වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සුන්දර යාපනේ සිනමාවේ වරුණේ

සුන්දර යාපනේ සිනමාවේ වරුණේ

මේ මොහොත වන විට යාපනය යළිත් නැවුම් සුසුම් ලබමින් සිටියි. කුරිරු ත්‍රස්තවාදී වියරුව පරදවමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ නිදහසේ හුස්මක් ගත් යාපනය නැවත වරක් දිගු හුස්මක් ලබා ගැනීම ඇරඹුණේ යාල්දේවි දුම්රිය යාපනය තෙක් දිගුවීමත් සමඟය. තමන්ට ලැබුණු මේ උපරිම තෑග්ග මේ මොහොත වන විට සමස්ථ ලංකාවේම ජනතාව සතුටින් භූක්ති විඳිමින් සිටිති.

නිකම්ම නිකම් කෝච්චියක් නොවූ යාල්දේවී නම් අපූරු සංස්කෘතීන් ද්විත්වයක් එක් කළ දුම්රිය උතුර හා දකුණේ ද කලා මාධ්‍යයන් එක් කරන සංධිස්ථානයක් බවට පත්ව තිබේ. ක්‍රමයෙන් ස්ථාවර වන උතුරේ සහ දකුණේ ළෙන්ගතුකම් තවත් තීව්‍ර කිරීම උදෙසාත් සංවර්ධනය වන යාපනයට රස වින්දනය ලබා දෙනු පිණිසත් මේ වන විට සිනමා ශාලා ද සූදානමිනි.

යාපනය නගර මධ්‍යයේ කාගිල්ස් චතුරස්‍රයේ පිහිටුවා ඇති අති නවීන, අත්‍යාලංකාර සිනමා ශාලා ත්‍රිත්වය යාපන ප්‍රදේශයේ ජනතාවට නොමඳ රස වින්දනයක් එක් කරලම්න් විරාජමානව වැජඹෙයි. කොළඹට පමණක් සීමාව තිබූ නවීනතම තාක්ෂණික ක්‍රමවේද අනුව චිත්‍රපට නැරඹීමට මේ හරහා ජනතාවට අවස්ථාව උදා වී තිබේ. කොළඹටත් වඩා උසස් තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් ඉදි කරන ලද මෙම සිනමා ශාලා ත්‍රිත්වය ප්ලැටිනම්, සිල්වර් සහ බ්‍රොන්ස් නමින් හඳුන්වා තිබේ.

ඉතාමත් විශාල ඉඩකඩක් සහිත පරිශ්‍රය තුළ ඉදිකොට තිබෙන මෙම සිනමා ශාලා ත්‍රිත්වය සැප පහසු ආසනවලින් ද සපිරි වූ එකකි. එමෙන්ම මෙම සිනමා ශාලා ත්‍රිත්වයම පවුල ඉලක්ක කරගත් විනෝද මධ්‍යස්ථානයකි.

පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා විවෘත කරන ලද මෙම සිනමා ශාලාවට මේ වන විට ඉතා විශාල සිනමා රසිකයන් පිරිසක් එක් රොක් වෙමින් සිටිති. ත්‍රිමාන (3D) පහසුකම් සහිත ප්ලැටිනම් සිනමා ශාලාවේ ආසන ගණන 301 කි. ද්විමාන රූප සහිත (2D) සිල්වර් සිනමා ශාලාවේ චිත්‍රපට නැරඹිය හැකි පිරිස 104 කි. බ්‍රොන්ස් ශාලාවේ ප්‍රේක්ෂකයන් 130 දෙනකුට එකවර චිත්‍රපටය නැරඹිය හැකි අතර මෙම සිනමා ශාලා ත්‍රිත්වයේම එකවර නැරඹිය හැකි ප්‍රේක්ෂකයන් ගණන 623 කි.

උසස් රූප සහිත මෙම සිනමා ශාලාවේ එක් වරකට චිත්‍රපට ත්‍රිත්වයක් ප්‍රදර්ශනය කරනු ලැබේ. ඒ අනුව මේ වන විට ‘පූජෙයි’, ‘හැපි නිව් ඉයර්’ (දමිල) හා ‘හැපි නිව් ඉයර්’ (හින්දි) චිත්‍රපට තිරගත වෙයි.

මේ වන විට වැඩිම ආදායම් වාර්තා තබා ඇති චිත්‍රපට අතර කොච්චිදයියාන් (රජිනි කාන්ත්), 47 Ronin සහ පූජෙයි ඉදිරියෙන්ම සිටිති. පූජෙයි ඇතැම් දිනවල එක් වරම සිනමා ශාලා ත්‍රිත්වයේම ප්‍රදර්ශනය කරන්නට සිදුවන බව අපට කියන්නේ මේ සිනමා ශාලා ත්‍රිත්වයේ නියෝජ්‍ය කළමනාකරු එස්. කපිලය.

‘දීපවාලි දවසේ හෝල් තුනම පිරුණා. යාපනේ ජනතාව මේ චිත්‍රපට ශාලා ත්‍රිත්වය ගැන ඉන්නේ හරිම ආසාවෙන්. සමස්ථයක් විදිහට ගත්තම යාපනේ ජනතාව හරිම විමෝදකාමී වගේම සාමකාමීයි. ඔවුන් ඉතාමත් ආසාවෙන් චිත්‍රපට ශාලාවට පැමිණෙනවා. විනීතව චිත්‍රපට නරඹනවා. ඒ වගේම කලක් තිස්සේ හෙම්බත් වෙලා හිටිය ඔවුන්ට හොඳ රස වින්දනයක් අවශ්‍ය කාලයක් මේක.

රජය මඟින් යාපනය සංවර්ධනය වෙද්දී සියලුම දේ නවීකරණය විය යුතුයි. ඒ නිසාම තමයි සිලෝන් තියටර්ස් සමාගම මේ වගේ අත්‍යාලංකාර, නවීන සිනමා ශාලාවන් තුනක් යාපනයේ ජනතාවට තිළිණ කළේ. ඇත්තටම ඒක නං කදිම තෑග්ගක්. හැම දෙනාම සතුටින් තමයි චිත්‍රපට නරඹන්නේ.

යාපනේ විතරක් නෙවෙයි, පේදුරුතුඩුව, මාවට්ටපුරම්, කිලිනොච්චි වගේ වටේ ඉන්න හැම රසිකයෙක්ම අළුත් චිත්‍රපටයක් එක් වතාවක් හරි බලනවා. චිත්‍රපටය හරියට වැදුණොත් තුන් හතර වතාවක් බලන වෙලාවලුත් තියෙනවා.

රැජිනි කාන්ත්, විජේ වගේ අය තමයි මේ ප්‍රේක්ෂක ජනතාවගේ වීරයන්. තමන් කුල්මත් කරවන, තමන්ව රසයෙන් පුරවන නළුවන්ට දමිල ජනතාව කවදත් හරිම ආදරෙයි. මේ වන විට යාපනේ හොඳ ආර්ථික මට්ටමක් තිබෙනවා. ඒ නිසා විනෝදවීමට ඔවුන් කාලය මෙන්ම වෙන් කරගත් ධනයත් වැය කරනවා. රසය හොයන අයට රසයක් ලබාදීමට හැකිවීම අපටත් සන්තේෂයක්. ඒ වගේම කොළඹට පමණක් උසස් රසවින්දනය සීමා නොකර යාපනය වගේ ප්‍රදේශවලට මේ නවීනතම 3ච් තාක්ෂණය ලබාදීමට හැකිවීමත් ජයග්‍රහණයක්.

කපිල පවසන්නේ සන්තෝෂයෙනි. ඇතැම් දිනවලදී ශාලා ත්‍රිත්වයේම එකම චිත්‍රපටය පෙන්වීමට සිදුවන බව කපිල කරන අනාවරණය සිනමාව දෙසත් සිනමා ශාලා දෙසත් හැරී බැලීමේදී සුබ කාරණාවකි. සාපලත් යුද්ධයේ අඳුරු සෙවනැලි පලවා දමා සුන්දර සාමයේ සොඳුරු අරුනළුවලින් එළිය ලැබූ ජනතාව සතුටින් විනෝදයෙන් කල් ගෙවීම ද රටකට සම්පතකි.

‘කාලයක් අපි හිටියේ යුද්දෙට බය වෙලා. අතිගරු ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න යුද්ධය නිමා වුණා. යුද්දෙට පස්සේ අපි අලුත් ලෝකය රස වින්දනය ගැන වගේම රටතොට ගැන හොයන්න පටන් ගත්තා. යාපනේ සිනමා ශාලා ඔක්කොටම මිනිස්සු ආදරෙයි. රාජා, චෙල්ලා සිනමා ශාලාවල වගේම මැජෙස්ටික් ස්කෙයාර් සිනමා ශාලාවලටත් මිනිස්සු එන්නේ හරිම ආශාවෙන්. රැජිනි කාන්ත්, සූර්යා, විජේ ඉන්න චිත්‍රපට බලන්න තමයි තරුණ පිරිස ගෙඩක්ම කැමති. ඇත්තෙන්ම අපි හරිම සතුටෙන්, විනෝදයෙන් චිත්‍රපට බලනවා. සිංහල චිත්‍රපට ගැන අපි අහල තියෙනවා. ඒත් බලල නැහැ. මේ සම්බන්ධකම් දියුණු වුණාම අපිට සිංහල චිත්‍රපට බලන්නත් කාලයක් උදාවේවි කියලා හිතෙනවා.

මිනිස්සුන්ගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න එන්ටර්ටේන්මන්ට් අවශ්‍යයි. මං හිතන්නේ දැන් නං අපට හොඳ රස වින්දනයක් ලැබෙනවා.

තිස් හැවිරිදි එස්. ප්‍රසන්න නම් දමිල තරුණ මිත්‍රයා අපට රස වින්දනය ගැන පවසන්නේ එවැනි කතාන්දරයකි. අපගේ ගමනේදී හිතෛෂී මිතුරකු බවට පත් වූ ප්‍රසන්න නිරතුරුවම සිනමාව සමඟ ගනුදෙනු කරන්නෙකි. කොළඹ ප්‍රදර්ශනය වන සිනමාපට යාපනෙයේද එකවර නැරඹීමට හැකි වීම ගැන ඔහුට ඇත්තේ දැඩි සතුටකි.

සුබදායක මෙන්ම සුවදායක සිහින දකින යාපනයේ ජනතාව රස වින්දනය නිරතුරුවම සොයා යන්නන් බව ඔවුන්ගේ කතාබහෙන් මෙන්ම ක්‍රියාවෙන් ද තේරුම් ගත හැකි වෙයි. ඒ නිසාම සාමය පිරි පුරවරයේ සිනමා ශාලා නිතර අතුරු සිදුරු නොමැතිව පිරී පවතියි. මේ තත්ත්වය ඉතා සුවදායක මෙන්ම වාසනාවන්ත වූ එකකි.