වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




පූජාට ආදරයේ මංගල සීනු

පූජාට ආදරයේ මංගල සීනු

විවාහයට වෙබ් අඩවි නියම කරපු දින බොරු
- පූජා උමාශංකර්

පැහැබර අහසෙහි රන්වන් වලාපෙළ හරඹ කරමින් අපූරු රටා මවන්න පටන් ගත්තා. වත්ත කෙළවරේ පිපුණු අරලියා මුල් සුවඳ හාත්පසම වෙලා ගෙන සිතට අපූරු සුවයක් එක් කළේ අමුතුම සිතුවිලි රෑනක් එකතු කරමින්.

මමත් දැන් ප්‍රේමවන්තියක් නේද කියලා හිතුණු වාර අනන්තයි. මුරණ්ඩු මගේ හිත එක් කෙනෙකුට කීකරු වෙලා.

ඇත්තටම කොහොමද එහෙම වුණේ? මටම පුදුමයි මහ මෙරක් තරම් බලාපොරොත්තු කන්දක් හදවත අද්දර ගොඩ ගැහිලා. ඒ වෙන කවුරුත් හින්දා නෙවෙයි මගේ ලොවට අලුතින් පැමිණි ආගන්තුකයා හින්දා.

දීපක් ශම්මුගනාදන්.

එයා තමයි මගේ ජීවිතය ඒකාලෝක කරන්නේ. දීපක්ව මුණගැහුණේ මගේ හොඳම යෙහෙළිය වන ස්ටෙෆිනි සිරිවර්ධනගේ මාර්ගයෙන්. දීපක් එතකොට ඇයගෙත් මිතුරියක්. එක්තරා දවසක අපි තිදෙනා එකට හමු වුණා. ස්ටෙෆිනි මට දීපක්ව හඳුන්වා දුන්නා.

හෙලෝ කියලා මං අතට අත දුන්නා. හරිම සෞම්‍ය ලෙස ඔහු මගේ අතින් අල්ලගෙන හඳුනා ගැනීම සිද්ධ වුණා. හැබැයි මම නම් කවදාවත්ම හිතුවේ නැහැ එදා අල්ල ගත්තු අත ජීවිත කාලයෙම සුරකෂිත කරාවි කියලා. අපි ක්‍රම ක්‍රමයෙන් මිතුරන් බවට පත් වුණා.

හොඳම හොඳ හොඳම මිතුරන් වුණා. ඔය අතරේ ස්ටෙෆිනි පුංචි පුංචි දේවල් මගෙත් එක්ක දීපක් ගැන කියන්න පටන් ගත්තා.

පූජා ඔයා මොනවද දීපක් ගැන හිතන්නේ?

වාක්‍ය දහයක් ස්ටෙෆිනි මගෙත් එක්ක කතා කළොත් නවයක්ම අර කලින් කියපු දේ කිව්වේ. වෙලාවකට මට එපා වුණා. ඒත් දීපක් යන නම කියද්දී මගේ හිතට මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගත්තා.

මම නොදැනුවත්වම දීපක්ට නතු වෙලා නේද කියලත් හිතුණා.

ඇත්තටම එහෙම දැනුණු කාලය මට හරියට හීනයක් වගේ. අදටත් එහෙමයි. ඔහුගේ හමුවීම තවමත් මට ස්වප්න ලෝකයේ සිදුවීමක් හා සමානයි.

කොහොම හරි අපි නොදැනුවත්වම එකිනෙකාට ආදරය කරන්න පටන් අරගෙන. වෙලාවකට දීපක් ගැන මට හරි කේන්තියි.

ඔහු වෘත්තියෙන් මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම මෝස්තර ඡායාරූපයට නඟන්නෙක්.

එහෙම කෙනෙක්ට මං ගැන ස්ටෙෆිනි මුලින්ම කියපු දවසේ මම මොනවා කරන කෙනෙක් ද කියලා ඇහැව්වලු. ඒ කියන්නේ එයා මාව නිළියක් කියලා දන්නෙවත් නැහැලු. අනේ අප්පොච්චියේ මට පුදුමත් හිතුණා. ඒ ගැන ඔහුගෙන් ඇහැව්වාම හිනාවෙලා නිකම් හිටියා.

මට දැන් හිතෙන්නේ නිළියක් කියල නොදැනගෙන හිටපු කෙනෙක් හින්දා තමයි ඔහු මට ඇත්තටම ආදරය කරන්නේ. මේ තමයි මං කාලාන්තරයක් ඉඳලා බලාපොරොත්තුවෙන් සිටි ආදරය. ජීවිත ගමන් මඟේ නිම්තෙරේදී හමු වූ ඔහුට මං මේ සංසාරෙම කැප වෙනවා.

ඇත්තටම දීපක් තමයි මං බලාපොරොත්තු වුණ පිරිමියා. මං කලින් කිව්වා වගේ මමත් ටිකක් නාහෙට අහන්නේ නැති කෙනෙක්. ඒ හින්දමදෝ කොහෙද මගේ පස්සෙන් ආව කිසිම කොල්ලෙක්ව මං තැකීමකට ලක් කෙරුවේ නැති තරම්. ඉන් ඇතැම් අය මගෙත් එක්ක තරහ වෙලත් ඇති.

මං හරිම පරිස්සමෙන් ගොඩක් අයව ආශ්‍රය කළේ. වැඩිහිටියන් මට නිතරම කියපු දෙයක් තමයි බැටලු හම් පොරෝ ගත්ත වෘකයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියන එක. මට දීපක් ගැන එහෙම බියක් කොයි වෙලාවකවත් දැනුණේ නැහැ.

ඔහු හරියට මහා පවුරක් වගේ මා වටා බැඳුණා. එහෙම කළේ මාව කොටු කරලා තියාගන්න නෙවෙයි. මගේ ආරක්ෂාවට.

ඔහු මාව රංගනයෙන් ඈත් නොකරනවා කියලා පොරොන්දු වුණා. ඒ හින්දා මට ගොඩක් සතුටුයි. මටත් වඩා අපේ තාත්තා මේ දවස්වල සන්තෝසෙන් උඩ පනිනවා ඇති. මොකද ඔහුට අවශ්‍යව තිබුණේ මාව ලාබාල වියේදීම විවාහ කරලා දෙන්න.

ඔහුගේ ඒ බලාපොරොත්තුව කාලයත් සමඟ යටපත් වෙලා ගියා. නමුත් මම කොල්ලෙක් හොයා ගත්තා කියපු ගමන් ඔහු ලැහැස්ති වෙලා මගේ විවාහය උත්සවශ්‍රීයෙන් ගන්න. මං කිව්වා තවම ඊට දින යොදාගෙන නැහැ කියලා.

නමුත් තාත්තා කියනවා ඉක්මනින් මේක ඉවරයක් කරමුලු. මොනවා වුණත් විවාහයෙන් අනතුරුව මං ලංකාව දාලා යන්නේ නැහැ. දීපක් දෙමළ සම්භයක් ඇති ලාංකිකයෙක්. ඒ හින්දා මං ඔහුව විවාහ කරගත්තායින් අනතුරුව මමත් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයෙකු වේවි.

මගෙයි දීපක්ගෙයි ආදර කතාව ආරංචි වෙච්ච ගමන් ගොසිප් වෙබ් සයිට්වල අපේ විවාහයට දිනත් නියම කරලා දාලා තිබුණා. ඒ ඔක්කොම බොරු හොඳේ. අපි තවම දින නියම කරගෙන නැහැ. හැබැයි මට දීපක් මුදුවක් නම් තෑගි කළා.

ඒක අපේ ආදරයේ සදාතනික සිහිවටනයක්. දීපක් වගේ කෙනෙක්ගේ ආදරය ලබන්න මං පිං කරලා තියෙනවා කියලා මට හැඟෙනවා. මොකද ඔහු වැනි අවංක, මං තරම්වත් බොරුවක් කියන්නේ නැති කෙනෙක්.

මං ඔහුට ඉතාම ගෞරවයෙන් සලකන්නේ ඒ හින්දයි. දීපක්ට හොඳට සිංදු කියන්න පුළුවන්. එ වගේම චිත්‍ර අඳින්නත් පුළුවන්. ඔහු ඇඳපු සිතුවම් ඔහු වගේම ලස්සනයි. දිනෙක මගේ රුවකුත් ඔහු සිතුවමට නඟාවි.

පිණිබඳු ඉහිරෙන උදෑසනක ඇති නැවුම් බව මගේ සිතට අද දැනෙනවා. දීපක් ළා හිරු වගේ මගේ ලොවට පායාගෙන ඇවිත්. ආදරයේ වන්දනා ගමන අපි ආරම්භ කළා. ඒ අතරතුරදි නොයෙක් බාධා ඇති වෙනවා කියලා මං දන්නවා.

නමුත් මල් සුවඳ වගේ පිවිතුරු අපේ ආදරයට බොහෝ දෙනා ආසිරි සලාවි. ළඟදීම එක වහලක් යටට එන්න ඕනෑ. ඇවිත් මගේම කියලා ජීවිතයක් ආරම්භ කරන්න ඕනෑ.

මාස පහක් ඇතුළත දීපක් මට හමු වෙලා ජීවිතයේ කළ මේ පෙරළිය හරිම ආශ්වාදජනකයි. දිනකට අප කතාබහ කරන වාර සීමිත වුණත් එන්න එන්න ආදරය වැඩිවෙනවා මිසක කවදාවත් අඩු වුණේ නම් නැහැ. මට මේ වෙලාවේ මතක් වෙනවා විජය කුමාරණතුංග මහත්මයා සමඟ චන්ද්‍රලේඛා පෙරේරා ගැයූ ජනප්‍රිය ගීතයක්.
 

සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමු

සංසාරෙන් අපි සමු ගන්නාදා ඒ ගමනක් අපි එකට යමු

දීපක් මම ඔයාට කියන්නෙත් ඒ ටිකමයි. මම ඔයාට හැමදාම ආදරෙයි.

මීට ඔයාගේ ආදරණීය පූජා උමාශංකර්.