වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඉඳිකටු තුඩ රූ ගන්වද්දී චරුද් පසුපස පොලීසිය

ඉඳිකටු තුඩ රූ ගන්වද්දී චරුද් පසුපස පොලීසිය

යූ ටියුබ් ජනප්‍රියම ගීයක් ගැන විමසා බලමු

චරුද් ගුණරත්නගේ නවතම ගීතය පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරුණා. ‘ඉඳිකටු තුඩකට’ යනුවෙන් නම තබා ඇති එය මේ වන විට නිතර ඇසෙන ගීතයක් බවට පත් වෙලා.

කොළඹ ගීතයෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ චරුද් දෙවන වර ගැයූ ‘මිස් කෝල් එකක් තරමටවත්’ කෙතරම් ජනප්‍රිය වුණාදැයි කිවහොත් අද ද එය තාරුණ්‍ය අතරේ තුඩ තුඩ රැව් දෙනවා. ඉඳිකටු තුඩකට ගීතය ද එසේමයි.

චරුද්ව අප කැඳ වූයේ අලුත්ම ගීතය ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන ඒමේ අටියෙනි.

ඉතින් චරුද්? මං සුපුරුදු සාම්ප්‍රදායික ප්‍රශ්නයෙන්ම මේ කතාව අරඹන්නම්.

* කොහොමද අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර?

මං හිතුවට වැඩිය හොඳ මට්ටමක තියෙනවා. මං හිතුවේ මේ ගීතයේ වචනත් එක්ක එක්තරා පිරිසක් අතරේ විතරක් ගීතය ජනප්‍රිය වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. බාල මහළු භේදයක් නොමැතිව ඉඳිකටු තුඩකට වැළඳ ගත්තා.

* ඔබට සාක්ෂි තියෙනවාද එහෙම කියන්න?

ඔව්. මේ වන විට යූ ටියුබ් එකේ හැට දහසකට අධික ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මගේ වැඩිහිටි නෑදෑයොත් ගීතය ගැන කතා කරනවා. බොහෝ අයට එහි මුල් පද කිහිපය පවා මතකයි.

ඉතින් ඒ අනුව මං විශ්වාස කරනවා ඉඳිකටු තුඩකට සෑම තරාතිරකම රසික රසිකාවන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා කියලා.

* අද වන විට ඔබ ගායකයකු ලෙස ස්ථාවරද?

මෙහෙමයි. මං තවම පුංචි කෙනෙක්. සෑම අතින්ම ගායනයෙන්, වයසින්, අත්දැකීම්වලින් පුංචියි. තව බොහෝ දුර ගෙවා යන්න ඕනෑ. හැබැයි මං ගැයූ ගීත හතර මාව ඉතාමත් ජනප්‍රිය කළා.

මං හිතන්නේ ඒක වාසනාවට වෙච්ච දෙයක්. ගායකයකු වශයෙන් ස්ථාවරද කියලා ඔබ අහපු දේට මට මේ වගේ පිළිතුරක් මට කියන්න හිතුණා.

මූල්‍ය වශයෙන් මා ස්ථාවරවන්න නෙවෙයි ගායකයකු වුණේ. මට තව හදාරන්න තියෙනවා. කවදා හරි කාලෙක මා ස්ථාවර ගායකයකු වේවි. ඒකට ටික කාලයක් යාවි.

* චරුද්ගේ සෑම ගීතයකටම එකිනෙකට වෙනස් වූ කෙටි කතාවක් ද ඇතුළත් වුණු වීඩියෝවක් කළා. වීඩියෝවෙන් නැතිනම් චරුද්ගේ ගීත ජනප්‍රිය නොවෙන්න ඉඩ තිබුණා කියලා කවුරුන් හෝ චෝදනාවක් කළොත්?

අද වන කොට මියුසික් වීඩියෝ කලාව ඉතාමත් දියුණු වෙලා. ඇතැම් ගීත ජනප්‍රිය වන්නෙම වීඩියෝව නිසයි.

රූපවාහිනී චැනල්වල තියෙන චාර්ට් ෂෝවලින් තමයි වැඩිපුරම අලුත් ගීත එළියට එන්නේ. ඉතින් ඒ වගේ වැඩ සටහනකට ගීතයක් ඇතුළත් කරන්න වීඩියෝවක් ඕනමනේ.

මං සාමාන්‍යයෙන් කරන වැඩක් හරියටම කරන කෙනෙක්. ඒක නිසයි වීඩියෝව වුණත් ලස්සනටම වෙනස්ම අයුරින් ඉදිරිපත් කළේ. නැතුව ගීතය ජනප්‍රිය කර ගන්න නෙවෙයි.

* ඔබේ ගීතවල වචන අමුතුයි?

මගේ ගීත සියල්ලම රචනා කළේ මනුරංග විජේසේකර. මං ඔහුට කියනවා මට අවශ්‍ය මේ මේ වගේ වචන තියෙන ගීතයක් කියලා. විශේෂයෙන් කොයි කාටත් තේරෙන වචනවලටයි මං ගොඩක් ප්‍රිය. අපි එදිනෙදා කතා කරන වචන තමයි වැඩිපුරම මගේ ගීතයන්ට මනුරංග අයියා යොද ගන්නේ. එකයි ගොඩක් අයට මගේ සිංදු දැනෙන්නේ.

* සාමාන්‍යයෙන් ඔබ රසිකයන් ඉල්ලන දේ දෙන ගායකයෙක්?

ඔව්. රසිකයෝ කිව්වොත් මගෙන් අන්න අර විදිහෙ සිංදුවක් දෙන්න කියලා මං ඒක නිර්මාණය කරන්න සූදානම්.

* ඔබේ ඊළඟ ගීතය ජනප්‍රිය නොවුණොත් මොකද කරන්නේ?

කිසිම ප්‍රශ්නයක් නැහැ. තව ගීතයක් කරනවා.

* මේ වන විට චරුද් වටා අතිශය විශාල සංඛ්‍යාවක් ගැහැනු ළමයි රොක් වෙලා ඇති?

ආයෙත් අහලා. මේ වන විට ඉස්සරට වඩා මගෙත් එක්ක ගැහැනු ළමයි නම් ඉන්නවා. සිංදු අහලා හොඳ හොඳ කමෙන්ට් දෙනවා.

* ඒ අතරේ ආදරේ ප්‍රකාශ කරන අයත් ඉන්නවාද?

අපොයි ඔව්. ඒත් ආදරය මට හරිම නුහුරුයි. අනවශ්‍ය සබඳකම්වලට පැටලෙන්නේ නැහැ මම.

* චරුද්ගේ නවතම ගීතයේ රඟපාන්නේ ඔයාගෙම අයියයි මල්ලියි. ඒ දෙන්නා ගැනත් කියමු?

අයියා ෂවිඳු ගුණරත්න, මල්ලි හිරුෂ ගුණරත්න. ඔවුන් දෙදෙනාට හොඳ රංගන හැකියාවක් තියෙනවා. වීඩියෝ එක බලද්දී ඒක පෙනේවි.

* කොහෙද වීඩියෝව කළේ?

මීගමුවේ.

* එදා රූගත කිරීම කරද්දී ඔබව පොලිස් අත්අඩංගුවට ගත්තා කියන්නේ ඇත්තද?

ඒක පොඩි සිද්ධියක්. මීටර් සීයක් විතර දුරක් මට වාහනයක් එලවගෙන එන්න සිද්ධ වුණා. එතකොට මගේ ලයිසන් තිබුණු පර්ස් එක බෑග් එකක දාලා නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් ගාව තිබුණේ.

ඉතින් පොලීසියෙන් නතර කළා. දෙන්න ලයිසන් එක නැහැනෙ. ඔවුනට කරුණු පැහැදිලි කළා. පොලීසියේ අයත් වෙච්ච දේ පිළිගන්න තරම් කාරුණික වුණා. හැබැයි මාව පොලිස් අත් අඩංගුවට ගත්තේ නම් නැහැ.

මා ඉඳිකටු තුඩකට සීරනු විටදී

ඔබ හැඬුවා මහ මුහුද තරම්

මා මොහොතක් ඔබගෙන් සැඟවුණු විටදී

ඔබ සෙව්වා මුළු ලොව පෙරලන්

 

අද මා හැඬුවත් වැටි වැටි ඔබ ළඟ

ඔබ යනවා ඇස් දෙකම වසන්

කියන්න ඔබ මට ආදරේ නැති බව

මිය යන්නට මගේ හිතම හදන්

 

ර්ඪඵඵ භ කියපු හැමදාම

ර්ඥ 2 කිව්වේ බොරුවට නම්

ඔබට පෙම් කරපු වරදට මං අද

ගින්නේ දැවෙනවා සතුටු ද දැන්

 

කියන්න ඔබ මට ආදරේ නැති බව

මිය යන්නට මගේ හිතම හදන්

ඉන්න තැන තාම මං දුක් වෙනවා

කරන්න දේකුත් නැතිව ඉතින්

 

ඈතට යන ඔබ දැන් නොපෙනෙනවා

යන තැන සතුටින් ඉන්න ඉතින්

කියන්න ඔබ මට ආදරේ නැති බව

මිය යන්නට මගේ හිතම හදන්

 

මා ඉඳිකටු තුඩකට සීරනු විටදි

ඔබ හැඬුවා මහ මුහුද තරම්

මා මොහොතක් ඔබගෙන් සැඟවුණු විටදී

ඔබ සෙව්වා මුළු ලොව පෙරලන්

 

අද මා හැඬුවත් වැටි වැටි ඔබ ළඟ

ඔබ යනවා ඇස් දෙකම වසන්

කියන්න ඔබ මට ආදරේ නැති බව

මිය යන්නට මගේ හිතම හදන් . . .

 

පද රචනය – මනුරංග විජේසේකර

සංගීතය – රදීෂ් වැන්දබෝනා