෙහෙමයි. ඇක්ටිව් වොයිස් , පැසිව් වොයිස්...............”

සාමාගේ ස්වරය පන්තියෙන් ඈතට විහිදී යන්නේ ලතාවකටය. ඒ පිළිබඳ වගේ වගක් ඇයට නැත. ඇගේ පන්තිය අසලින් යන්නේ සිංහල අංශයේ ප්‍රධාන ගුරුතුමිය වූ දුලීකාය.

සාමා ගුරුතුමියගේ අලුත්ම ඉගැන්වීමේ පාඩම දෙස බලාගෙන සිටි ඈ එතැනින් නික්ම ගියේ කිසිවක් තමන්ටම මුමුණමිනි.

දුලීකාගේ නෙතඟ ගැටුණේ විදුහලේ තවත් ගුරුතුමියක හා කතාබහේ යෙදී සිටින චාන්දනී ගුරුතුමියයි. එතැනට ඇය සෙමෙන් සෙමෙන් ළං වූයේ සිය සිතේ නළියන අදහස පිළිබඳ කුමක් හෝ කිවයුතු බැවිනි.

“සාමා මිස් ඉහළ පන්තිවලට ඉංග්‍රීසි උගන්වනවාද?”

ඔවුන් දෙදෙනාගේ කතාබහ අතරට පැන්න දුලීකා, චාන්දනීගෙන් විමසුවාය. එකණෙහිම චාන්දනී ගුරුතුමියගේ සිතට නැඟුණේ ගැටලුවකි.

“නෑ”

චාන්දනී ගුරුතුමිය පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි. ඇගේ පිළිතුරේ සැහැල්ලු බව ගණනකට නොගත් දුලීකා, චාන්දනීට ඇසෙන්නට මෙලෙස මිමිණුවාය.

“වෙන්න බෑ. මම දැක්ක නේ සාමා මිස් ඉහළ පන්තිවලට ඉංග්‍රීසි උගන්වනවා.”

දුලීකාගෙන් ඉවත් වෙමින් සිටි චාන්දනීට ඇසුණු ඒ කියමන පිළිබඳ නම් ඇති වූයේ ප්‍රසාදයක් නොවේ.

සිය සිතේ ඇතිවුණු කුකුස සන් සිඳුවා ගැනීම පිණිස ඈ සාමා සිටින පන්තියට දෙසට ගමන් කළේ ඉබේමය. ඇයට සාමා උගන්වන අයුරු පෙනෙයි. ඇගේ නෙත් කැල්ම එල්ල වූයේ කළු ලෑල්ල දෙසටය.

“දැන් ඕගොල්ලන්ට ඇක්ටිව් වොයිසුයි, කර්තෘ කාරකයි දෙකම එකයි කියලා තේරුණාද?”

එසේ කියන සාමා සිය පන්තියේ සිටින ළමයින් දෙස හැරෙන්නේ ඇය කියන දෙය ඔවුන් සාවධානව අසා සිටින්නේදැයි දැන ගැනීමටය. දොර ළඟට වී සිටින චාන්දනී ගුරුතුමිය ඇගේ නෙත ගැටෙන්නේ මේ අතරය.

“ළමයි අහපු ප්‍රශ්නයකට මම මේක කියලා දුන්නා”

නොහොඳ නෝක්කඩුවක් මුවඟ රඳවා සිටින චාන්දනීට සාමා කියන්නේ සැහැල්ලු ස්වරයෙනි.

“තැන්ක් යූ කම් ටු ප්‍රින්සිපල්’ස් ඔෆිස්”

චාන්දනී පවසන්නේ සාමාගේ පිළිතුර පිළිබඳ ගණන් නොගත් අයුරෙනි. ඇය චාන්දනී ගුරුතුමිය යන දෙසම බලාගෙන සිටියාය. පන්තියේ ළමයින්ගෙන් සමුගන්න සාමා විදුහල්පතිගේ කාර්යාලය දෙසට ඇදෙන්නේ හනි හනිකටය.

“සාමා මිස් ළඟකදී අලුත් ඉංග්‍රීසි චාට් එකක් එහෙම හැදුවේ නැද්ද?”

මඟදී මුණ ගැසෙන ගණිත ගුරුතුමා වූ කොතලාවල සර්ටත් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සිතී ඇති සැටියෙකි.

“මොකද කොතලාවල සර්ටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතුණද?”

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා මිස්”

“ශිල්පයෙන්මත් මතු රැකෙන්න බැහැ සර්. ශිල්පය සමඟ යහපත්කමත් තියෙන්න ඕනෑ කියලයි මට නම් හිතෙන්නේ.”

කියමින් සිනහමුසු මුහුණෙන් සාමා විදුහල්පතිතුමාගේ කාර්යාලය දෙසට ඇවිද යන්නේ ඉක්මනෙනි. එහි ඇතුළත් වන විටත් එහි සිටින්නේ දුලීකා හා චාන්දනී ගුරුතුමියන් දෙදෙනායි.

“බලන්නකෝ, සාමා මිස් සිංහල උගන්වන එක පැත්තකට දාලා ඉංග්‍රීසි උගන්වනවා.”

දුලීකා ගුරුතුමියගේ චෝදනාව ඉදිරිපත් වන්නේ සාමා ගුරුතුමියට එරෙහිවය.

සාමා ගුරුතුමියට කුමක් වේවිද?

ඒ පිළිබඳ දැන ගැනීමට ඔබට ළඟදීම තිරගත වීමට නියමිත ඉන්ද්‍රා වීරසේකරගේ ‘දුවන මුවන්’ චිත්‍රපටය නැරැඹීමට සිදුවනු නියතය.

කතාව හා නිෂ්පාදනය – මනෝ වීරසේකර

දෙබස්, තිරරචනය ගීත රචනය හා අධ්‍යක්ෂණය – ඉන්ද්‍රා වීරසේකර

සංගීත අධ්‍යක්ෂණය (ගීත) - සෝමපාල රත්නායක, (පසුබිම් සංගීතය) – ගයත්‍රි කේමදාස

කැමරා අධ්‍යක්ෂණය – අයෙශ්මන්ත හෙට්ටිආරච්චි

සංස්කරණය – ඉරුෂ ගමගේ

ශබ්ද පරිපාලනය - සශීන් ගිම්හාන්

ගීත ගායනය – නන්දා මාලනී, නෙලූ අධිකාරි, අමරසිරි පීරිස්, දුලංජනී විජේසේන, සතිෂ් ලක්ෂාන් පතිරණ හා ළමා පිරිස

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

නිෂ්පාදන කළමනාකරණය – අශෝක ආරියරත්න

වේශ නිරූපණය, කොණ්ඩා සැකසුම් හා අංග රචනය – ඉන්දික උදාර ලංකා

සහය අංග රචනය – චාමර නිරෝෂාන්

කලා අධ්‍යක්ෂණය – ඇහැළියගොඩ සෝමතිලක

සහය කලා අධ්‍යක්ෂණය - සමන් අඹගහවත්ත

ත්‍රිමාන (ඇනිමේෂන්) සජීවිකරණ - සිද්ධාර්ත

අතිරේක ත්‍රීමාන ලාංඡන – මනෝජ් නිරන්ජන්

නිශ්චල ජායාරූප – මහේෂ් නිශාන්ත

රංඟන ශිල්පීන් - උද්දික ප්‍රේමරත්න, පබසරා දිද්දෙණිය, නිශ්ශංක දිද්දෙණිය, මොරීන් චාරුණී, ෆර්ණි රෝශිණී, සුසිලා කෝට්ටගොඩ, කෞශල්‍ය නිර්මාණ (ළමා), මිහාන් තිලකරත්න (ළමා)