වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




පණ්ඩිත් අමරදේව සමඟ ගී ගැයූ කුඩා දැරිය

පණ්ඩිත් අමරදේව සමඟ ගී ගැයූ කුඩා දැරිය

දුල්ෂාර දසන්ති
විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ මිනිබිරිය ගායන ලොවට

‘ඔගී’ ශබ්දාගාරයේ ඇසෙන සුපුරුදු ගැයුම් අතර ඇසුණු මේ ගීතයේ සොඳුරු ස්වරයෙන් මුළු ශබ්දාගාරයම පිරී ගියේ එහි සිටි සියල්ලන්ගේම සිත සොඳුරු හැඟීමක ගිල්වමිනි.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සමඟ මෙලෙස යුග ගීයෙන් ඒ සොඳුරු තත්පර කිහිපය ගෙවා දැමූයේ පිපීගෙන එන රෝස පොහොට්ටුවක් වන් දියණියකි. ඕ පහළොස් හැවිරිදි දුල්ෂාර දසන්ති ද අල්විස් ය. සංගීතයේ සප්ත ස්වරය සිය මවගේ කුසයේ පිළිසිඳ ගත්දා පටන් කියැ වූ මේ බිලිඳිය තමා සතු උපන් හැකියාව ප්‍රගුණ කර ගත්තේ සිය ආත්තම්මා වූ චන්ද්‍රිකා සිරිවර්ධනගේ ඇසුරේ හිඳිමිනි.

ඇය නියෝජනය කරන්නේ සංගීතයේ අලුත් පරම්පරාවය. එවැනි පරම්පරාවකින් එන අත්තම්මා වයන සර්පිනාවේ ස්වරයට ළයාන්විත සප්ත ස්වරය ගැයූ ඕ දිනෙන් දිනම සංගීතයට එබිකම් කළේ අනාගත සුබ පෙර නිමිති අත්තම්මාගේ සිතට ඇතුළත් කරමිනි. චන්ද්‍රිකා සිරිවර්ධන සිය මිනිබිරියගේ සැඟවුණු දස්කම් හඳුනා ගත්තේ අත්තම්මා ලෙස නොව පළපුරුදු සංගීත ගුරුවරියක් පරිද්දෙනි.

ඒ නිසාම ඇගේ සෙවනේ හිඳ සංගීතය ඉගෙන ගත් දුල්ෂාර දියණිය අලුත් පරම්පරාව නියෝජනය කරන කෝකිළාවක් කිරීමට චන්ද්‍රිකා සිරිවර්ධන පෙරමුණ ගත්තාය. එහි ප්‍රතිඵලයක් ලෙස කරළියට පිවිසෙන දුල්ෂාර දසන්ති දියණිය තම අත්තම්මා සුසර කර සැදූ සංගීතයට හා තනුවට සිය මියුරු ස්වරය මුසු කළාය. ඒ ඇය තම පරපුරේ කිසිවකුටත් හිමි නොවන අපූරු අවස්ථාවකට ද හිමිකම් කියමිනි. ඒ දේශීය සංගීතයේ ප්‍රමුඛයෙක් වන ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සප්ත ස්වරයේ සැරි සරන්නට අවසර ඉල්ලමිනි. වර්තමාන පරපුරේ මිනිබිරිය මේ අවසර පතන්නේ දේශීය සංගීතයේ අත්තාගෙන් වීම විශේෂය.

චන්ද්‍රිකා සිරිවර්ධනගේ තනුව වයන්නට පද යෙදුවේ ප්‍රවීණ ගේය පද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහය. ගේය පද රචනා කලාවේ දෙවැනි පරපුර නියෝජනය කරමින් ඔහු ලියූ ගීතයේ පද සුමිහිරි වැකියක් බඳුය. පරම්පරා කිහිපයකින් සුසැඳුණු ‘සප්ත ස්වරයේ රජතුමාණනි’ ගීතය මෙලෙස පටිගත වූ අතර අසූ හත් වැනි වියට පා තබන අමරදේවයන්ට ද මේ අත්දැකීම අපූරු මතකයකි.

දුල්ෂාර-සප්ත ස්වරයේ රජතුමාණනි

ශිල්ප ලබනට ආවෙමි

පරම සුන්දර මධුර මනහර

වරම් දුන මැනවී//

 

අමරදේව-චන්ද්‍ර මඬලේ පුන් කලා වැනි

ස්වප්න දක්නා ළමා ලාලනි

අමර පදසර ගගන සරණට

ශිල්ප ගනු මැනවී//

 

දුල්ෂාර-සුවඳ වියපත් නොවන හදවත

සරස්වති වැඩ ඉඳින සියපත

අමරදේව- තරඟ නංවන පියුම් විලමත

ඇසෙන්නෙද සර බිඳෙන වෙණතත

 

සොයමි මනුසත් ලොවේ කොතනද

සිඳෙන් නැති සංගීත රසවිත

නිසල පබසර නිමල මනසට

සිනාවෙද කඳුලේ ද රස ඇත

 

පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගායනය – පණ්ඩිත් අමරදේව සමඟ දුල්ෂාර දසන්ත

තනුව හා සංගීතය – චන්ද්‍රිකා සිරිවර්ධන