වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




රියැලිටි වැඩසටහනට ආ ලොකු පවුල

රියැලිටි වැඩසටහනට ආ ලොකු පවුල

අමෙරිකානු රියලිටි රූපවාහිනි කතා මාලාවක් වන 19 Kids and Counting හි චරිත නිරූපණය කරන 21 වැනි වියැති ජේසා ඩගර්, බෙන් ඩීවල්ඩ් සමග විවාහය පසුගිය සතියේ අර්කන්සාස්හි දේවස්ථානයකදී සිදු කෙරිණි. දහසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විවාහ මංගලෝත්සවය හොලිවුඩයේ අතිශය ජනප්‍රියත්වයක් දිනා ගත්තේය . ඒ 19 Kids and Counting අපූරු රියලිටි වැඩසටහන හේතුවෙනි.

19 Kids and Counting වැඩසටහන දරුවන් දහනව දෙනෙකුගෙන් සැදුම්ලත් ඩගර් පවුල ගැන කියවෙන්නක්. මයිකල් ඩගර් සහ ජිම් බොබ් දෙමාපියන් වන මෙම වයස අවුරුදු 26 සිට වයස අවුරුදු 04 දක්වා වූ පිරිමි ළමුන් 10 දෙනෙකු සහ ගැහැණු ළමුන් 9 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. තවත් සුවිශේෂ කරුණක් වන්නේ සෑම ළමයෙකුගේම නම් ‘ජේ’ අකුරින් ආරම්භ කිරීමයි.

පසුගියදා විවාහ දිවියට පිවිසි ජේසා ලෝරන් සීවල්ඩ් ඩගර්,ඩගර් පවුලේ විවාහ දිවියට පිවිසි තුන්වැනි දරුවා මෙන්ම පවුලේ පස්වැනි දරුවා ද වන්නීය. ජෝෂුවා, ජානා, ජෝන්, ජිල්, ජේසා, ජින්ජර්, ජෝසෆ්, ජොසියා, ජෝයි, ජෙඩ්ඩියා, ජෙරමියා, ජේසන්, ජේම්ස්, ජස්ටින්, ජැක්සන්, ජොහානා, ජෙනිිෆර්, ජෝඩ්න් සහ ජොසී ඩිගර් පවුලේ අනෙකුත් සාමාජිකයන් වේ. ඔවුන්ගේ දිවි පෙවත ඇසුරින් 19 Kids and Counting නම් රියලිටි වැඩසටහන නිර්මාණය කෙරේ.

අමෙරිකාවේ අර්කන්සාස්හි ජීවත් වෙන ඩගර් පවුල ආගම දහමට ලැදී විනය ඉතා ඉහළින් සළකන්නා වූ පවුලක් වේ. සාමාන්‍ය අමෙරිකානු සංස්කෘතියේ මෙන් නිදහසෙන් නොව දැඩි නීති රීති සහිතව දිවි ගෙවන පවුලකි. ඩගර් පවුගේ සාමාජිකයන් මුහුදු වෙරළ වැනි ප්‍රසිද්ධ ස්ථානයන්හි ස්නානයට පවා නොයති. මෙම සුවිශේෂත්වය නිසාම ඩගර් පවුලේ රියලිටි වැඩසටහනට රසික අවධානය යොමුවී තිබේ.

මෙහි පළමු වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ 2004 වසරේදීය. ළමුන් දහනව දෙනෙකුගෙන් පවුල සම්පූර්ණ වූ පසු 19 Kids and Counting ලෙසින් නම් කළ වැඩසටහන 2008 වසරේ දී ආරම්භ කෙරිණි. වසර ගණනක් පුරා අමෙරිකාවේ විකාශය කෙරෙන මෙම ආදර්ශවත් පවුලේ කතාන්දරයට කවුරුත් ආදරය කරති. ඩගර් පවුලේ අම්මා වන ජිම් බොබ් පසුගිය දිනෙක මාධ්‍යට පවසා තිබුණේ දැනට තමා දරුවන් බිහි කරන වයසේ නොසිටියත් දෙවියන් වහන්සේ තවත් දරුවෙකු ලබා දුනහොත් ඔහු හෝ ඇය ඉතා ආදරයෙන් පිළිගන්නා බවයි. එසේ වුවහොත් 19 Kids and Counting රියලිටි වැඩසටහන 20 Kids and Counting ලෙසින් වෙනස්වනු ඇත.