වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ වැඩකට කතා කළොත් හෙටහරි ලංකාවට එනවා

හොඳ වැඩකට කතා කළොත් හෙටහරි ලංකාවට එනවා

හිරු රන් සම්මාන උළෙලේ හොඳම සහය නළුවා අශාන් ඩයස් සරසවියට කතා කරයි

නදිය අසබඩට පැමිණි අසරුවා එකවරම ඉවුර මත ගිමන් හැරියේය. ශ්වේත වර්ණ වැලි තලාව මත තම අසු නවතා ඔහු තම දෑස පමණක් පෙනෙන පරිදි මුහුණ ආවරණය කර ගනු ලැබුවේ උඩුකය වසා සිටි රෙදි කඩිනි. නැවතත් විදුලි වේගයෙන් අසු හැසිරූ මේ අසරුවා සෙනවියකු විය යුතුමය. උකුස්සකුගේ වන් තීව්‍ර දිගැටි සුපැහැදිලි දෙනෙතත් අසරුවකු සමාන පෘෂ්ටිමත් අලංකාර සිරුරත් නිසඟයෙන්ම හිමි වූ නිර්භය ගතියත්, කිසිවෙකුටත් යටත් නොවන ස්වභාවත් අසුපිට සිටින මිනිසා සතුය.

වන වඳුලු, දිය කඳුරු,පීරමින් තැනිතලාවේ කලුමැදිරිය ගස් මණ්ඩිය කළුවරේම පහුකල අසරුවා නතරවූයේ විහාර මාලිගයේ ප්‍රධාන ද්වාරය අසලය.

“පතිරාජ සෙනවි”

නායක හිමියන්ගේ ආශිර්වාදාත්මක ආමන්ත්‍රණය ඔහු සෙනවියකු වග කියන සාධකයකි.

“හාමුදුරුවනේ කුමාරයා කළුන්දෑවේ හොඳින් ඉන්නවා.”

සෙනවියා එකත්පසට හිඳගත්තේ ලෑලි බංකුව මතිනි.

මම විහාර මාලිගයේ සුදු වැලිතලයට වී සෙනවිතොමෝ එනතෙක් සඳ සෙවණැලි ගතිමි. දිගු රහස් සාකච්ඡාවෙන් පසුව සෙනෙවිතොමෝ වැලි මළුව පසුකර යත්ම මම ඔහු අමතමි.

පතිරාජ සෙනවි..........

සෙනවි තොමෝ ගල් පඩි පෙළ අසල සඳ එළි අතරම මා හා කතාවකට සූදානමිනි.

සිරි පැරකුම්හි පතිරාජ සෙනෙවියා ලෙස නම් වුවද කලකට ඉහතදී ඔහු අපට හමුවන්නේ අලිමංකඩ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙසටය.

පසුගියදා නිමාවට පත් වූ හිරු රන් සම්මාන උළෙලේ හොඳම සහය නළුවා ලෙසට සම්මානය දෝත දරාගත් මේ පතිරාජ සෙනවියා අශාන් ඩයස්ය.

මේ විහාර මාලිගයේ පඩි පෙළ මත හිද මට ඔහුව රැගෙන යන්නේ හිරු රන් සම්මාන උළෙලේ උණුසුම් මතක අතරටය.

“එදා නම් හිතාගන්නටත් බැරි වුණා. මම මේ සම්මාන උළෙලට ආවේ ඕස්ටේ‍්‍රලියාවේ ඉඳලා. සම්මානයක් බලාගෙන නම් නෙවෙයි ආවේ . මගේ ජීවිතේම කලාවට කැපකරලයි තියෙන්නේ. ඉතිං මේවාගේ සම්මාන උළෙලකට එන්න කිව්වම නොඇවිත්ම බැහැ. අනෙක මගේ සහෝදර සහෝදරියන්ට සුබ පතන්න කලාකරුවෙක් විදියට මං එතනට අත්‍යව්‍යයි කියල හිතුණා. ඉතිං මං ආරාධනාව ලැබුණු ගමන්ම ලංකාවට එන්න තීරණය කලා. සම්මාන කාණ්ඩය සඳහා මගේ නම නිර්දේශ වෙද්දිත් ඒක ඒ තරම්ම දැණුනේ නැහැ. ඒත් මගේ නම කියවුණාම දැණුන සතුට නිමකරන්න බැහැ. හැම කලාකරුවෙකුටම සම්මානයක් ඇගයීමක් ලැබීම සතුටක්.”

අවසානයේ සිට ඇරඹුමට යා යුතුය. මට ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ වේදිකාවේ මතක අතර තනිකරමි.

ඇත්තටම, සුන්දරම, ඉමිහිරිම, අතීතයක්. මාරිස්ටෙලා විද්‍යාලය තමයි මගේ කලාවේ උපත. මොන්ටිසෝරියේ ඉඳන් නාට්‍ය කරන්න තිබුණේ පුදුම ආසාවක්. ඒ ආසාව නිසාම රංගනයට ජීවිතේ වැඩි ඉඩක් ලබා දුන්නා. මාරිස්ටෙලා විද්‍යාලයේදී නාට්‍ය කරන්නට පටන්ගත්තා. ඒ අතීතය හරිම ලස්සනයි. වේදිකාව උඩට නගින්නට ඇඟට දැනුණ ජවය කියා නිම කරන්නට බැහැ.

ඉන්පස්සේ මම ජෙරෝම්ද සිල්වා මහත්මයා සමඟ එකතුවෙන්නේ වේදිකාවට මෙන්ම කලාවට අපූරු ආදරය නිසාමයි. මෙහෙම කාලයක් ගතවෙද්දී මම ක්‍රමයෙන් රංගනය ගැන ඉගෙනගත්තේ ආසාවෙන්. ජෙරෝම් ද සිල්වා මහත්මයාගේ බ්ලඩ් බ්‍රදර් කියන වේදිකා නාට්‍ය බලන්න චන්ද්‍රන් රත්නම් මහත්මයා ඇවිල්ල හිටියා. නාට්‍ය අවසානයේදී එතුමා මා සමඟ කතා කළා.

ඒ කතා බහේදී අලිමංකඩ චිත්‍රපටයේ උප චරිතයකට මට ආරාධනා කලා. චන්ද්‍රන් රත්නම් වැන්නකුගේ ඒ ආරාධනාව මං ගෞරවයෙන් පිළිගත්තා. ටික දවසක් ගියහම එතුමා මට නැවත කතා කලා. අලිමංකඩ ප්‍රධාන නළුවාගේ ගැටළුකාරී තත්ත්වයක් නිසා ප්‍රධාන චරිතය මට ලබාදීමට තීරණය කළ බව එතුමා පැවසුවා. මට දැණුනේ පුදුමාකාර සතුටක්.

ඔහු එදා මෙන්ම දැනුදු සිනහවෙයි. එදා හිතපුරා පිරී තිබූ අප්‍රමාණ සතුට අදටද එසේමයැයි මට සිතේ.

චන්ද්‍රන් රත්නම් මහත්මයා වගේ කෙනෙක් සමඟ වැඩ කරන්න ලැබීමම මගේ ජීවිතයේ භාග්‍යයක් කිලයි එදා මට දැනුණේ. කොහොම හරි මං ඒ චරිතය භාරගත්තා. වනාන්තරවල, ගංගාවල අතිදුෂ්කර තැන්වල තමයි රූගත කිරීම් සිදුවුණේ. මං ඒ හැමදේම හොඳින් තරණය කළා. අලිමංකඩ තුළින් තමයි අශාන් ඩයස් කියන සිනමා නළුවා බිහිවුණේ.

සිරිපැරකුම්

මම ඔහුගෙන් පතිරාජ සෙනවිගේ උපත පිළිබඳ අසමි.

රේණුකා බාලසූරිය මහත්මියගේ ලොකු පුතා තිවංක විශ්වනාත මගේ මිත්‍රයෙක්. ඔහු තමයි මේ චරිතයට මාව යෝජනා කළේ. ඉන් පස්සේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතාට මම මගේ ඡායාරූප එව්වා. එතුමා පතිරාජ සෙනවිගේ චරිතයට මාව තෝරාගත්තා. ඉන් පස්සේ ලංකාවට ඇවිත් මං චරිතයට සහභාගී වුණා. මේ චරිතය මට ලබාදීමට තවත් කෙනෙක් මට උදව් කළා. ඒ අශෝක අතාවුදහෙට්ටි මේ මොහොතේ ඒ හැමෝටම මං ස්තූතියි කියලා කියනවා.

“මේ චරිතය කොහොමද ඔබට දැනුණේ” මගෙන් පැනයකි.

ඇත්තටම ඇඳුම්ටික දාල මේකප් එක දානගමන් මට නම් හිතුණේ මං පතිරාජ සෙනවිම තමයි කියලා. ඒ තරමටම ඒ චරිතය ජවසම්පන්නයි. ඒ වගේම සෝමරත්න දිසානායක මහත්මයා ඒ චරිතයට ලියල තිබුණු දෙබස් හා එතුමා දුන් අගනා උපදෙස් මේ චරිතය සාර්ථක කරගන්නට යෝධ ශක්තියක් වුණේ.

මගේ ඊළඟ පැනය ප්‍රවීණයන් ගැනය. ඔහු සමඟ රංගන ගනුදෙනු කළ ප්‍රවීණයන් ගැනය.

ඇත්තෙන්ම මේ චිත්‍රපටයේ ප්‍රවීණ පිරිස අපට දුන්න ශක්තිය නම් කියල නිම කරන්න බැහැ. හැමෝම එහෙමයි. අපිට සැලකුවේ සහෝදරයන්ට වගේ. අපි අතර තවදුරටත් වචන හුවමාරු වෙලා නැහැ. මාලනී අක්කා, බිමල් අයියා, පාලිත අයියා හැමෝම දුන්නේ ලොකු සහයක්.

ඒ වගේම ප්‍රමුදිත පුතා ගැනත් කිව යුතුමයි. එයා තමයි අපේ ආදරේ. චිත්‍රපටයේ දර්ශනවල එයාව බලාගන්න කියලා මට කියන්න උවමනා වුණේ නැහැ. මොකද අපේ කණ්ඩායමේ ම වගකීමක් වෙලා තිබුණේ ප්‍රමුදිතව රැකගැනීමයි. ප්‍රමුදිත එහෙම නැත්නම් පරා පැටියා ඒ තරමටම ආදරබර දරුවෙක්.

ඔබ ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. කොහොමද නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

මං ඕස්ටේ‍්‍රලියාවේ ඉන්නේ මගේ අධ්‍යාපන කටයුතු හමාරවෙනකල් විතරයි. මම ගෘහනිර්මාණ කටයුතු පිළිබඳ උපාධියක් ලබාගත්තා. ඒක දැන් ඉවරයි. අපි කරන්නේ පාට් ටයිම් ජොබ්. ඒ නිසා ඒවා දාලා

අලිමංකඩ

ඕන වෙලාවක ලංකාවට එන්න පුළුවන්. හොඳ නිර්මාණයක් ලැබුණොත් හෙට හරි ලංකාවට එනවා. අනෙක ඕස්ට්‍රේලියාවේ පදිංචිවෙලා ඉන්න ඒ ජීවන රටාවට අනුගත වෙන්න අපේ කිසිම අදහසක් නෑ.

අපි කිව්වේ

මගෙයි බිරිඳගෙයි. අපි දෙන්නත් කැමැතියි ලංකාවේ ඉන්න. ලංකාවේ කාල ඇඳලා ලස්සනට ඉන්න ක්‍රමයක් හැඳුන ගමන්ම ආයේ රට යන්නේ නෑ. මොකද කලාව තමයි ඇඟේ තියෙන්නේ. ඒ කලාව ලංකාවෙම කරන්න තමයි හිත.

මොනවගේ චරිත වලටද කැමැති.

මම කැමැතිම අසාමාන්‍ය චරිත රඟපාන්න. අංගවිකල නොහොත් අසාමාන්‍යයෙන් ඒ වගේ චරිත කරන්න අමාරුයි. ඒත් මං ඒ චරිතවලට ආසයි.

කොහොමද ඉදිරිය

ඉදිරියේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ලියලා ඉවරයි. ඒවගේම ඉදිරි ජීවිතේම ඉතිං කලාව තමයි.

ඔහු නැවත ගල්පඩිපෙළ පාමුල උන් අසරුවා දෙස බැළුවේය. මගෙන් සමුගත් පතිරාජ සෙනවියා නැවතත් අඳුරේම තුරු වදුලෙන් කළුන්දෑව දෙසට නෙපෙනී ගියේය.