වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




දැනුමට මිනුමට

දැනුමට මිනුමට

* සිංහල චිත්‍රපට ගීත ගායනයට එක් වූ මුල්ම ඉන්දීය ගායිකාව වනුයේ භාග්‍යරතී ය. අශෝකමාලා චිත්‍රපටයේ ‘ප්‍රීති ප්‍රීති’ ගීතය ඇය විසින් ගායනා කළා.

* දැනට ජීවතුන් අතර සිටින සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නළුවා සහ ගායන ශිල්පියා වනුයේ පණ්ඩිත් අමරදේවයන් ය. අශෝකමාලා චිත්‍රපටයේ ‘ඇයි කළේ යමෙක් ආලේ’ ගීතය ගායනා කරමින් ඔහු තාපසයකුගේ චරිතය නිරූපණය කළා.

* 1936 වසරේදී ශ්‍රී ලංකාව පාදක කරගනිමින් තැණුනු අග්‍රගණ්‍ය චිත්‍රපටය වනුයේ Song of Ceylon චිත්‍රපටය යි. එය බැසිල් රයිට් විසින් අධ්‍යක්ෂණය කරන ලදී.

* බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපටයේ පියා ලෙස හැඳින්වෙන්නේ ජෝන් ග්‍රියසන්ය.

* සුප්‍රකට ගත්කරු ශීන් පෝල් ශාත්‍රේ ගේ තිර නාටකයක් අනුව සිනමා කෘතියක් තනන්නට සැරසුණු හොලිවුඩ් සිනමාකරුවා වනුයේ ජෝන් හූස්ටන්ය. (මෙම චිත්‍රපටය අතරමග ඇණහිටිනි.)

* හොලිවුඩ් සිනමාවේ වර්තමාන සම්ප්‍රදාය ගොඩනංවා අවුරුදු 36දී මිය ගිය ඔහු හඳුන්වන්නේ පුදුම ඉලන්දාරියා යන අනවරත නාමයෙනි. ඔහු නමින් අර්වින් තැල්බර්ග් ය.

* අමෙරිකානු චිත්‍රපටයක රඟපෑ මුල්ම ශ්‍රී ලාංකික නිළිය වනුයේ මීරියම් පීරිස් ය. ඒ 1935 වසරේදී නිර්මාණය වූ The Drum චිත්‍රපටය යි.

* ඉන්දියානු සිනමා කෘතියක් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස මුලින්ම නාමයෝජනා දිනූයේ Mother India චිත්‍රපටය යි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ මෙහෙමුද් ඛාන් විසිනි.

* Death Wish චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන ලද්දේ චාල්ස් බ්‍රොන්සන් විසිනි.

* ගෞතම බුද්ධ චරිතය ඇතුළත් Light of Asia වත් ප්‍රේම් සන්‍යාස් ඉන්දියානු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජර්මන් ජාතික ෆ්‍රාන්ස් ඔස්ටන් විසිනි. ප්‍රධාන චරිතය නිරූපනය කරන ලද්දේ හිමන්සු රායි විසිනි.

* තමිල්නාඩුවේ මහ ඇමතිවරුන් අතරින් වර්තමාන මහ ඇමති පන්නීර් සෙල්වම් හැර එදා මෙදාතුර බිහි වූ සෑම මහ ඇමතිවරයෙකුම දේශපාලනයට පිවිසෙන්නේ සිනමාව හරහාය. ඒ අනුව පිළිවෙලින් සී. එන්. අන්නාදොරේ සහ අනතුරුව තනතුර දැරූ එම්.කේ. කරුණානිධි ද තිරනාටක රචකයෙකි. තෙවැන්නා වූ එම්.ජී.රාමචන්ද්‍රන් සිනමා නළුවෙකි. ඔහුගෙන් පසුව තමිල්නාඩුවේ මහ ඇමති තනතුර දැරූ ජානකී රාමචන්ද්‍රන් මෙන්ම ජයලලිතා ජයරාම්ද සිනමා නිළියන් දෙදෙනෙකි.

* ලොව වැඩිම ආදායමක් ලද චිත්‍රපටය වනුයේ ජේම්ස් කැමරන්ගේ අවතාර් චිත්‍රපටය යි. එය 2009 වසරේ තිරගත කොට ඩොලර් 2,787,965,087ක මුදලක් උපයන ලදී.